channel 4

චැනල් ෆෝ ප්‍රහාරයේ මහ මොළය කවුරුද?

අජිත් පැරකුම් ජයසිංහ

චැනල් ‌ෆෝ ප්‍රහාරය පදනම් කරගෙන ඉතා පැහැදිලිවම සිදුවෙන්නේ රාජ්‍යයේ සිංහල බෞද්ධ ගොවිගම අධිපතිවාදයට විරුද්ධ ආගමික දේශපාලන පදනම් මත අස්ථිර ඊනියා මහමොළකරුවකු භාවිතා කරමින් රටේ නායකයන් හා ආරක්ෂක අංශ දඩයම් කරමින් රට අරාජිකත්වයට තල්ලු කිරීමට උත්සාහයක්.

බොහෝ ලාංකිකයන් මේ තත්වය තේරුම් ගන්නේ නැහැ. සිංහල බෞද්ධ ගොවිගම අධිපතිවාදයේ තිබුණු ඇතැම් පසුගාමී ලක්ෂණ නිසා ඔවුන් ඉන්නේ ඒ් ගැන කලකිරීමෙන්. උදාහරණයක් ලෙස රාජපක්ෂවරුන් තුළින් ඔවුන් දැන් දකින්නේ එම පසුගාමීත්වයයි. මෙය 2019දී පවා තිබුණු තත්වයට වෙනස්. ඒ වෙනකොටත් රාජපක්ෂවරුන් ජනප්‍රියයි. රාජපක්ෂවාදය නම් මේ මොහොතේත් ජනප්‍රියයි. රාජපක්ෂවාදයේ ප්‍රධාන පදනමක් වෙන්නේ රාජ්‍ය මූලික ආර්ථිකය. දූෂණවල පදනමත් එයයි. ජවිපෙ යෝජනා කරන්නේ දූෂණ ඉවත් කර රාජපක්ෂවාදී රාජ්‍ය මූලික ආර්ථිකය ඒ අන්දමින්ම රැකගැනීමයි.

රාජපක්ෂවාදයේ ගැටලුව කෙසේ වෙතත් වත්මන් ශ්‍රී ලංකාව නිර්මාණය කිරීමට ඉවහල් වුණේ රාජ්‍යයේ සිංහල බෞද්ධ ගොවිගම ආධිපත්‍යවාදයයි. දෙමළ ඊලාම්වාදය පරාජය කළේ ඒ් පදනමින් සිංහල බෞද්ධ මහජන සහයෝගය ලබා ගනිමිනුයි. ‌දෙමළ විතරක් නෙමෙයි කතෝලික ප්‍රජාවත් දෙමළ ඊලාම් විරෝධී යුද්ධයට එතරම් සහායක් දුන්නේ නැති බව තමයි ඇත්ත කතාව.

දෙමළ ඊලාම්වාදය පරාජය කිරීමේදී ප්‍රවේශයන් දෙකක් තිබුණා. එකක් බලය බෙදාගැනීම. අනෙක යුද්ධය. ඊලාම්වාදීනුත්, සිංහල ජාතිවාදීනුත් තෝරාගත්තෙ දෙවැන්න. ඒ ප්‍රශ්නය එහෙම විසඳුනේ අන්‍යෝන්‍ය අවබෝධයෙන්. ඉන් පස්සෙ යුද්ධය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ තලයට මාරු වුණා. එතනදී රාජපක්ෂවාදී සිංහල බෞද්ධ ගොවිගම අධිපති රාජ්‍යය යුද්දෙ පරාදයි. හැබැයි, තවම ඊලාම්වාදය දිනලා නැහැ. නුදුරු අනාගතයේදී ඇතැම් විට ජනමත විචාරණයක් ඔස්සේ එය ඉදිරියට පැමිණිය හැකියි.

පාස්කු ප්‍රහාරය දේශපාලන හරයකින් තොර හිස් ආගමික උන්මාදයක්. ඇත්තෙන්ම එහි අමුතු මහ මොළයක් නැහැ. මහ මොළය තියෙන්නෙ එයින් පිට. මොකක්ද ඒ් මහ මොළය? ඒ තමයි, ඒ් ප්‍රහාරය පාවිච්චි කරමින් ඊලාම්වාදය නැවත පණගැන්වීමේ මහ මොළය.

පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාට වාසි වුණා. එහෙම වුණ පළියට රාජපක්ෂලා ඒකෙ මහ මොළයක් වෙන්නෙ නැහැ.

හැබැයි, චැනල් ෆෝ ප්‍රහාරය ඊට වඩා වෙනස්. ඒකට මහ මොළ වගේම කුඩා කුඩා මොළත් ගොඩක් තියෙනවා. මහ මොළය හඳුනාගන්නට අමාරු වුණත් කුඩා මොළ හඳුනාගන්නට පුළුවන්.

රාජ්‍යයේ සිංහල බෞද්ධ ගොවිගම අධිපතිවාදයට විවිධ ජාතික, ආගමික, කුල පදනම්වලින් හා LGBTIQ පදනම්වලිනුත්, වාමාංශික පදනම්වලිනුත් විරුද්ධ අය පැහැදිලිවම චැනල් ෆෝ ප්‍රහාරයේ කුඩා මොළ බව දැකිය හැකියි. ඔවුන්ගේ කතාව සාධාරණ වෙන්නත් පුළුවන්. ඔවුන්ට ඇරියස් තියෙනවා. පියවා ගන්නට මේක තමයි වෙලාව. ඇරියස් පියවා ගත්ත පළියට මොකුත් වෙන්නෙ නැහැ. අලුත් දෙයක් නිර්මාණය කරන්නට ඔවුන්ට බැහැ. අන්න ඒ් නිසායි මං ඇරියස්කාරයන් එක්ක නැත්තෙ.

එතකොට මහ මොළය කවුද?

මං නම් හිතන්නෙ තවමත් මහ මොළ තරගයේ ඉදිරියෙන් ඉන්නෙ ඊලාම්වාදය. ඔවුන් පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. අනෙක් අයට එහෙම එකක් නැහැ.