Police and Army in traffic control in Sri Lanka

ට්‍රැෆික් පොලිසිය හා ටෙරිෆික් ආණ්ඩුව

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත, 2020 පෙබරවාරි 29

මිලිටරි පොලිසිය, ගුවන් හමුදා පොලිසිය හා නාවික හමුදා ප්‍රොවොස්ට් ශාඛාව රථවාහන පාලනයට මහා මාර්ගයට දැමීම ගැන රටේ ගොඩනැගී තිබෙන සංවාදය ගැඹුරින් ම නීතිය හා රාජ්‍ය පාලනය සමග සම්බන්ධයි.

Translations

ප්‍රශ්නය රථ වාහන පාලනයට පොලිසියේ පිරිස් ප්‍රමාණවත් නැතිකම නම්, කළ යුතුව තිබෙන්නේ පොලිසියට අමතර පිරිස් බඳවා ගැනීමයි.

ඒ වෙනුවට කර තිබෙන්නේ රථ වාහන පාලනයට යුද හමුදාව කැඳවීමයි. රජයට එහෙම කරන්නට සිදු වුණේ ඇයි?

ට්‍රැෆික් පොලිසිය හරි ටෙරිෆික් ආයතනයක් ය කියන එක කවුරුත් දන්නවා. ඔවුන් අල්ලස් ගන්නා හැටි, මිනිසුන් අමාරුවේ දාන හැටි, අකාර්යක්ෂමකම ආදිය ගැන විස්තර මෙහි සටහන් කිරීම අවකාශය අපතේ යැවීමක්. ඒ ගැන කවුරුත් දන්නවා. හැබැයි, රථවාහන පොලිසිය අකාර්යක්ෂම වීම නිසා රට ආර්ථිකමය හා සමාජමය වශයෙන් විශාල මිළක් ගෙවනවා.

රථවාහන පාලනයට මිලිටරි පොලිසිය යෙදවීම පොලිස් පනතට එරෙහිව යෑමක් බව විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා. මා හිතන්නෙ මේ නීතිමය බාධකය රජය පහසුවෙන් මගහරවා ගන්නවා.

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාවට ශ්‍රී ලංකාවේ සියලු දිස්ත්‍රික්කවල රාජකාරි කටයුතුවල නියැලීමට අවශ්‍ය බලතල ලබා දීමේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් 2019 දෙසැම්බර් 19 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළා. එසේ කරන්නේ 1947 අංක 25 දරන මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තියෙන් යම් ප්‍රදේශයක මහජන ආරක්ෂාව තර්ජනයට ලක් වී තිබෙන බවට හෝ එලෙස තර්ජනයට ලක් වීමේ අවදානමක් තිබෙන බවට ජනාධිපතිවරයා කල්පනා කරන්නේ නම් සහ එබඳු තත්ත්වයක් පාලනය කිරීමට පොලිසිය ප්‍රමාණවත් නොවන්නේ නම්, එබඳු අවස්ථාවක හමුදාව කැඳවීමට ජනාධිපතිට බලය ඇති බව ජනාධිපතිවරයා වෙත පවරා තිබෙන මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා හමුදාව යෙදවීමේ බලය යටතේයි.

මෙහි තිබෙන ගැටලුව නීතිමය ගැටලුවක් නෙමෙයි. රාජ්‍ය පාලන ප්‍රවේශයේ ගැටලුවක්. සාපේක්ෂ වශයෙන් ගත් කල රාජ්‍ය සේවයේ සෙසු අංශවලට වඩා ත්‍රිවිධ හමුදා විනය ඉහළ බව ඇත්තක්. පොලිසිය රාජ්‍ය සේවයේ දූෂිතම අංශ අතරින් ඉදිරියෙන් සිටින බව පසුගිය සමයේ විවිධ  අධ්‍යයන, නිරීක්ෂණ මගින් පෙන්වා දෙනු ලැබුවා.

රාජ්‍ය අංශය කියන්නේ විශ්‍රාමිකයන් ද ඇතුළුව ලක්ෂ 20ක පමණ දැවැන්ත සේනාවක්. මූලික වශයෙන් ඔවුන් නියැලී සිටින්නේ සේවා සම්පාදනයේයි. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අංශවල අකාර්යක්ෂමතාව පැත්තකින් තිබියදී, අඩු තරමේ රජයට බදු ආදායම් එකතු කර දීමේ අංශ හෝ ප්‍රමාණවත් තරමින් කාර්යක්ෂම නැහැ. එකතු කරගත හැකි බදු ආදායමවත් රජයට ලැබෙන්නේ නැහැ. පොලිසිය ගත්තොත්, රජයට දඩ ලෙස ලැබිය යුතු ආදායම් පවා සොරකම් කරන අය ඉන්නවා.

රථවාහන පොලිසිය කරන්නේ ඉතා දුෂ්කර රැකියාවක්. ඝන කාකි නිල ඇඳුම් ඇඳගෙන, තොප්පි, ග්ලවුස් දමාගෙන ගිනි මද්දහනේ, අධික රශ්මියෙන්, දුමින් යුත් වාහන මැද පාරේ රාජකාරි කිරීම ලෙහෙසි වැඩක් නෙමෙයි. ඔවුන්ගේ සේවය නොමැති නම්, කොයි තරම් රථවාහන තදබදයක් ඇති වන්නට, අනතුරු වැඩි වන්නට පුළුවන් ද? මේ දුෂ්කර රාජකාරියට ප්‍රමාණවත් වැටුපක් ඔවුන්ට ලැබෙනවා ද? මහජන මුදලින් නඩත්තු වන, භවන වැනි වායු සමනය කළ වාහනවල ගමන් බිමන් යන ලොකු ලොක්කන් මේ දුක දන්නවා ද? පවුල් පිටින් රජයේ නිවාසවල පදිංචි වීගෙන මහජන මුදලින් කකා බිබී විනෝද වෙමින් සිටින පාලකයන් තත්වය වෙනස් කිරීම පටන් ගන්නට හදන්නේ තමන් ආදර්ශවත් වෙමින් නොවෙයි.

Translations by Creative Content Consultants

රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාවට විසඳුම හමුදාව යෙදීම නොවෙයි. හැබැයි, හමුදාව රාජ්‍ය සේවාවන්ට ආධාරක වීම නරක තත්වයකුත් නෙමෙයි. හැම හමුදා නිලධාරියෙකු ම මර්දකයෙකු නෙමෙයි. ඒ වගේ ම දැන් රණ විරුවොත් නැහැ. යුද්ධයක් නැහැනේ. බැරැක්කවලට සීමා කර තබනවා වෙනුවට මහජන සේවයට හමුදා යෙදවීම නරක දෙයක් නෙමෙයි. ඒ සඳහා විධිමත් සැලැස්මක් අවශ්‍යයි. එමගින් සිවිල් කටයුතු මිලිටරිකරණයක් නොවිය යුතුයි.

මෙතනදි රාජ්‍ය සේවයටත් වගකීමක් පැවරෙනවා. දැන් ආණ්ඩුව දෙන පණිවුඩය සරලව මේකයි. “උඹලා හරියට නොකරන නිසා අපි හමුදාව දානවා.” ඒක තමයි රජයේ පිළිතුර. රජය දෙන විසඳුම වැරදි බව පෙන්වන්නට පුළුවන් වෙන්නේ රාජ්‍ය අංශය දැන්වත් කාර්යක්ෂමතාව නැංවීම පිළිබඳ කතිකාවක් පටන් ගත්තොත් විතරයි. ඒකට දේශපාලනය පැත්තෙන් විතරක් නෙමෙයි, පරිපාලනය, කළමනාකරණය හා වෘත්තීය සමිති පැත්තෙනුත් මුලපිරුම් අවශ්‍යයි. එහෙම නැතිනම්, රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව නංවන්නට රජය හමුදාව යොදවාවි. දැනට රාජ්‍ය සේවයේ තිබෙන තත්වය අනුව, මහජන විරෝධයක් මතු වෙන එකකුත් නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *