අවතාරය සමග හැරමිටිපානට
අජිත් පැරකුම් ජයසිංහ
විදර්ශන කන්නන්ගර ඇතුළු පිරිස විසින් කරනු ලබන අවතාරය සඟරාවේ දෙවන කලාපය නිකුත් වීම අද සිදු වේ. අපේ සුබපැතුම් පිරිනමන්නෙමු. අවතාරය පළමු කලාපයේ දොරට වැඩුමට ද මම ගියෙමි. මෙයට ද යන්නට කැමැත්තක් ඇතිමුත්, රැකියාවේ කාර්යබහුලත්වය මැද මේ අවුරුද්දට ම ලැබුණු පළමු නිවාඩුව පවුලේ අයත් සමග ගත කරන නිසා යන්නට ලැබෙන්නේ නැත.
අවතාරය පළමු කලාපය එතරම් කතාබහකට ලක් වූවක් නොවේ. එය සඟරාවක් ලෙස ගත්තත්, දීප්ති කුමාර ගුණරත්නගේ සඟරා ශෛලිය තුළ සිර වූ එකකි. අන්තර්ගතය පැත්තෙන් ද එහි සුවිශේෂත්වයක් නොතිබිණි. කොටින් ම ලංකාවේ දේශපාලනය වෙනස් කිරීම සඳහා වැදගත් වන න්‍යායික මැදිහත්වීමක් එයින් සිදු වූවා යයි මම නොසිතමි.
කෙසේ වෙතත්, ලංකාව වනාහි ගැඹුරු වාමාංශික සම්ප්‍රදායක් හිමි, එය හේතුවෙන් ම වඩා දියුණු සමාජයක් වන්නට තිබුණු අවස්ථා අහිමි කරගත් රටකි. එහෙත්, එකී වාමාංශික සම්ප්‍රදායේ උරුමය රැකගෙන ඉදිරියට ගෙන යන පරම්පරා තවම වියැකී නැත. විදර්ශන කන්නන්ගරලා නියෝජනය කරන්නේ එවැනි තරුණ පරම්පරාවකැයි කිව හැකි ය. එහෙත්, එය ද එතරම් තරුණ නැත.
වාමාංශික දේශපාලනයේ මූලික ලක්ෂණයක් වන්නේ බලයට වඩා දැවැන්ත මතවාදී ශක්තියක් එයට හිමි වීමයි. එය එසේ වන්නේ ලංකාවේ රාජ්‍ය ව්‍යූහයේ සුවිශේෂ ලක්ෂණ නිසා ය. ලංකාවේ ධනේශ්වර සමාජ ක්‍රමයෙහි අධිපති පන්තිය වන්නේ ධනපති පන්තිය නොවේ. ලංකාව දැවැන්ත මධ්‍යම පන්තියක ආධිපත්‍යයට යට වූ රාජ්‍යයකි. එම මධ්‍යම පන්තියෙහි ප්‍රධාන වන්නේ රජය හා සම්බන්ධ දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන්, රජය සමග කොන්ත්‍රාත් කරන්නන්, රජයේ සේවකයන් ය. සංඛ්‍යාත්මකව ගත්තත්, මෙම ස්ථරයට අයත් පවුල් ජනගහනය ලංකාවේ සමස්ත ජනගහනයෙන් පහෙන් පංගුවක්වත් වෙති.
මෙම පන්තියෙහි පැවැත්ම සඳහා ලාංකීය වාමාංශික මතවාදය ඉතා වැදගත් ය. සරලව කියනවා නම්, මෙම පන්තියට අවශ්‍ය වන්නේ මධ්‍යම පන්තිය මූලික වන රජය 1977 දක්වා ගොඩනැගී තිබුණු ආකාරයෙන් රැකගැනීමයි. එහෙත්, එය ප්‍රායෝගිකව කළ නොහැක්කකි.
එහෙයින්, මෙකී මධ්‍යම පන්තියේ ඉහළ ස්ථර විසින් අවශ්‍ය ප්‍රමාණයට රාජ්‍ය සැකැස්ම වෙනස් කරමින් සිටියි. එහෙත්, විශේෂයෙන් ම මධ්‍යම පන්තියේ පහළ ස්ථර ඇති වන වෙනස්කම්වලින් තෘප්තිමත් නැත. මූලික හේතුව ඔවුන් ප්‍රාර්ථනා කරන අඩුවෙන් වැඩ කර, සුරක්ෂිත ජීවිත ගත කිරීමේ හැකියාව දිගින් දිගට ම අභියෝගයට ලක් වීමයි. හේතුව මධ්‍යම පන්තියේ මෙම සුඛෝපභෝගිත්වය නඩත්තු කිරීමේ හැකියාව දැන් වැඩ කරන ජනතාවට නැත.
ලංකාවේ සමාජය වෙනස් කරන්නට නම් මූලිකව ම මෙකී පරපෝෂිත මධ්‍යම පන්තියේ බලය බිඳ දමා ව්‍යවසායක හා කම්කරු පන්තිවල බලය ගොඩනැඟිය යුතු ය. පහළ මධ්‍යම පන්තිය සමග දේශපාලනය කළ යුත්තේ ඔවුන්ගේ මධ්‍යම පන්තික ජීවන පරමාදර්ශ අත්හැර දමා කම්කරු පන්තිය වෙත දිනාගැනීමට ය. වඩාත් සරලව කියනවා නම්, මහජන මුදලින් යැපීම වෙනුවට වැඩ කිරීම වෙත ඔවුන් යොමු කළ යුතු ය.
ලංකාවේ වාමාංශික ව්‍යාපාරය කුමන වේෂ නිරූපණ පැළඳගෙන ආවත්, අරමුණු කරන්නේ මධ්‍යම පන්තික මූලික වත්මන් සමාජ ක්‍රමය රැකගැනීමට ය. වම සම්බන්ධයෙන් අපගේ මූලික විරෝධය එතැන ය.
වාමාංශික ව්‍යාපාරයේ ප්‍රතිගාමී, කම්කරු විරෝධී දෘෂ්ටිවාදයන්ට එරෙහිව ඇත්තේ අසීරු අරගලයකි. එයට මූලික ම හේතුව වන්නේ කම්කරු පන්තියට තමන්ගේ කියා දෘෂ්ටිවාදීමය කිසිවක් නැතිකමයි. කම්කරු පන්තියේ දැක්ම ලෙස පෙනී සිටින්නේ මධ්‍යම පන්තිකයන්ගේ ව්‍යාජ වාම සංදර්ශනයි.
අවතාරය සඟරාව තවත් එවැනි එක් සංදර්ශනයක් පමණි. දහ අට සන්නියේ මොන සන්නිය වුණත් සන්නියකි.
අවතාරය වටා එකතු වන පිරිස් අතර විදර්ශන කන්නන්ගර වැනි අප සිතන අන්දමින් වඩා අව්‍යාජ ක්‍රියාකාරීන් සමග අප දිගට ම මෙකී මිතුරු ප්‍රතිවිරෝධය පවත්වාගෙන යන්නෙමු. එහෙත්, මෙවැනි වාම කල්ලි කණ්ඩායම් වටා එකතු වන සැලකිය යුතු පිරිසක් සම්බන්ධයෙන් අපට දීමට ඇති උපදෙස වන්නේ ස්වයං මනෝ විශ්ලේෂණයක් කරගන්නට බැරි නම් සාමූහිකව හෝ මනෝ විශ්ලේෂණයක් කරගන්නා ලෙසයි. ඔවුන් බොහෝ දෙනෙකුගේ ප්‍රශ්න ඇත්තේ තමන් තුළ ම ය. තමන්ගේ අභ්‍යන්තර කඩාවැටීම් හේතුවෙන් ඔවුන්ට කෙළින් ඉන්නට හැරමිටියක් අවශ්‍ය ය. හැරමිටියේ වාරුවෙන් කෙළින් සිටි ගමන් ලොකුම උජාරුව පෙන්නන්නේ ද මේ ඇතුළතින් කඩාවැටුණු චරිතයි. ඒ ඔවුන්ගේ සුරතාන්තයයි. විප්ලවයයි. එතනින් එහාට කිසිවක් ඔවුන්ට අවශ්‍ය නැත.
අප මෙය කියන්නේ අවතාරය වටා රොක් වන, අපට නිරතුරු අපහාස කරන ඇතැමුන් ගැන අපට දීර්ඝකාලීන කියවීමක් තිබෙන නිසා ය. ඒවා අප්‍රකට කාරණා නොවේ. අප මූලිකව ම කියන කාරණය නම් බොහෝ පිරිස්වලට වාමාංශික දේශපාලනය විසින් සපයන්නේ අනන්‍යතා ගැටලු විසඳාගැනීමේ මගක් පමණක් බවයි. වම ඒවාට පාවිච්චි වෙනවා පමණි.
කඩා වැටුණු මිනිසුන් වෙනුවෙන් හැරමිටිපාන වීමේ දේශපාලනයෙන් ඇති කළ හැකි සමාජ වෙනසක් නැත. සමාජය වෙනස් කරන්නට නම්, එය ඇත්තට ම කළ හැකි විපර්යාසකාරකයන් සමග මැදිහත් විය යුතු ය.
අවතාරය වටා යම් අව්‍යාජ බලවේගයක් සිටී නම්, ඔවුන්ට අපි සුබපතන්නෙමු. අවතාරය වටා රොක්වන පෙරේතාත්ම චූන් කර තෘප්තිමත් වීමේ ව්‍යාධියෙන් මිදෙන්නට ඔබට ශක්තිය ලැබේවා.