කාබන් බද්ද තවත් බලු බද්දක් ද?
අජිත් පැරකුම් ජයසිංහ (Read this article in English >>)
බලු බද්ද කියන්නෙ 1848 අංක 9 දරන පනත යටතේ පනවන ලද බද්දක්. ඒ අනුව, ගෙදරදොර ඇති කරන ලද හෝ ගැවසුණු හෝ බල්ලන් වෙනුවෙන් බද්දක් ගෙවිය යුතු වුණා. ඒ බද්ද නොගෙව්වා නම්, අදාළ බල්ලා දියේ ගිල්වා මරන්නට ද නියෝග කර තිබුණා. ප්‍රාණඝාතය අකුසලයක් ලෙස සලකන බෞද්ධ සමාජයෙන් එයට විරෝධයක් පැන නැගුණා. 1848 කැරැල්ලටත් බලු බද්ද ඇතුළු වෙනත් එවැනි බදු සම්බන්ධ විරෝධය හේතු වුණා. කොළඹ ගෙවල්වල තිබුණ ඉස්තෝප්පුවල වර්ග අඩි ගණන අනුව ගහපු බද්ද හා පොල් කැඩුවත්, නැතත්, ගසින් ගසට ගැසූ බද්දත් මෙවැනියි. ඇඟ බද්ද සෑම වැඩිහිටියකු ම ගෙවිය යුතු වුණා. ගෙවන්නට බැරි වුණොත් රජය වෙනුවෙන් නොමිළේ වැඩ කරන්නට නියම වුණා.
කාබන් බද්දත් මෙවැනි ම එකක්. එය පනවන්නේ වාහනයේ සිලින්ඩර් ධාරිතාව හා නිෂ්පාදිත වර්ෂයේ සිට කාලය අනුවයි. ඒ මෙහෙමයි.
වාහන වර්ගය | නිෂ්පාදිත වර්ෂයේ සිට භාවිතා කර තිබෙන කාලය | ඝන සෙන්ටිමීටරයකට බද්ද |
පෙට්‍රල් / ඩීසල් හයිබ්‍රිඩ් | අවුරුදු 5ට අඩු අවුරුදු 5 – 10 අතර අවුරුදු 10ට වැඩි | ශත 25 ශත 50 රු. 1 |
පෙට්‍රල් / ඩීසල් සාමාන්‍ය | අවුරුදු 5ට අඩු අවුරුදු 5 – 10 අතර අවුරුදු 10ට වැඩි | ශත 50 රු. 1 රු. 1.50 |
මගී ප්‍රවාහන බස් | අවුරුදු 5ට අඩු අවුරුදු 5 – 10 අතර අවුරුදු 10ට වැඩි | (ඝන සෙන්ටිමීටර් ගණන අදාළ නැත) රු. 1000 රු. 2000 රු. 3000 |
ඒ අනුව අලුත්, සාමාන්‍ය ඇල්ටෝ මෝටර් රියක් වෙනුවෙන් වසරකට රු. 400ක් ද, එම වාහනය අවුරුදු පහකට වඩා පරණ වන විට රු. 800ක් ද අලුත් බදු වශයෙන් ගෙවන්නට සිදු වේ. එම වාහනය අවුරුදු 10කට වඩා පැරණි වන විට බද්ද රු. 1200ක් වේ. මෙම බද්ද අය කරනු ලබන්නේ දැනට අය කරන වෙනත් බදුවලට අමතරව ය. එසේම, ආදායම් බලපත්‍රය ලබා දීම සඳහා අනිවාර්ය කර තිබෙන දුම් පරීක්ෂාවට වැය කළ යුතු මුදලටත් අමතරව ය. දුම් පරීක්ෂාවෙන් ද රජය බදු අය කරයි.
කාබන් වෙනුවෙන් මෙසේ ගෙවන බදු භාවිතා වන්නේ කුමක් සඳහා ද? කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගැනීම සඳහා ඉවහල් වෙන ගස් වැවීම සඳහා හෝ පරිසර දූෂණය අවම කිරීම සඳහා මෙම බද්ද භාවිතා කෙරෙනවා ද? නැතිනම්, තව තවත් කාබන් දහනය කරන සුපිරි කාර් දේශපාලකයන්ට හා නිලධාරීන්ට ආනයනය කිරීම පිණිස මේ බදු ආදායම යෙදෙවෙනවා ද?
මෙවැනි බදු හැඳින්වෙන්නේ පිගොවියන් බදු ලෙසයි. ඒවායේ අරමුණ සමාජයට හානිකර භාවිතාවක් සම්බන්ධයෙන් වන සමාජ පිරිවැය කෙරෙහි වගවීමක් ඇති කිරීමයි. ෆොසිල ඉන්ධන ද සමාජයට හානිකර වූ භාවිතාවකි. එමගින් නිකුත් කරනු ලබන කබන් හේතුවෙන් මිහිතලය උණුසුම් වී සමස්ත පෘථිවියට ම බලපෑමක් ඇති කරයි.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කාබන් බද්ද හඳුන්වා දෙන්නේ මේ හේතු නිසා නොව, ඔවුන්ට රජය නඩත්තු කිරීමට බල්ලන් මරා හෝ සල්ලි හෙවීමට සිදු වී ඇති නිසා ය. එබැවින් මෙය සමාන වන්නේ බලු බද්දට ය.
(කවරයේ රූපය 19වන සියවස අගදී නවසීලන්තයේ මඕරිවරුන් රජයේ බලු බද්දට එරෙහිව කැරැලි ගැසීම හා සම්බන්ධව ඈෂ්ලි හන්ටර් විසින් නිර්මාණය කරන ලද කාටුනයකි. තොප්පි පැළඳ සිටින්නා අගමැති රිචඩ් සෙඩ්ඩන් ය.)