කැන්ගරු දේශයේ පොදු ප්‍රවාහනයේ මිහිරි අද්දැකීම්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඊසානදිග කෙළවර පදවි පරාක්‍රමපුර ඉපදී හැදුණු වැඩුණු, සරසවි අධ්‍යාපනයෙන් පසු 25 වසරකට වඩා උතුරුමැදත්, බස්නාහිර පාසල්වල ඉගැන්වූ මා මේ වන විට තාවකාලිකව ඕස්ට්‍රේලියාවේ නැතිනම් කැන්ගරු දේශයේ ජිවත් වෙනවා.
මෙම සටහන කියවන ඔබ වැඩිදෙනෙකු මින් ඉහත මා මෙන් ම එතරම් විදේශගත වෙලා නැති බව මා සිතනවා. මට වඩා විදෙස් රටවල සැරිසරා තිබෙන, ඒ රටවල ජීවත් වන අය මා කියන මේ දේ ගැන මට වඩා බොහෝ දේ දන්නවා. මා මේ පළ කරන්නේ ඈත ගමකින් ඔස්ට්‍රේලියාවට පැමිණි සාමාන්‍ය කාන්තාවක දකින දෙයින් ඇති වුණ විස්මයයි.
අපි පොත පතෙන් අහල තිබුණ විදියටම, මේ රට හරිම නීතිගරුක වගේම විනයගරුක මිනිසුන් ඉන්න රටක්. ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන මට, එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන සිදුවීම් වලදී නිතැතින්ම මගේ රට මතක් වෙනවා. ඒ අතර සිත් ගත් එක් දෙයකි, පොදු මගී ප්‍රවාහන සේවාව. ඒ ගැන සටහනක් තබන්නට සිතුවේ අපේ රටේ පොදු ප්‍රවාහනයේදී මුහුණ දුන් කටුක අත්දැකීම් කිසිදාක අමතක නොවෙන නිසායි.
දිනක් මා ගමනක් යාම සඳහා බසයට ගොඩවන විටම රියදුරු මහතා මගෙන් සමාව ඉල්ලුවේ එම බසය විනාඩි 4-5 වැනි වෙලාවක් එම ස්ථානයට පැමිණීමට ප්‍රමාද වීම සම්බන්යෙධනුයි. තවද ප්‍රමාදයට හේතු වුයේ අතරමග සිදුව ඇති හදිසි තත්වයක් නිසා බවද මා වෙත දන්වා සිටියේ, එම ප්‍රමාදය ගැන ඔහු සැබවින්ම කණගාටුවන නිසා වන්නට පුළුවන. එවැනි දෙයකට මගියාගෙන් සමාව ඉල්ලන්න ඔවුන් කොතරම් දියුණුද? නිහතමානීද? විනයගරුක ද?
ඉතා සුවපහසු, පිරිසිදු වගේම කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් දේශපාලන අධිකාරිය විසින් ගොඩනගල තියනවා. වාහනයේ සුවපහසුව වගේම ඒ හා සම්බන්ධ වන මානව සම්පතද නීති ගරුකව සහ සදාචාරාත්මකව තම කාර්යය මැනවින් ඉටු කිරීම කෙතරම් අගනේද යන්න වචනයෙන් විස්තර කිරීම අපහසුයි. එය මේ රටේ අධ්‍යාපන ක්‍රමයේ සහ නීතියේ නිර්මාණයක් යැයි මා සිතනවා.
බස් නැවතුම සහ දුම්රිය නැවතුම ඇත්තේ සෑම විටම එකම ස්ථානයකයි. ඒ නිසා මගීන් අපහසුතාවයට පත් වන්නේ නෑ. හරිම පුදුමේ කියන්නේ බස් හා දුම්රිය නියමිත වෙලාවටම එක් එක් නැවතුම්පළවල් වලට ප්‍රමාද නොවී පැමිණීමයි. (ප්‍රමාදයක් සිදුවන්නේ ඉතාම කලාතුරකිනි. ඒ කිසියම් විශේෂ, වැළැක්විය නොහැකි හේතුවක් නිසායි.) කොන්දොස්තර කෙනෙකු බස්වල නැත. දුම්රියපොළවල ටිකට් කවුන්ටර් නැත. නමුත් එහි ඇති යන්ත්‍ර මගින් සියලුම මගීන් ටිකට්පත් ලබාගනී. සෑම මගියෙකුම බසයේ රියදුරු මහතා/මහත්මිය (ඔව්, රියදුරු මහත්මියනුත් පිරිමි වගේ ම ඉන්නවා) විසින් සිනාමුසු මුහුණින් උණුසුම්ව පිළිගැනීම සාමාන්‍යයි.
රෝද පුටුවකින් ගමන් ගන්නා පුද්ගලයින්ට යාමට හැකිවන පරිදි මාර්ග පද්තිධය සහ සියලුම වෙළඳ සංකීර්ණ නිර්මාණය කර ඇත. එනිසා අබාධිත මගීන්ට තම නිවසේ සිට බස්නැවතුම්පොළට සහ බසයට/දුම්රියට ගොඩවීමට පහසුකම් තිබේ. එහිදී රියදුරු මහතා රියදුරු අසුනින් නැගිට එම මගියාට ඉතාම කාරුණිකව උදවු කරන්නේ සදාචාරාත්මක හැදියාව නිසා ය. මෙරට මිනිසුන් වැඩිදෙනෙකු ප්‍රදර්ශනාත්මක අයුරින් ආගමක් අදහන්නේ නැත. තවද දුර ගමන් වලදී මගීන්ගේ අත් බෑගය හැරුන විට අනෙක් බෑග් දමාගෙන යාමට බසයේ වෙනම කොටසක් ඇත. එම කාර්ය ඉටුකරන්නේද රියදුරු මහතාමය. මගීන්ගේ පහසුව සඳහා සෑම විටම තමාට ඊළඟට හමුවන සහ පසු කළ දුම්රිය නැවතුම දැක්වෙන ඩිජිටල් පුවරුවක් ඇත.
මගීන්ට වට්ටමක් සහිත ට්‍රාන්ස්පෝර්ට් කාඩ් ඇත. එම කාඩ් එක බසයට ගොඩවන මොහොතේම රියදුරු අසුන අසල ඇති යන්ත්‍රයේ ස්පර්ශ කිරීමෙන් ටිකට් ගැනීමට යන කාලය ඉතිරිවේ. පොදු දේපලක් වන නිසා බසය තුළ රියදුරුට හෝ එක් එක් මගියාට අවශ්‍ය ලෙස කටයුතු සිදු නොවේ. ඒ නිසා බස්වල කැසට් රේඩියෝ, රුපවාහිනී නැත. කිසිවෙක් ශබ්ද නගා කතා කරන්නේවත් නැත. දේව රූප, මල්මාලා, පාට බල්බ්හෝ වෙනත් කිසිම අමතර දේවල් නැත. එක එක ප්‍රාන්තවල ඇති බස් සියල්ල එක පෙනුමකි. පාට පාට බස් නැත. බසය තුළ නිස්කලංක බවක් ඇත. මගීන්ට බසයේදී හෝ කෝච්චියේදී ආහාර ගැනීමට අවසර නැත.
මගීන් සහ රියදුරු අතරත්, රියදුරන් අතරත් ගැටුම් අවම ය. මාර්ග නීති අකුරටම පිළිපදින අතර වාහනවල නලා ශබ්ද කරන්නේ නැති තරම්.
සෑම මගියෙක්ම බසයෙන් බැස යන්නේ රියදුරුට ස්තුති කරමිනි. රියදුරු ද පෙරළා සුබ පතන්නේ තම සමීපතයෙකුට මෙනි.
මා මෙම සටහන් පෙළ තබන්නේ දියුණු සමාජයන් නොහඳුනන අපේ මිනිසුන්ට තත්වයන් වෙනස් කරගැනීම එතරම් අසීරු නැති බව පෙන්වා දෙමින් වෙනස් වන්නට යොමු විය යුතු දිශානතිය පෙන්වන්නට ය.
නන්දා මාලිනියගේ ගීයක ඇති පදයක් සිහිපත් කරමින් සටහන නිමා කරමි. “අනේ අපි කවදාක හිනැහෙමු ද ඒ රටේ?”