ගම්පෙරළියෙන් ඔබ්බට ශ්‍රී ලංකාවේ මාතෘ සෞඛ්‍ය සත්කාර සේවා
අජිත් පැරකුම් ජයසිංහ
සම්භාවනීය ගත්කතුවර මාටින් වික්‍රමසිංහයන් විසින් 1944දී මුල් වරට පළ කරන ලද ගම්පෙරළිය නවකතාවට පාදක කර ගන්නා ලද යුගය වන්නේ 20වන සියවසේ මුල් අර්ධයයි. එහි නන්දා ජිනදාසට දාව සිය පළමු දරුවා ප්‍රසූත කරන්නී ය. එහෙත්, ඒ දරුවා ඉපදී දින කීපයකින් මිය යන්නේ ය. වාසනාවට නන්දා දිවි ගලවා ගන්නී ය. එම සිද්ධිය ගම්පෙරළිය නවකතාවේ දැක්වෙන්නේ මෙසේ ය:
රෑ එකට නන්දා පිරිමි දරුවකු බිහි කළාය. තුන් දවසක් ඉකුත් වූ තැන බිළිඳාගේ මුහුණෙහි නරක ලකුණු දක්නා ලදින් ගාල්ලෙන් දොස්තරකු කැදවනු ලැබීය. ඔහු මහගෙදරට ළඟා වූයේ බිළිඳා මැරී පැයක් පමණ ගෙවුණු පසුය. හඬා වෙහෙසීමෙන් මඳක් අසනීපෙන් උන් නන්දාට බෙහෙත් නියම කළ දොස්තර බිළිඳාගේ මළකඳ පරීක්ෂා කොට අනතුරුව නන්දාගේ කාමරයෙහි කුඩා මේසයක් උඩ තිබුණු කතුරක් අතට ගෙන බැලීය.
“ළමයාගේ පෙකණිය කපන්න ඇත්තේ මේ කතුරෙන් වෙන්න ඇති”යි දොස්තර ගුණවර්ධන කීය.
“ඔව්” මාතර හාමිණේ පිළිතුරු දුන්නාය.
කතුර තිබූ තැන යළිත් තබා සාලයට ගමන් කළ දොස්තර, ජිනදාස දුන් රුපියල් විසිපහ හකුලා කලිසන් සාක්කුවේ දමාගෙන වටපිට බැලීය. ඒ වෙලේම කාමරයෙන් පිටවුණු මාතර හාමිනේ දොස්තරට ළං වූවාය.
“ළමයා මැරෙන්න ඇත්තේ වින්නඹුවගේ වැරැද්ද නිසා,”යි දොස්තර කීය.
“හං කතුරෙන් පෙකණිය කපන්න වෑයම් කරද්දි පෙකණිය ඇදිලා තියෙනවා. ඒ අමාරුවට උණ අරගෙන ළමයාට වලිප්පුව හැදෙන්න ඇති. ඒ කතුර හොඳටම හං වෙලා. මැරිච්ච මිනිසුන්ගේ නහය කපන්න හොඳ කතුරක්.”
දොස්තර ගිය පසු ජිනදාස වින්නඹුව සමග කළහ කරන්නට සූදානම් වූ විට මාතර හාමිනේ ඔහු සනසනු පිණිස මෙසේ කීවාය.
“ඒ ගෑණි විතරක් නොවෙයි; අපිත් වැරදිකාරයෝ. හොඳ කතුරක් මේසය උඩ තිඋණා. පරණ හං කතුර ඒ මේසෙ උඩ කවුරු ගෙනැත් තිවුවාද දන්නේ නැහැ. වින්නඹු ගෑණි අහන්නේත් හොයන්නේත් නැතුව අතට අහුඋණු කතුරෙන් පෙකණිය කපල තියෙනවා.”
මෙමගින් ඒ වන විට ලංකාවේ පැවති ළමා හා මාතෘ සෞඛ්‍ය සත්කාරයේ පැතිකඩක් ගැන ද හෙළිදරව් වේ.
මෙම දරු උපත සිදු වන්නේ නිවසේ ය. එසේම, දරු උපතට උපකාර කරන්නේ වෘත්තීය සුදුසුකම් ලත්, පුහුණු වින්නඹු මාතාවක් නො වේ. එදා ළදරු හා මාතෘ මරණ අනුපාතික ඉහළ යන්නට මෙම තත්වය හේතු විය.
1960 වන විට ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතිකය දරු උපත් ලක්ෂයකට 340ක් තරම් ඉහළ අගයක් විය. එයින් අදහස් වන්නේ දරු උපත් ලක්ෂයක් සිදු වන විට මව්වරුන් 340ක් මිය ගිය බවයි.
ශ්‍රී ලංකාවේ වින්නඹුවන් පුහුණු කිරීම ආරම්භ වුණේ යටත් විජිත පාලන සමය තුළදී 19වන සියවසේ අග හරියේදී ය. එතැන් සිට ලංකාවේ මාතෘ සෞඛ්‍ය අංශයේ සිදු වී තිබෙන සංවර්ධනයේ තරම අපට වාර්ෂික මාතෘ මරණ වාර්තාව ඇසුරින් වටහා ගත හැකි ය.
2016 වන විට ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතිකය දරු උපත් ලක්ෂයකට 33.8ක් විය.
වර්තමානය වන විට ලංකාවේ 100%ක් පමණ මව්වරුන්ගේ දරු උපත් සිදුවන්නේ වෛද්‍ය පහසුකම් තිබෙන ස්ථානයක ය. 99%ක් මව්වරුන්ට වෘත්තීය සේවා සම්පාදකයකුගෙන් පූර්ව ප‍්‍රසව සහ පශ්චාත් ප‍්‍රසව සත්කාර ලැබේ.
එහෙත්, ශ්‍රී ලංකාවේ නීති විරෝධී ගබ්සා සිදුවීම තරමක් ඉහළ මට්ටමක පවතී. නීති විරෝධී ගබ්සා බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කරන අතර මාරාන්තික ද විය හැකි ය. නීති විරෝධී ගබ්සා සිදුකිරීමට ප්‍රධාන හේතුව අනවශ්‍ය ගැබ්ගැනීම් ය. අනවශ්‍ය ගැබ්ගැනීම් වළක්වා ගැනීමට නම් ගැබ්ගැනීම් පාලනය කරගැනීමේ දැනුම යුවලවලට තිබිය යුතු ය. සෑම ගැබ්ගැනීමක් ම අවශ්‍ය ගැබ්ගැනීමක් විය යුතු ය යන්න එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ආදර්ශ පාඨයෙහි කොටසකි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල එක්සත් ජාතීන්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය නියෝජිතායතනයයි.
මේ අංශයේදී ද ශ්‍රී ලංකාව සැලකිය යුතු ජයග්‍රහණ ලබාගෙන තිබේ. 2016දී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද ජනවිකාස සහ සෞඛ්‍ය සමීක්ෂණයෙන් හෙළි වූ පරිදි මේ වන විට, 99%ක් විවාහක කාන්තාවන් ප‍්‍රතිසන්ධි වළක්වන ක‍්‍රම පිළිබඳ දැනුවත් ය. 72%ක් විවාහක කාන්තාවෝ පවුල් සැලසුම් සේවා ලබාගනිති. 65%ක් විවාහක කාන්තාවෝ දැනට ප‍්‍රතිසන්ධි වැළැක්වීමේ ක‍්‍රම භාවිතා කරති.54%ක් විවාහක කාන්තාවෝ නවීන ප‍්‍රතිසන්ධි වැළැක්වීමේ ක‍්‍රම භාවිතා කරති. 90%ක් වන පවුල් සැලසුම් ඉල්ලීම් සපුරාලීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. 90%ක් කාන්තාවන් ප‍්‍රතිසන්ධි වැළැක්වීමේ සේවා ලබාගන්නේ රජයේ ආයතනවලිනි.
2016 වර්ෂයේ මාතෘ මරණ වාර්තාවට අනුව මාතෘ මරණ 112 ක් සිදු විය. ඉන් 55%ක් ම වළක්වාගත හැකිව තිබුණු ඒවා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතිකය දකුණු ආසියාවේ පහළ ම අගයයි. ගම්පෙරළිය කාලයේ සිට මාතෘ සෞඛ්‍යය පැත්තෙන් අප පැමිණ ඇති දුර සුළුපටු නැත.