නීතිය දැනගෙන සංසර්ගයේ යෙදෙන්න

මේ දවස්වල ලිංගික සංසර්ගය ගැන අලුත් කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ සමග ද සම්බන්ධ විය හැකි නිසා මේ ලිපියෙන් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ ලිංගික සංසර්ගය සම්බන්ධ නීතිරීතියි. මේ සඳහා උපයෝගී කරගෙන තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ප්‍ර‍කාශන කීපයක තොරතුරු මූලාශ්‍ර‍යි.

නීත්‍යානුකූල ලෙස ලිංගික ක‍්‍රියාවන්හි නිරත වීම සදහා පදනමක් තිබෙනවා. එය මානව සංවර්ධනයේ අත්‍යවශ්‍ය සාධකයක්. මානව විද්‍යාඥයින්ට අනුව ලිංගිකත්වය කියන්නේ අවශ්‍යතා ධූරාවලියේ ප‍්‍රමුඛ අවශ්‍යතාවක්. ඒ වුණත්, ශිෂ්ට සමාජයේ මෙම අවශ්‍යතා ඉටුකර ගැනීමේ ක‍්‍රියාවලියේ පිළිගත් ක‍්‍රමවේදයක් තිබෙනවා.

විවාහයත් ලිංගිකත්වය සමග ඍජුව සම්බන්ධ නීතිමය කාරණයක්. ඒත්, ලිංගිකත්වය විවාහයට ලඝු කරන්නට බැහැ. ආදරය පදනම් කරගත් ලිංගිකත්වයට වුණත් සමාජය පිළිගත් පොදු නීති රීති මගහැර යන්නට බැහැ. පහත දැක්වෙන්නේ ලිංගිකත්වය සම්බන්ධ ලංකාවේ නීති රීති අතරින් සමහරක්.

1. ශ‍්‍රී ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 1995 අංක 22 දරන සංශෝධිත පනත
286 වගන්තිය අනුව අසභ්‍ය දර්ශන පෙන්වීම සහ ඒ සඳහා පුද්ගලයන් යොදා ගැනීම වරදක් වේ.
345 වගන්තිය අනුව ලිංගික හිරිහැර කිරිම හා අතවර කිරීම වරදකි.
360 වගන්තිය අනුව ළමුන් ලිංගික ක‍්‍රියාකාරකම් සදහා යොදා ගැනීම වරදකි.
363 වගන්තිය කාන්තාවගේ කැමැත්තකින් තොරව ලිංගික ක‍්‍රියාකාරකම්වල යෙදීම හෝ දූෂණය වරදකි.

2. ශ‍්‍රී ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 2006 අංක 16 දරන සංශෝධිත පනත
286 ඊ වගන්තිය අනුව පරිගණක යොදා ගනිමින් ළමුන් ලිංගික අපයෝජනයන්ට බඳුන් කිරීම
හෝ ඒ සඳහා සහයෝගය දැක්වීම වරදක් වේ.

3. 1841 අංක 4 දරණ පාදඩ ආඥා පනත (යල් පැන ගිය පනතක් වුවත් තවමත් භාවිතා වේ)
මේ යටතේ ප‍්‍රසිද්ධ ස්ථානවල අනිසි හැසිරීම හෝ මහජනයාගේ පිළිකුලට භාජනය වන
ආකාරයෙන් හැසිරීම හෝ කිසියම් අයෙකුට අනිසි ලිංගික ක‍්‍රියාවන් උත්සාහ කිරීම වරදක් සේ
සැලකේ.

5. 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත යටතේ නීත්‍යානුකූල නො වන ආකාරයෙන් ලබා ගත් දත්ත ආදිය සමග කටයුතු කිරීම වරදක් බව සහ කිසියම් විශේෂිත තැනැත්තෙකුට හෝ
ආයතනයකට හානියක් හෝ පාඩුවක් සිදුවිය හැකි බව දැනුවත්ව හෝ නොදැනුවත්ව වුව ද යම්
යම් තොරතුරු අනාවරණය කිරීම වරදක් වේ. ඒ අනුව යම් යම් ඡායාරූප අදාළ පුද්ගලයින්ගේ
කීර්ති නාමය හානිවන ආකාරයට අන්තර්ජාලයට මුදාහැරීම වරදක් වේ.

6. 1941 අංක 42 දරන වරදකරුවන් පරිවාස පාලනයෙහි තැබීමේ ආඥා පනත
මේ යටතේ බාල වයස්කරුවකු යම් වරදක් කළ විට ඔහු සිරගත කිරීම හෝ දඩුවම් කිරීම
වෙනුවට පරිවාස භාරයට පත් කිරීමත් එහිදී ඔහු පුනරුත්ථාපනය කිරීමත් සිදු කෙරේ.

7. 1848 අංක 48 දරන ළමයින් හා තරුණයන් පිළිබද ආඥා පනත අනුව ද
ළමයින් සහ තරුණ වියේ පසුවන පුද්ගලයන් සිදුකරන වරදකදී ඔහුට දඬුවම් ලබා දීමට වඩා
පුනරුත්ථාපනයට යොමු කිරීම සිදු කෙරේ. ඒ අනුව සහතික කළ පාසලකට යොමු කිරීම හෝ
පරිවාස නිලධාරියෙකු යටතට පත් කිරීම වැනි පුනරුත්ථාපන ක‍්‍රමවේදයක් වයස අවුරුදු 18ට
අඩු තරුණයන් වෙනුවෙන් භාවිත කෙරේ.

8. 1985 අංක 20 දරන ළමා අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය අනුව සෑම ළමයෙකුටම
කිසිදු වෙනස්කමකට හෝ හිංසා පීඩාවකට ලක් නොවී ජීවත් වීමේ හිමිකම ලැබිය යුතු ය.

1989 හදුන්වා දුන් ළමා ප‍්‍රඥප්තිය අනුව වයස අවුරුදු 18 දක්වා අය ළමුන් ලෙස හදුන්වා දී ඇත.
විවාහ වීමේදී වයස අවුරුදු 18 ඉක්මවා සිටිය යුතු ය. (මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය මීට වඩා වෙනස් ය)

වයස අවුරුදු 16ට අඩු ළමයකු තම කැමැත්ත ඇතිව හෝ නොමැතිව ලිංගික කටයුතුවල යෙදීම වරදක් වශයෙන් සැලකේ.

මේවාට අමතරව වෙනත් නීති රීතීන් ද ලිංගිකත්වය සම්බන්ධ වැරදි වලදී දඩුවම් ලබා දීම සදහා යොදා ගනු ලැබේ.

වයස අවුරුදු 16ට වැඩි වුවද කාන්තාවගේ කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල යෙදීම වරදකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *