ලංකාවට තවත් තරුණ සංහාරයක් දරාගත හැකි ද?

අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවේ මෑත ඉතිහාසය දෙස බලන විට තරුණ සංහාර සිදු වූ යම් රටාවක් හඳුනාගත හැකි ය.
1971, 1989 සහ 2009 වසරවලදී රටේ දැවැන්ත තරුණ සංහාර සිදු විය. 1971 හා 1989 සංහාර පිළිබඳ නිල සංඛ්‍යාලේඛන නැත. තිබෙන තක්සේරු පක්ෂපාතිත්වය අනුව කළ ඒවා ය. එහෙත්, සංහාරයන්හිදී මරා දමන ලද තරුණ පිරිස 10,000කට වැඩි යයි පහසුවෙන් අනුමාන කළ හැකි ය. උතුරේ කැරැල්ලෙහි තත්වය තරමක් වෙනස් ය. 2009 යනු තිස් අවුරුද්දක් තිස්සේ සිදු වූ දෙමළ සංහාරය කූටප්‍රාප්තියට පත් වී අවසන් වූ වසර ලෙස සංකේතාත්මක ය. එහිදී සිදු වූ තරුණ සංහාරය දසදහසේ කීපයක් විය හැකි ය.

මෙහිදී අප මෙම සංහාර තරුණ සංහාර ලෙස හඳුන්වන්නේ මෙම කැරැලිවලින් වැඩිපුර මියගියේ තරුණයන් නිසා ය. එසේ ම, එම කැරැලිවලදී එම සංහාර සිදු කළේ තනිකර ම රජය හා හමුදා විසින් යයි අප අදහස් කරන්නේ නැත. කැරැලි ව්‍යාපාර විසින් මරා දමන ලද වැඩි පිරිස ද තරුණයන් ය. උදාහරණයක් ලෙස දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය තරගකාරී දෙමළ සංවිධානවල සාමාජික තරුණයන් දහස් ගණනක් මරාදැමුවේ ය.

කැරැලි මර්දනයේදී ක්‍රියාකාරී වූ රජයේ හමුදාවල වැඩි පිරිස ද තරුණයෝ ය. ඔවුන් ද කැරැලි ව්‍යාපාර අතින් ඝාතනයට ලක් වූ අතර, සංහාරයන් ක්‍රියාත්මක කිරීමට දායක ද වූ හ.

මෙම කැරැලි විසින් රටට කරන ලද හානිය අති මහත් ය. එම හානිය ආර්ථිකයට, සමාජ සංවර්ධනයට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට, සංස්කෘතියට වැනි අංශ රැසකට බලපෑවේ ය. වයස් සීමාවකින් තොරව සියලු දෙනාට හානි සිදු වූ මුත්, වැඩි ම හානිය වූයේ තරුණ පරපුරට ය. කැරැලි හේතුවෙන් විශාල තරුණ ජවයක්, නිර්මානශීලිත්වයක් රටට අහිමි විය. ඉතිරි වූ තරුණ ජවය හා නිර්මාණශීලිත්වය ද මොට කර දමන්නට කැරැලි හේතු විය. දස දහස් ගණනක් තරුණයෝ සිය තුරුණු දිවියේ හොඳම කාලය වසර ගණනක් කැරැලි හා පශ්චාත් කැරැලි විපාක වෙනුවෙන් වැය කළ හ. ලංකාව වර්තමානයේදී අත්විඳින බොහෝ පසුගාමිත්වයන්ට තරුණ කැරැලි හා ඒ හා සම්බන්ධ දේශපාලනයන් විසින් ලබා දෙන දායකත්වය සුළුපටු නොවේ.

මෙය ඉතා හොඳින් නිරූපණය වන ක්ෂේත්‍රයක් වන්නේ උසස් අධ්‍යාපනයයි. තරුණ ප්‍රජාවේ අවශ්‍යතාවන් සපිරිය හැකි අන්දමින් උසස් අධ්‍යාපන පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්නට රජය දිගින් දිගට ම අසමත් වී තිබේ. තවමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන පිරිස අතරින් 70%කට පමණ විශ්වවිද්‍යාල නැත. ඔවුන්ට මව්පියන්ගේ මුදල් වැයකරමින් හෝ වැඩකරමින් මුදල් උපයා ගෙවා හෝ ගුණාත්මක උසස් අධ්‍යාපනයක් ලබාගැනීමට තිබෙන අවස්ථා ප්‍රමාණවත් නැත. උසස් අධ්‍යාපනය සම්බන්ධ රජයේ ක්‍රියාමාර්ග දෙස විශ්වවිද්‍යාල සිසුන් හැම විට ම බලන්නේ සැකමුසු බියකිනි. උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිසුන් සමග අවබෝධයක් ඇති කරගැනීමට රජයන් ද අසමත් ය. නවක වධය වැනි පසුගාමී, ප්‍ර‍තිගාමී සංස්කෘතීන් විශ්වවිද්‍යාලවල මුල්බැසගෙන තිබේ. ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය, ලිංගික ප්‍රචණ්ඩත්වය, මානව හිමිකම්, කාන්තා අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වැනි ඉතා වැදගත් සමාජමය කාරණා රැසක් සම්බන්ධ ඉතා පැහැදිලි නොතකා හැරීමක් නවක වධය තුළ තිබේ. විශ්වවිද්‍යාලවලින් පිටවන පිරිස් මෙම පසුගාමිත්වයන් යළි සමාජයට රැගෙන එති.

ජනගහන ප්‍ර‍වණතා අනුව බැලූ විට ලංකාවට තවත් තරුණ සංහාරයක් දරාගන්නට පුළුවන් ද යන්න සැක සහිත ය. එයට හේතුව ලංකාවේ සිදුවන වේගවත් ජනගහන වියපත් වීමයි. වසර 2030 වන විට ලංකාවේ ජනගහනයෙන් 20%ක් වයස අවුරුදු 60ට වැඩි අයයි. එනම්, සෑම පස්දෙනෙකුගෙන් ම එක් අයෙකු වැඩිහිටියෙකි. මෙසේ වැඩිහිටි ජනගහනය වැඩි වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ උපතේදී ආයු අපේක්ෂාව ඉහළ යාමයි. ශ්‍රී ලාංකික කාන්තාවකගේ උපතේදී ආයු අපේක්ෂාව වසර 79කි. පිරිමියකුගේ උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 72කි.

ජනවිකාස විද්‍යාවේ යෙදෙන ජනවිකාස වාසිය නම් සංකල්පය මෙහිදී ඉතා වැදගත් ය. ජනවිකාස වාසිය යනු සිංහල භාෂාවෙන් එතරම් සාකච්ඡා කර ඇති මාතෘකාවක් නොවේ. රොනල්ඩ් ලී හා ඇන්ඩෘ මේසන් විසින් එය අර්ථකථනය කර තිබෙන්නේ මෙසේයි: ජනවිකාස වාසිය යනු සමාජයක් ඉහළ මට්ටමේ උපත් හා මරණ අනුපාතිකයන් සහිත ග්‍රාමීය කෘෂිකාර්මික සමාජයක සිට පහළ මට්ටමේ උපත් හා මරණ අනුපාතිකයන් සහිත නාගරික කාර්මික සමාජයකට සංක්‍ර‍මණය වීමයි.

මෙම සංක්‍රාමීය අවධියේ මුල් අදියරේදී උපත් අනුපාතිකයන් පහත වැටීම නිසා වයස අවුරුදු 15ට අඩු යැපෙන්නන් සංඛ්‍යාව අඩු වෙයි. යැපෙන්නන්ට සාපේක්ෂව ශ්‍ර‍ම බලකාය වේගයෙන් වර්ධනය වෙයි. ඒ නිසා සම්පත් ආර්ථික වර්ධනයට හා සමාජ සංවර්ධනයට යෙදවේ. මේ කාලයේදී සාමාන්‍යයෙන් ඒක පුද්ගල දළ ජාතික ආදායම වේගයෙන් වර්ධනය වෙයි.

එහෙත්, කාලයක් යන විට උපත් අනුපාතිකයේ අඩු වීමේ ප්‍ර‍තිඵල ලෙස ශ්‍ර‍ම බලකාය හැකිළෙන්නට පටන් ගනියි. ඒ සමගම සමාජ සංවර්ධනයේ ප්‍ර‍තිඵලයක් ලෙස ආයු අපේක්ෂාව ද වැඩි වීම නිසා වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටි ජනගහණය වැඩි වෙන්නට පටන් ගනියි. ජනවිකාස වාසිය ක්‍රියාත්මක වන අවධිය ලෙස සැලකෙන්නේ මේ අතරතුර කාලයයි.

1991දී ශ්‍රී ලංකාව මෙම ජනවිකාස වාසි අවධිය තුළට පිවිසියේ ය. 2017 වන විට එම වාසිය අපට අහිමි වීම ආරම්භ වන බව ඇතැම් ජනවිකාස විද්‍යාඥයන් විසින් පෙන්වා දී තිබේ. මේ සම්බන්ධ විවිධ මත තිබේ. කොහොම වුණත්, රටක් ලෙස ලංකාව සිටින්නේ එතරම් පහසු තත්වයක නොවේ.

ශ්‍රී ලංකාවේ වර්තමාන තරුණ ජනගහණය 22%ක් පමණ වේ. එය ලොව සෙසු බොහෝ රටවල් සමග සාපේක්ෂව ගත් කල අඩු ප්‍ර‍තිශතයකි.  වසර 2030 වන විට ජනගහනයේ වයස 60ට වැඩි වැඩිහිටි ප්‍රතිශතයත්, වයස අවුරුදු 17-29 අතර තරුණ ප්‍රතිශතයත් බොහෝ දුරට සමාන වේ. මෙම තරුණ ජනගහනය වැඩ කරන වියේ සිටින ජනතාව අතර වැදගත් ම කොටස ලෙස සැලකිය හැකි ය. වයස අවුරුදු 15 සහ 59 අතර ජනගහනය රටක ශ්‍රම බලකාය සඳහා සුදුසු ම වයස ලෙස සැලකේ. ශ්‍රී ලංකාවේ ජනගහනය අතර මෙම වයස් කාණ්ඩයේ ප්‍රතිශතය අඩුවෙමින් තිබේ.

ආර්ථික විද්‍යාවේදී NEET (Not in Education, Employment and Training) ලෙස හැඳින්වෙන තරුණ කාණ්ඩය තුළ සිදු කරනු ලබන වෙනස්කම් තරුණයන්ගේ හැකියාවන් පූර්ණ කිරීමේදී ඉතා වැදගත් ය. NEET කාණ්ඩයට අයත් වන වයස අවුරුදු 15-24 අතර ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව 26.1%ක් විය. එය ගෝලීය සාමාන්‍යය වන 21.8%ට වැඩි ය. මෙම වයසේ කාන්තාවන් අතර මෙම ප්‍රජාව 34.5%කි. පිරිමි අතර අනුපාතිකය වන 17%ට වඩා දෙගුණයක් වැඩි ය. මෙම පිරිස අධ්‍යාපනයේ, රැකියාවල හෝ පුහුණුවක නොයෙදෙති. රටේ විරැකියාව ඉහළ නංවන්නට ද මෙම ප්‍රජාව ඉවහල් වේ. තුරුණු වියේ හොඳම අවධියක සිටින ඔවුන් ඵලදායී වැඩවල නිරත වීම ඉතා වැදගත් ය.

තරුණයන්ගේ ප්‍ර‍ජා සහභාගිත්වය, රැකියා හා අවස්ථා උපයෝගී කරගැනීම යන අංශවලින් ශ්‍රී ලංකාව තවත් ඉදිරියට යා යුතු ය. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් පළ කරන ලද ‘20.4 මිලියන්’ නම් ජනගහන ප්‍රවණතා විශ්ලේෂණයේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ තරුණ ජනයාගෙන් 71.5%ත් දේශපාලනිකව අක්‍රිය ය. කිසියම් දේශපාලන කටයුත්තක යෙදී සිටින්නේ 1.9%ක් පමණි. වෘත්තීය සමිති කටයුතුවල යෙදී සිටින්නේ 1.3%ක් පමණි. පළාත් පාලනයේ තරුණ සහභාගිත්වය දිරිගැන්වීම සඳහා අපේක්ෂක ලැයිස්තු අතර ලබා දී තිබුණු තරුණ කෝටාව කාන්තා සහභාගිත්වය දිරිගැන්වීම සඳහා කරන ලද ප්‍රතිසංස්කරණ සමග ඉවත් කර දමන ලදී. පසුගියදා manthri.lk වෙබ් අඩවිය විසින් කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලය අනුව පාර්ලිමේන්තුවේ වයස අවුරුදු 40ට අඩු මන්ත්‍රී සංඛ්‍යාව 6.7%ක් පමණි. එයට සාපේක්ෂව පාර්ලිමේන්තුවේ වයස අවුරුදු 60ට මන්ත්‍රීන් ප්‍රතිශතය 35%ක් පමණ වේ.

ප්‍රතිපත්ති සම්පාදනයේදී තරුණ සහභාගිත්වය ඉතා වැදගත් ය. තරුණ කැරැලි ඇති වීම වැළැක්වීමෙහි ලා එය ඉතා වැදගත් ය. එසේම, තරුණයන්ගේ කුසලතා සංවර්ධනය සඳහා අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව වැනි අංශවල කරනු ලබන ආයෝජනවල වටිනාකම ද ඉතා ඉහළ ය. අප විසින් ඉහත දක්වන ලද කරුණු අනුව අප තර්ක කරන්නේ ශ්‍රී ලංකාවේ ජනගහන ප්‍රවණතා අනුව තවත් තරුණ සංහාරයක්, කැරැල්ලක්, යුද්ධයක් දරාගැනීමට ශ්‍රී ලංකාවට බැරි ය. එහෙයින් එවැන්නක් වළක්වා ගැනීම සඳහා ගත හැකි පියවර කෙතරම් මිළ අධික වුව ද ඒ සම්බන්ධයෙන් නිර්ලෝභී විය යුතු ය.

(Photo by Robert Nickelsberg/Getty Images)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *