නිකං ඉන්නවාට කරන තෙත් කලාපයේ වී ගොවිතැන
ඉන්දික ගුණවර්ධන – මතුගම
ජනාධිපති, කෘෂිකර්මයට සම්බන්ධ ඇමතිවරු හා ඉහළ නිලධාරීන් එකතුව කෘෂිකර්මය නගාලීම සදහා ඉහළ ප්‍රචාරයක් ලබාදෙති.
ඔවුන් ඉදිරිපත් කරන ලෙසින් මෙය සරලව, සුන්දරව ඉටුකර හැකිනම් එය භාග්‍යයකි. නමුත් ප්‍රායෝගිකව කෘෂිකර්මයේ යෙදීමෙහිදී ඇතිවන ගැටලු ඉතා සංකීර්ණ වේ.
තෙත් කලාපයේ, විශේෂයෙන් ම බස්නාහිර පළාතේ, වී ගොවිතැන ලාභදායී නොවන බෝග වගාවකි.
- ඒ සදහා යන ශ්‍රම වියදම ඉතා ඉහළ වේ. එක් කෘෂි කම්කරුවකුට පමණක් දිනකට රු. 2000ක පමණ කුලී ගෙවිය යුතු ය. එසේම, පුහුණු ශ්‍රමිකයන් ද හිඟ ය.
- තෙත් කලාපයේ වී වගාව සිදුකරනුයේ වර්ෂාව කේන්ද්‍ර කරගෙන නිසා දේශගුණික විපර්යාස නිසා මෝසම් වැසි චක්‍රයට සිදුවන බලපැම වී වගාවට දැඩි ලෙස බලපායි. ජල කලමනාකරණ ක්‍රියාවලියක් නොමැතිකමින් තත්ත්වය තවත් උග්‍ර වේ.
- කන්න තුන හතරකට වරක්, පලිබෝධ උවදුරක්, ස්වාභාවික විපතක් වැනි කුමන හෝ දෙයකින් වගාව විනාශ වේ.
- ප්‍රදේශයේ පවතින වගුරු හා හැල් තත්ත්වය හා වගා ඉඩම් කුඩා වීම නිසා නවින කෘෂි යන්ත්‍ර සුත්‍ර භාවිතය අපහසු ය.
ඉහත තත්ත්වයන් මත වී වගාවට ඉහළ පිරිවැයක් දැරුව ද එයට සරිලන ආදායමක් නොලැබේ. වර්තමානයේදී කුඹුරු අක්කරයක් වගා කිරීමට රු. 50,000ක් පමණ වැය වන බව ගොවීහු පවසති. එහෙත්, අස්වනු අඩු ය. තෙත් කලාපයේ වී ගොවිතැනෙන් 70%ක් ම සිදුකරන්නේ අර්ධකාලීනව වන අතර 70%ක් වී වගා කරනුයේ පරිභෝජනය කිරීමට බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ සංඛ්‍යා ලේඛන හෙළිකරයි.
එම ආයතනයේ සංඛ්‍යාලේඛන අනුව, ශ්‍රී ලංකාවේ මුළු වී නිෂ්පාදනයෙන් 60%ක් පමණ වියළි කලාපයෙන් ලැබෙන අතර අතරමැදි කලාපයෙන් 20%ක පමණද තෙත් කලාපයෙන් 20%ක පමණ දායකත්වයක් ලැබේ.
එහෙත්, තෙත් කලාපයේ වී නිෂ්පාදනය සාපේක්ෂව අඩු වූවත් වී නිෂ්පාදනයේ අස්ථාවරත්ව මට්ටම අනිකුත් කෘෂි-පාරසරික කලාප වලට සාපේක්ෂව පහළ මට්ටමක පවතින බව එම ආයතනය පෙන්වා දෙයි.
එහෙත්, 2015 වසර වන විට තෙත් කලාපයේ පමණක් හෙක්ටයාර් 38,327ක් කුඹුරු පුරන් වී ඇති බව ද එම ආයතනය පවසයි. එය ශ්‍රී ලංකාවේ මුළු පුරන් කුඹුරු ප්‍රමාණයෙන් 50%ක් පමණ වේ. මෙලෙස කුඹුරු පුරන් වීමට අප ඉහත දක්වන ලද පාරිසරික, සමාජ, ආර්ථික සාධක හේතු වේ.
2014 වර්ෂයේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් “පහතරට තෙත් කලාපයේ කුඹුරු බිම් වී වගාව සඳහා ශක්‍යතාවය අනුව වර්ගීකරණය කිරීම” යන තේමාවෙන් අධ්‍යයනයක් සිදුකරන ලදී. වී වගාවට ශක්‍යතාවයක් ඇති පළමු පන්තියේ හා දෙවන පන්තියේ කුඹුරුවලින් පිළිවෙළින් 44%ක් හා 64%ක් වගා නොකරන බව එහි දැක්වේ. “වී වගා නොකිරීම සඳහා පාරිසරික සීමාකාරී සාධක වලට වඩා සමාජ-ආර්ථික සාධක බලපාන බවයි. මෙලෙස බලපාන පාරිසරික සීමාකාරී සාධක ලෙස ගංවතුර, ලවණතාවය, යකඩ විෂවීම, ආම්ලිකතාවය, හැල් හා අර්ධ-හැල් කුඹුරු, පසේ වැලි සහිත බව වැඩි වීම හා විෂ තත්ත්වයන් දැක්විය හැකිය. සමාජ-ආර්ථික සාධක ලෙස ශ්‍රමය හා සම්බන්ධ ගැටලු, යන්ත්‍රෝපකරණ භාවිතය සම්බන්ධ ගැටලු, ජල කළමනාකරණය හා බැදුණු ගැටලු, අඩු ඵලදායිතාවය, නිෂ්පාදන පිරිවැය, අයිතිය හා බුක්තිය සම්බන්ධ ගැටලු සහ අපද්‍රව්‍ය හා විෂ ද්‍රව්‍යය කුඹුරට එකතු වීම නිසා ඇති වන ගැටලු ප්‍රධාන වශයෙන් තෙත් කලාපයේ දැකිය හැකිය.තාක්ෂණික වශයෙන් බලපාන ගැටලුවලට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වන විටත් විකල්ප විසඳුම් හා ක්‍රමවේද ඉදිරිපත් කර ඇත. උදාහරණයක් ලෙස ඒ ඒ දේශගුණික තත්ත්වයන්ට හා පසේ ස්වභාවයට ඔරොත්තු දෙන වී ප්‍රභේද හඳුන්වා දීම දැක්විය හැකිය,” යි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ පර්යේෂණ නිලධාරිවරයකු වන ප්‍රසන්න විජේසිංහ විසින් දිනමිණ පුවත්පතට ලියන ලද ලිපියක දැක්වේ.
රූපවාහිනි නාලිකාවල සෑම දිනකම ප්‍රවෘත්ති විකාශයන්හි වගාවන් විනාශ වී ගොවියා පීඩාවට පත්ව ඇති අයුරු පෙන්වයි. බාල බීජ නිසා ගොවීන්ට ඇති වන ගැටලු, වනසතුන්ගෙන් වන හානි, ස්වාභාවික විපත්, මී උණ වැනි රෝග මෙන් ම ගොවීන්ට නිසි මග පෙන්වීමට නිලධාරින් නොමැති වීම ආදී ගැටලු නිතර මාධ්‍යවලින් ඉදිරිපත් කෙරේ.
ගෝලීය ධනවාදය තුළ ගොඩනැගි ඇති සේවා ආර්ථිකයට ප්‍රමුඛතාව දෙන මානසිකත්වය කෘෂිකර්මාන්තයට ශ්‍රම හිඟයක් පවා ඇති කරයි. සමස්ත සමාජයම ඉහළ සේවා ආර්ථික රැකියාවක් සදහා තරග කරන අතර එය ලබාගැනීමට නොහැකි නම් ත්‍රිරෝද රථයක්, රයිස් කඩයක්, ෆෝන් කඩයක් වැනි සුළු ව්‍යාපාරයක් හෝ කරයි. නැතිනම් දේශපාලකයකු පසු පස හෝ යයි.
මෙම මානසිකත්වයට අනුබල දෙන පඩංගු ටෙලිනාට්‍ය ද දිනය පුරාම පෙන්වයි. මෙම තත්ත්වය මත කෘෂිකර්මයෙන් උපයන ආදායම ගැන තදබල ගැටලුවක් ඇත.
මෙවැනි ගැටලුවලට පිළිතුරු සෙවීමට හැකිද යන කරුණ මත කෘෂිකර්මයේ පුනුරුදය ගැන තීරණය ගත හැක .