නිර්මාලීය ඉතිහාස කතිකාව සහ ආරාමදාස
අජිත් පැරකුම් ජයසිංහ
ආරියවංශ අබේසේකරගේ ‘ආරාමදාස’ නවකතාව අව්‍යාජ ලිවීමකි. එහෙත්, එය නවකතාවක් ලෙස ගත් කල එතරම් කතා රසයක් නැති, පැතලි චරිත සහිත කතාවකි. මනරම් භාෂා භාවිතයක් මැද පවා කියවීම තරමක් ආයාසකර හා කම්මැලි උපදවන කාර්යයක් වුව ද එතරම් කියවන්නෙකු නොවන මම එය කියවූයෙමි. එයට හේතුව, එම කෘතියට පසුබිම් වන ඓතිහාසික පසුතලයේ ඇති වැදගත්කමයි.
කොළඹ විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද ඉතිහාස ප්‍රදර්ශනය නැරඹුවේ ද එම දිනවලමය. ආරාමදාස නවකතාවත්, මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ ප්‍රධානත්වයෙන් ප්‍රවර්ධනය කරනු ලබන ප්‍රගතිශීලී ඉතිහාස කතිකාවත් අතර සිත්ඇදගන්නාසුළු සම්බන්ධයක් තිබේ. කන්ටේනර් පෙට්ටි දෙකක පැවැත්වුණු මෙම ප්‍රදර්ශනයේ එක පෙට්ටියක් ක්ෂුද්‍ර ඉතිහාස කතා ඉදිරිපත් කිරීම සඳහා වෙන්කර තිබිණි. ආරාමදාස ගැන එහි ක්ෂුද්‍ර සටහනක් නොතිබුණත්, එම ඉතිහාස කතිකාව සම්බන්ධ ක්ෂුද්‍ර නොවන සටහනක් ආරාමදාස විසින් තබා තිබේ.
එම ඉතිහාස කතිකාවෙහි ප්‍රධාන තර්කයක් ලෙස මා තේරුම් ගත්තේ ලංකාවේ ඉතිහාසය රේඛීය අඛණ්ඩතාවකින් යුක්ත නොවන බව හා පොළොන්නරු යුගයෙන් ඛණ්ඩනය වී ඉන්පසු නැවත නිර්මාණය වී තිබෙන බවයි. වියළි කලාපීය රාජධානි සමයන්හිදී කෘෂිකර්මාන්තයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වාරි පහසුකම් සම්බන්ධයෙන් රාජ්‍යයේ මැදිහත්වීම අතිශය වැදගත් විය. එහෙත්, රාජධානිය දකුණට සංක්‍රමණය වන විට රාජ්‍යයේ එකී වැදගත්කම අඩු වනබවක් එයින්ඉදිරිපත් වන බව මම සිතුවෙමි. ඒ නිසා රාජ්‍යය හා වැසියා අතර සම්බන්ධය ද, රාජ්‍යයේ බලාධිකාරයේ ස්වරූපය ද වෙනස් විය.
මේ පිළිබඳ පැහැදිලි කරමින් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙසේ පැවසීය: “මේ ප්‍රදර්ශනයේ කතිකාවේ එක් අරමුණක් වන්නේ “රාජධානිය දකුණට සංක්‍රමණය“ වීම (මෙයට කියන්නේ “නිරිතදිගට සංක්‍රමණය වීම“ කියාය) පිළිබද ප්‍රවාදය ප්‍රතික්ෂේප කිරීමයි. එසේ කිරීම මගින් උතුරේ සහ දකුණේ අනන්‍ය සමාජ සැකසුම් දෙකක් විකාශය පැහැදිලි කිරීමයි. මෙහිදී මූලික වශයෙන් අවධානයට ලක් කෙරෙන්නේ දකුණු සැකැස්ම පිළිබදව වන අතර එය කෙරෙන්නේ උතුරු සැකැසුමේ අනන්‍ය පැවැත්ම පැහැදිලි කරමිනි.”
ආරාමදාස නවකතාවට තේමා වන්නේ ඉපැරණි පොළොන්නරු රාජධානියේ නටබුන්වල කටුකොහොල් හැර පුරාවිද්‍යාත්මක වශයෙන් සංරක්ෂණය කිරීමයි. ඒ හා සම්බන්ධ වුණ මිනිසුන්ගේ හා එම යුගයේ විස්තරත්, පුරාවිද්‍යාත්මක ගවේශණයන් පසුබිම් කරගෙන නව ඉතිහාස කතිකාවන් නිර්මාණය වන ආකාරයත් එහි යම් දුරකට විග්‍රහ කරනු ලැබේ.
ආරාමදාස නවකතාවට තේමාවන්නේ පොළොන්නරුවේ අලුත් ජනපදකරණය හා සමාන්තරව නිර්මාණය වන නව ඉතිහාස කතිකාව හා ජන ජීවිතය සමග එහි ඇති සම්බන්ධයයි. රාජධානි සමයත් සමග සම්බන්ධ වූ එකම අඛණ්ඩතාව ලෙස සැලකිය හැකි ආනෛඋලුන්දාව නම් පැරණි දෙමළ ගම්මානය ගිනිතබා එහි දෙමළ කතාකරන වැසියන් වවුනියාවට පළවාහැරීම නම් අතිශය වැදගත් සත්‍ය සිද්ධිය එහි විස්තර කෙරේ. ආනෛඋලුන්දාව ඓතිහාසික අඛණ්ඩතාවේ සාක්ෂියක් ලෙස සැලකිය හැකිද යන්න සැක සහිතය. එම ගම්මානය පොළොන්නරු යුගයේ සිටම පැවති පැරණි ගමක් විය හැකි වුවත්, ඒ බව ඔප්පු කිරීම සඳහා ප්‍රබල ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂි නැත. එහෙත්, නූතන ඉතිහාස කතිකාව නිර්මාණය කිරීමේදී එවැනි දුර්වල සාක්ෂියක් හෝ ඉතිරි නොකිරීමට ප්‍රධාන ධාරාවේ ඉතිහාස කතිකාවේ නිර්මාපකයන් පිරිසක් කටයුතු කිරීම නාට්‍යමය සිදුවීමකි. එම අඛණ්ඩතාව අවධාරණය කිරීමත්, අඛණ්ඩතාව පිළිබඳ ඉතා දුර්වල සාක්ෂි පවා විනාශ කරදැමීමත් එකම පිරිසක් විසින් සිදුකිරීම එයට හේතුවයි.
නවකතාකරු මෙම සිදුවීමෙහි ගැඹුරට තම අවධානය යොමුකරන්නේ සීමාසහිතවය. විශේෂයෙන්ම බුද්ධාගම හා භික්ෂූන් එය සමග සම්බන්ධ වන ආකාරය ඔහු ගාල්ලෙන් වෙදපොත් ටිකක් සොරකම් කරගෙන පළා ආ පාරාජිකා භික්ෂුවකගේ මැදිහත්වීමට සීමාකර තිබේ. එය එතරම් සරල නැත. පොළොන්නරුවේ දේශපාලනය හා ජාතික තලයේ බණ්ඩාරනායකගේ නැගීඒම ද ඔහුට මගහැරී තිබේ. එසේම, සමස්ත ජනපදකරණය තුළම තිබුණු සිංහල ජාතිවාදය ද නවකතාකරුට ස්පර්ශ වී නැත.
එහෙත්, පුරාවිද්‍යා කැණීම් හා සංරක්ෂණය සිදුකළ කම්කරුවන්ගේ ජීවිත පිළිබඳ විවරණයක් එහි අඩංගු වේ. පුරාවස්තුවල නිරූපණය වූ බහිරවයන්ගේ ජීවිත කතා ඔස්සේ පොළොන්නරුව රාජධානිය බිඳවැටුණු සමය පරිකල්පනය කිරීමට ඔහු දැරූ උත්සාහය අසාර්ථක වී ඇතැයි මට සිතේ. ඉතිහාසකරුවා නතර වන සීමාවෙන් ඔබ්බට තිබෙන්නේ නවකතාකරුගේ අඩවියයි. එහි නිදහස පූර්ණ ලෙස භුක්ති විඳීමට ආරාමදාස නවකතාකරුවා සමත් වී නැත. කෙසේ වෙතත්, එය ඉතිහාසය පදනම් කරගත් නවකතා අතර වැදගත් කෘතියකැයි කිවහැකිය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස කතිකාව දෙස නැවත අවධානය යොමුකරන විට ද ආරාමදාස නවකතාව සමග අපූරු සමාන්තරකමක් දැකිය හැකිය. දෙමළ ඉතිහාසය නම් ගුප්ත අන්ධකාර අඩවිය ගවේෂණය කරන්නට එම ඉතිහාස කතිකාව ද තවම ප්‍රමාණවත් අන්දමින් යොමුවී නැති බවක් පෙනේ. ක්ෂුද්‍ර ඉතිහාස කතා භාෂා තුනෙන්ම ඉදිරිපත් කරන ගමන් ප්‍රධාන ඉතිහාස කතිකාව සිංහලෙන් පමණක් ඉදිරිපත් කරන්නට ඇත්තේ ඒ සීමිතකම සංකේතාත්මකව නිරූපණය කිරීමට විය හැකිය. දෙමළ ඉතිහාසය ඇත්තෙන්ම ආනෛඋලුන්දාවේ අතීත කතාව තරම්ම ගුප්ත කතාවක් විය හැකිය. එය සොයා පාදාගත යුතුය. එහෙත්, ඊට පෙර අපි ආනෛඋලුන්දාව ආනමුරුන්දාව බවට පත්කර තවත් සිංහලකරණය කරගෙන ඇතුමළපිටිය බවට ද පෙරළාගෙන හමාරය. ආනෛඋලුන්දාවේ අතීතය සොයාගැනීම දුෂ්කර වන්නේ ඒ කොංක්‍රීට් ආවරණ නිසාය. දෙමළ ඉතිහාසය ගවේෂණය කිරීම ද ඒ හා සමානය.
උතුරේ සහ දකුණේ අනන්‍ය සමාජ සැකසුම් දෙකක් විකාශය වී ඇති බවට නිර්මාල් විසින් ඉදිරිපත් කරනු ලබන මතය අනුව, එසේ වීම ගැටලුවක් ද නොවේ.