පරිවර්තනයයි අනුවර්තනයයි අතර සීමාව
අජිත් පැරකුම් ජයසිංහ
වෘත්තීය පරිවර්තකයකු ලෙස මා මගේ කාර්යය ගැන සිතන ආකාරය පැහැදිලි කිරීමට මෙම නිදසුන කදිම යයි සිතුණු බැවින් මෙසේ පළකරමි.
මුල් පාඨය මෙසේය:
The sole aim of journalism should be service. The newspaper is a great power, but just as an unchained torrent of water submerges the whole countryside and devastates crops, even so, an uncontrolled pen serves but to destroy.” Mahatma Gandhi.
මා මෙය පරිවර්තනය කරන්නේ මෙසේය:
“පුවත්පත් කලාවේ මූලික අරමුණ වන්නේ සේවය කිරීමයි. පුවත්පත දැවැන්ත බලයකි. එහෙත්, වාන කඩාගෙන පැමිණ ගම්බිම්, කෙත්වතු යටකර මහා විනාශයක් සිදුකරන වැව් දිය කඳක් සේ පාලනය නොකරන ලද පෑන ද සේවය කරන්නේ විනාශයටයි.” -මහත්මා ගාන්ධි
unchained torrent of water මම වාන කඩාගෙන එන වැව් දිය කඳක් කළෙමි.
ඉන්දියාවේ වැව් නැත. එහෙත්, ලොව පුරාම ජලය රඳවා ගන්නා ජලාශ ඇති නිසා මෙම අත්දැකීම ලොවටම පොදුය. අපට ඒ අත්දැකීම සමග හැමවිටම සිහිවන්නේ වැවයි. මෑත කාලයේ සිට නම්, මහවැලි ජලාශ වැනි වැව් නොවන ජලාශ තිබේ.
පරිවර්තනය කරන්නේ පරිවර්තිත භාෂාවේ පාඨකයන් වෙනුවෙනි. එහෙයින් පරිවර්තනය එම පාඨකයාට තේරුම් ගැනීම පහසු විය යුතුය. එහෙත්, පරිවර්තනයක් දේශීයකරණය කිරීමෙහි සීමාවක් තිබේ. මුල් සංදර්භය සම්පූර්ණයෙන්ම වෙනස් වන පරිදි දේශීයකරණය කළ විට එය තවදුරටත් පරිවර්තනයක් නොව අනුවර්තනයකි.
ඊ.ආර්. එරත්නයන් විසින් රොමාගේ වාසනාව නමින් චාල්ස් ඩිකන්ස්ගේ ග්‍රේට් එක්ස්පෙක්ටේෂන් අනුවර්තනය කළේය. හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාව බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ ද කෝකේසියන් චෝක් සර්කල් නාට්‍යයේ අනුවර්තනයකි.