Alborada

හඳගමගේ ඇල්බොරාදා මා රසවිඳින හැටි

අජිත් පැරකුම් ජයසිංහ

අශෝක හඳගමගේ ඇල්බොරාදා සිනමා සිත්තම පුළුල් සංවාදයකට නිමිත්ත වී තිබේ. ඇල්බොරාදා යනු කුමක්ද? මම එහි තේරුමවත් සොයන්නට නොවෙහෙසෙමි. මා චිත්‍රපටය රසවිඳින්නේ මගේ දැනුම සීමාව තුළයි. චිත්‍රපටයක් රසවිඳීම සඳහා තවත් බොහෝ අධ්‍යයන සිදුකළ යුතු විය හැකිය. එහෙත්, චිත්‍රපටය යනු මට නම් කර තබාගෙන යන්නට දෙයක් නොවේ. බලා රසවිඳීමෙන් පසු ඕනෑම කලා කෘතියක් අතහැර දැමිය යුතුය. එහි යමක් සිතේ රැඳේ නම්, ඒ කලාකරුවා කුමන හෝ හේතුවක් මත මා සමග සහෘද වූ නිසාය.

පැබ්ලෝ නෙරූදා යනු කවරෙක්ද? මම ඔහු පිළිබඳ සුළු දැනුමක් හෝ තිබිණි නම් එය ද මනසින් හිස්කර දමන්නට උත්සාහ කරමි. ලයනල් (වෙන්ඩ්ට්) හා ඔහු අතර සම්බන්ධය ද මට වැදගත්කමක් නැත. සමස්ත ඉතිහාස සිද්ධියම පසෙකින් තැබීම චිත්‍රපටය රසවිඳීම පහසු කරයි. හඳගම කිසියම් ඉතිහාසයක් මත පදනම් වනවා ඇත. එහෙත්, ඇල්බොරාදා ඉතිහාසය වාර්තාගත කිරීමක් නොවේ. ඒ නිසා සැබෑ නෙරූදා සමග ඇල්බොරාදා පටලවා ගැනීම අර්ථශුන්‍ය ක්‍රියාවකි.

පැබ්ලෝ නෙරූදා ලියූ කවි අතරින් තෝරාගත් කීපයක් ඒවා ලියැවුණු මුල් බස වන ස්පාඤ්ඤ බසින් චිත්‍රපටයේ කියැවේ. යම් ශබ්ද රසයක් ජනිත වේ. එහි ඉංග්‍රීසි පරිවර්තනය උපසිරැසි ලෙස තිරයේ දිස්වේ. රූපයත් උපසිරැසිත් අතරම මගේ මනස ඔද්දල් වේ. වෙනත් අයකු තීරණය කරන වේගයෙන් මට කවි කියවා රසවිඳිය නොහැකිය. මා චිත්‍රපටයක් බලන්නට ආවේ රූප බලන්නට මිස පිටපත් කියවන්නට නොවේ. සිනමාවේ ප්‍රමුඛ වන්නේ රූපය හා ශබ්දයයි. ඒ කවිවල අදාළත්වය දැනගන්නට නම් මා චිත්‍රපටය නවත්ව නවත්වා ඒ කවි කියැවිය යුතුය. එහෙත්, රීගල් හෝ ලොව වෙනත් කිසිදු සිනමා ශාලාවක නම් එවැනි පහසුකමක් නැත. චිත්‍රපට බැලීමේ වෙනත් ක්‍රමවලින් නම් එය කළ හැකිය. එහෙත් කුමටද?

රූපයටත් වඩා මට ඇල්බොරාදාහි සිත්ගත්තේ ශබ්ද භාවිතයයි. සක්කිලි කාන්තාවගේ පාදජාලාවල ශබ්දය පැබ්ලෝගේ මනසේ රැව් පිළිරැව් දුන් ආකාරයටම මටත් ඇසේ.

සිලෝන්හි යටත් විජිත සමයේ අගභාගයේදී, මෙරටට එතරම් වැදගත් නැති දුරබැහැර රටකින් තානාපතිවරයකු ලෙස පත්ව එන, එහෙමට වැඩකුත් නැති, සිතේ විවේකයකුත් නැති තරුණයෙකු ගැන කතාවක් චිත්‍රපටයේ දැක්වේ. ඔහු කවියෙකි. ඔහු නිසා ගැහැණු පිස්සු වැටෙති. ඒ ඔහුගේ කවි නිසාද? ඔහුගේ කවි නිසා පිස්සුවැටෙන ගැහැණුන් සමග ඔහු රති කෙළියේ යෙදෙයි. එය තරමක් ප්‍රචණ්ඩ රතිකෙළියකි. සෙඩෝමැසකිසම් (sadomasochism) හෙවත් පීඩාකාමුකත්ව ලක්ෂණ එහි දක්නට ලැබේ. සෙඩා්මැසකිසම් යනු වෙනත් අයට රිදවමින් හෝ තමන්ට රිදවාගනිමින් හා අවමන් සහගත තත්වයට පත්කරමින් හා පත්වෙමින් ලිංගික තෘප්තිය ලැබීමයි. සෙඩෝමැසකිසම් මගින් සතුට ලැබීමට නම් දෙපාර්ශ්වයම එයට එකඟ විය යුතුය. එසේ නොමැති නම්, එක් පාර්ශ්වයක් දූෂණයට ලක්වේ. මෙය පරපීඩක සේඩිසම් හා ස්වපීඩක මැසකිසම් ඒකාබද්ධ තත්වයකි.

එහෙත්, එකඟතාවෙන් සෙඩෝමැසකිසම් ස්වරූපී සම්බන්ධතාවකට ඉඩදෙන කෙනෙකු සමග ඇතිවන ලිංගික සම්බන්ධයකින් එයින් තෘප්තිය අපේක්ෂා කරන අයෙකුට සැබෑ තෘප්තියක් ලැබේද? එවැන්නකු සැබැවින් සතුටු වන්නේ දූෂණයකින් හෝ දූෂණයකට ලක්වීමෙන් පමණක් විය හැකිය.

පැබ්ලෝගේ චරිතයේ උභතෝකෝටිකය මා තේරුම් ගන්නේ එසේය. පැබ්ලෝට කාන්තාවන් ආකර්ශනය වන්නේ හුදෙක්ම කවි නිසා පමණක් විය නොහැකිය. ඔහු කාන්තාවන් සමග පහසුවෙන් යහන්ගත වෙයි. ඒ ගැහැණුන් ඔහුගෙන් සොයන්නේ කුමක්ද? ඔවුන්ට පැබ්ලෝගේ ප්‍රචණ්ඩ සසඟ හා කාව්‍යමය ආදරය පළකිරීම් පමණක් නොව, ඔහු දිගුකාලීනව වසඟ කරගැනීමට ද අවශ්‍යය. පැබ්ලෝ තමන්ට ආකර්ශනය වන ගැහැණුන් කිසිවකුට සැබැවින් ආදරය කරන්නේ නැත. සෙඩෝමැසකිස්ම් මගින් ලිංගික තෘප්තිය ලබන අයෙකු ආදරය නොකිරීම පුදුම විය යුතු තත්වයක් නොවේ. ආදරය සමග විශේෂයෙන්ම ගැහැණියක අපේක්ෂා කරන එකට වෙළීසිටීම සෙඩෝමැසකිස්ම් මනසකට අදාළ නැත. රතියේදී එය ඇතුළාන්තයටම කිඳාබැසීමකි. එහෙත්, තමන්ගේ සුරතාන්තයෙන් පසු අන්ත හිස්බවකි. පශ්චාත්තාපයකි. පළායාමට සිත් උපදවන්නකි.

ශිෂ්ටත්වයේ සීමා තුළ සෙඩෝමැසකිසම් අභිනය මගින් පමණක් පූර්ණ ලිංගික තෘප්තිය ලබාගැනීම දුෂ්කරය. එම ලිංගික ක්‍රියාව මෙන්ම එම තෘප්තිය ද පරිකල්පනීයය. පැබ්ලෝගේ බුරුම පෙම්වතිය මෙන්ම සක්කිලි කාන්තාව ද යථාර්ථයන් ද නැතිනම් පරිකල්පනයන්ද? භින්නෝන්මාද මනසක මායා රූපද? ශිෂ්ටත්වයේ සීමා තුළ පැබ්ලෝට හමුනොවන තෘප්තිය අශිෂ්ටත්වය තුළින් සොයා යාමට පැබ්ලෝ උත්සාහ කරයි. මිනිස් අසූචි ගඳ මැද ඔහු ආදරය සොයයි. එය අහිමි වන තැන ඔහු ඇය දූෂණය කරයි. එය ඔහු ඇත්තටම කළාද, නැතිනම් පරිකල්පනය කළාදැයි අප දන්නේ නැත. යථාර්ථයත්, පරිකල්පනයත් අතර ඇත්තේ නීතිමය වෙනස්කමකි. පරිකල්පනය වෙනුවෙන් කෙනෙකුට නීතියෙන් දඬුවම් කළ නොහැකිය.

දූෂණයේදී හැමවිටම බලය ප්‍රමුඛ වේ. සමාජ බලයෙහිදී සක්කිලි ගැහැණිය දුර්වලය. පැබ්ලෝ තම විපරීත ආශාවන් තෘප්ත කරගැනීම සඳහා ඇය තෝරාගන්නේ එහෙයිනි. එහෙත්, ඇය දූෂණය කිරීම පහසු කාර්යයක් වන්නේ නැත. එම දුෂ්කරතාව පැබ්ලෝට වැඩි තෘප්තියක් ලබාදෙන්නට ඇත. ඇගේ ළඟ දැවටි ගඳ සුවඳ, ඇගේ නාරි දේහයේ ලාලිත්‍යය, කළු වර්ණය, පාර්වතී ශාරීරික ලක්ෂණ ආදිය මැද පැබ්ලෝගේ පරිකල්පිත ලෝකයත් යථාර්ථයත් එකට හමුවේ. පැබ්ලෝ තෘප්තිමත් වන්නට ඇත. එහෙත්, අවසානයේදී ඔහුට ඉතිරිවන්නේ පශ්චාත්තාපයකි. ඔහු හිස තබාගෙන යන්නේ ඒ පශ්චාත්තාපයේ අසූචි කඳයි. චිත්‍රපටයේ අවසාන ජවනිකාවේදී ඔහුට හමුවන පිටේ වෙස්මුහුණක් බැඳගත් ළමයා ඔහුගේම මනසයි. කලින් ජවනිකාවක ඔහු මේ ළමයා පසුපස හඹාගියේය. එහෙත්, ඔහුට ළමයා අල්ලාගැනීමට බැරිවිය. ඒ වෙනුවට ඔහුට ඇසුණු ගුප්ත තොවිල් සංගීතයක් මැද ඔහු අතරමං විය.

රත්නෙ අයියා යනු පැබ්ලෝගේ පරිකල්පිත ලෝකය මහපොළවට ගැටගසන යථාර්ථයයි. හින්දු ආගමික භක්තිය, කුලභේදය, ස්වාමි සේවක සම්බන්ධය, අසූචි දක්වාම විහිදෙන සමාජ මට්ටම් ආදී භෞතික ලෝකයේ සම්බන්ධය පැබ්ලෝගේ පරිකල්පනය තුළට ගෙනඑන්නේ රත්නෙ අයියාය. ලයනල් පැබ්ලෝගේ ශිෂ්ට සහෘදයෙකි. පැබ්ලෝ ශිෂ්ටත්වයේ සීමාවන්ට ඔබ්බෙන් ජීවත් වන අයෙකි.

හඳගමගේ ඇල්බොරාදා රූප කාව්‍යයකි. කවිය හා කතාව අතර එක් වෙනසක් නම්, කවියට කතාවක් කියන්නට උවමනාවක් නැතිකමයි. කවියේ කතාවක් තිබේ නම්, ඒ කතාව කවිය තුළින් පාදාගෙන රසවිඳීම රසිකයාගේ වැඩකි. කවියා රසිකයාගේ පරිකල්පනය සඳහා අවකාශ විවර කර තබයි. ඇල්බොරාදාහි ඇති හිස්තැන් සමුදාය ද එවැනිය. උදාහරණයක් ලෙස, සක්කිලි ගැහැණියගේ මනස ගැන අප දන්නේ ඇය දූෂණයට දක්වන ප්‍රතිරෝධය හා දූෂණයෙන් පසු මුහුදේ බැස පවිත්‍ර වන්නට දරන උත්සාහය පමණි. ඇය දැවැන්ත හිස් අවකාශයකි. එම හිස්තැන් පුරවාගෙන රසවිඳීම රසිකයාගේ වැඩකි. ඒ සඳහා සහෘද පරිකල්පනයක් අවශ්‍යය. කලා කෘතියක් යනු නිර්මාණකරුවාගේ චින්තනයේ නිම්වළලු තුළ රසිකයා සීමා නොකරන, රාමුගත නොකරන ලද විවෘත අවකාශයකි. ඇල්බොරාදා කැන්වසය, පාට හා පින්සල්ය. ඒවා තෝරාගෙන ඇත්තේ හඳගමට ඕනෑ පරිදිය. එහෙත්, එයින් ඔබ කැමති චිත්‍රය නිර්මාණය කරගැනීමට ඔබට නිදහස තිබේ. මිනිස් මනස වඩාත් අව්‍යාජ වන තැනක් වන ලිංගිකත්වය යනු කිසිදු දාර්ශනිකයකුට හෝ විද්‍යාඥයකුට හෝ විග්‍රහ කළ නොහැකි සංකීර්ණත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *