Sunil Rathnayaka

බෙලි කැපීමේ ඉතිහාසය හා වර්තමානය

අජිත් පැරකුම් ජයසිංහ

හමුදාව බෙලි කැපීමේ ඉතිහාසය දිගු එකකි. කඩුවලින් සටන් කරන සමයේ සතුරකු මැරීමේ පහසුම ක්‍රමය බෙලි කැපීම ය.

Translations by Creative Content Consultants

තුවක්කුවලින් සටන් කරන කාලයේ අද පවා සටනේදී බෙලි කැපීම යොදාගැනීමට සිදු වන අවස්ථා තිබේ.

සටන්වලදී බෙලි කැපීම එකකි. මිනිසුන්ගෙන් පළිගැනීම හෝ සතුට හෝ සඳහා බෙලි කැපීම තවත් එකකි.

පහත පළ වන්නේ මවිසින් ලියා පළ කරන ලද කේපොයින්ට් නවකතාවේ දැක්වෙන එළියකන්ද වධ කඳවුරේ විස්තරයකි. කේපොයින්ට් නවකතාවේ අවසන් පිටපත් කිහිපය මිළ දී ගැනීමට අවශ්‍ය නම් විස්තර මෙතැනින්

එහි එක්තරා රසවත් සාජන්වරයකු සිටියේ ය. දිනපතා හැන්දෑවේ ඔහුගේ කාමරයෙන් මියුරු ගී හඩක් ඇසිණි.

“සාජන් මේ දවස්වල අහන්නෙ රූකාන්තගෙ සිංදු.“ කෝප්‍රල් ගැමුණු මුර සේවයේ සිටි සාමාන්‍ය සෙබළාට කීවේ ය.

“අද ටිකක් දාලා ඉන්නෙ. අන්න ඩාන්ස් කරනවා.“

රූකාන්තගේ ‘සඳ බැස ගිය තැන නෑ – ඉර බැස ගිය තැන නෑ‘ මහ හඬින් වාදනය කරමින් ඔහු නැටුවේ ය.

“කෝප්‍රල් කොහොමද සාජන් මිනිසුන්ව දන ගස්සලා කෙස්සෙන් අල්ලලා පණ පිටින් බර බර ගාලා බෙලි කපන හැටි?“ කෝප්‍රල් ගැමුණු අනෙකාගෙන් ඇසුවේ ය. “හැම කෙනෙකුට ම ඒක කරන්න බැහැ. හරි තැනින් අල්ලලා හරියට කැපුවෙ නැතිනම් එහෙම ලේසියෙන් කපන්න බැහැ.“

“ඒක මාර පිහියක් බං,“ සෙබලා ද කතාවට අනුපාන සැපයුවේ ය. “සාජන් පකිස්තානෙ ට්‍රේනිං ගිහින් එනකොටලු ගෙනාවෙ. හැමදාම දැලි පිහිය වගේ මුව තියනවා. රැවුල වුණත් කපන්න පුළුවන්.”

පහත දැක්වෙන්නේ මවිසින් 2015දී තබන ලද සටහනකි.

2002දී හමුදා පාලනය යටතේ පැවති යාපනය මිරුසුවිල්හිදී වයස අවුරුදු පහක දරුවකු හා අවුරුදු 15ක ළමයකු ඇතුළු දෙමළ සාමාන්‍ය වැසියන් අටදෙනෙකුගේ බෙලි කපා මරා දැමූ බවට චෝදනා ලැබ මරණීය දණ්ඩනයට ලක් වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට අධිකරණය විසින් 2015 ජුනි 25දා මරණ දඬුවම නියම කරන ලදී.

එම ඝාතනය හා සම්බන්ධ නඩු වාර්තා අනුව මෙහි සිදු වී තිබෙන සිද්ධිය මෙසේ ය.

සරණාගතයන් වූ මෙම සිවිල් වැසියන් ඝාතනයට ලක් වන්නේ ඒ වන විට හමුදාව විසින් අධි ආරක්ෂක කලාපයක් බවට පත් කර තිබුණු ඔවුන්ගේ ඉඩකඩම් වෙත ගොස් එහි ගඩා ගෙඩි ආදිය කඩාගෙන ආපසු සරණාගත කඳවුරු වෙත එන්නට සූදානම් වද්දී ය. ඔවුන් මේ අවදානම් ගමන යන්නේ බඩගින්න නිසා බව පැහැදිලි ය.

මෙම ප්‍රදේශ හමුදා පාලනය යටතේ පැවති අතර එහි සිදු වූ දිගු දුර මෙහෙයුමක් නැත. ඒ නිසා දිගු දුර මෙහෙයුම් බලකායක් මේ සමග පටලවා ගැනීම සම්පූර්ණයෙන් ම වැරදි ය. දිගු දුර මෙහෙයුම් කණ්ඩායම්වල සාමාජිකයෝ කිසිවෙක් කිසි කලෙක සිය කටයුතු ගැන කයිවාරු ගසා නැත. ඉතා විධිමත් පුහුණුවක් ලබන ඔවුන් කරන්නේ මිලිටරි කාර්යයකි. ඉතා සැලසුම් සහගත ලෙස ඉලක්ක හඹා යන ඔවුන් අතින් ඝාතන සිදු වන බව ඇත්ත ය. එහෙත් ඒවා යුදමය කාර්යයන් මිස ආසාවට මිනීමැරීමේ මෙවැනි පහත් ක්‍රියා නො වේ. 

මෙම ඝාතනය පිළිබඳ තොරතුරු හෙළිදරව් වන්නේ මරා වැසිකිළි වලකට දැමීම පිණිස හමුදා භට පිරිසක් විසින් රැගෙන යමින් සිටියදී පළා යාමට සමත් වූ මහේෂ්වරන් නමැති දෙමළ සිවිල් වැසියෙක් පසුව ඒ පිළිබඳ රජයට සම්බන්ධ ඊපීඩීපී සංවිධානයට දැනුම් දීම නිසා ය.

පසුව ඊපීඩීපී සංවිධානයේ මැදිහත් වීමෙන් යුද හමුදා පොලිසියේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්විණි. සිද්ධිය වූ ස්ථානයට මහේෂ්වරන් රැගෙන ගොස් සිටියදී ඒ අසල ගැවසෙමින් සිටි හමුදා අනුඛණ්ඩයක් දැක ඔවුන් කැඳවා විමර්ශනය කළ අවස්ථාවේ මහේෂ්වරන් එම කණ්ඩායමේ සිටි සුනිල් රත්නායක හඳුනා ගත්තේ ය.

ඔහු සුනිල් රත්නායක හඳුනා ගන්නේ වැසිකිළි වළ අසල සිටි බෙලිකපන්නා ලෙසයි. බෙල්ල කැපීම සඳහා වැසිකිළි වළ අසලට රැගෙන යන විටත් වළ තුළ මිනිසුන් දඟළනු මහේෂ්වරන්ට දැනී තිබේ. සුනිල් රත්නායක දැකීමෙන් මහේෂ්වරන් අතිශය භීතියට පත් වූ බව වාර්තා වේ.

යුද හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සුනිල් රත්නායක විසින් මළ මිනී වළ දැමූ ස්ථානය පෙන්වන ලද අතර නඩුවේ සෙසු සැකකරුවන් පිළිබඳ තොරතුරු ලබා දුන්නේ ද ඔහු විසිනි. මෙම ඝාතනය වීරෝදාර ක්‍රියාවක් ය කියන අය එය පාවා දීමක් ලෙස සලකනවා ද?

මෙවැනි ඝාතනයක් ඔප්පු කිරීම ඉතා දුෂ්කර ය. දක්ෂ නීතිඥයකුට මහේෂ්වරන්ගේ සාක්කිය බිඳ සුනිල් නිදහස් කර ගන්නට අවස්ථාව තිබෙන්නට ඇත. සෙසු පිරිස නිදහස් වන්නේ ඒ නිසා ය. එහෙත්, සුනිල් තමා එම ඝාතනය කළ බව පිළි ගත් බවත්, එයට සම්බන්ධ සෙසු පිරිස් පාවා දුන් බවත් ඇත්තකි. ඔහුට එය කරන්නට නියෝග දුන් අය බේරී ඔහු පමණක් වරදකරු වූ බව ඇත්ත ය.

මෙම සටහන් දෙක උපුටා දක්වන්නට හේතු වූයේ කිසිදු යුදමය පසුබිමකට සම්බන්ධතාවක් නොමැතිව, යාපනයේදී, හමුදා නිලධාරියකු විසින් වෛද්‍ය ශිෂ්‍යාවකගේ ගෙල කපා මරා මුහුදට දැමීමේ ආදර සිද්ධියක් හේතුවෙනි. එම අවස්ථාවේදී ම සැකකාර සොල්දාදුවා සිවිල් වැසියන් විසින් අල්ලාගෙන පොලිසියට භාර දෙන ලදී. එසේ නොවිණි නම්, එය මෙම අවස්ථාවේදී වෙනත් අර්ථකථනවලට ලක්වන්නට ද ඉඩ තිබිණි.

Translations

Leave a Reply

Your email address will not be published. Required fields are marked *