panchayudhaya

කොරියානුවන් වගේ අපටත් රත්තරං පරිත්‍යාග කර රට බේරාගන්න බැරිද?

අජිත් පැරකුම් ජයසිංහ

1990 දශකය අගභාගයේදී දකුණු කොරියාව ණය ගෙවාගැනීමට නොහැකිව බංකොලොත්භාවය අද්දරටම තල්ලුවූ අවස්ථාවේ එරට අර්බුදයෙන් ගැලවීම සඳහා මහජනයාගෙන් රන් එක්රැස් කළාය. මේ ඒ පිළිබඳවයි.

1997 ග්‍රීෂ්ම ඍතුවේදී දකුණු කොරියාවේ ව්‍යාපාර කඩාවැටී, ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමි වී, ණය ආපසු නොගෙවීම නිසා බැංකු ද කඩා වැටිණි. විදේශ ආයෝජකයන් රටෙන් ඩොලර් බිලියන 18ක ආයෝජන ඉවත් කරගත්හ.

1997 දෙසැම්බරයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොරියාවට ඩොලර් බිලියන 58ක් වන ඉතිහාසයේ වැඩිම ඇපවීම ප්‍රදානය කිරීමට ඉදිරිපත් විය. කොන්දේසි වූයේ වෙළඳාම හා ප්‍රාග්ධන ගිනුම් ලිබරල් කිරීම, ශ්‍රම වෙළඳපොළ නීති සංශෝධනය, සමාගම් පාලනය ප්‍රතිව්‍යූහගත කිරීම ආදියයි.

මෙම කොන්දේසිවලට එරෙහිව දැඩි විරෝධයක් මතුවූ අතර කොරියාවේ දැවැන්ත මහජන කැපකිරීම සඳහා මග රජයේ ඉල්ලීම මත 1998 ජනවාරි මාසයේම ආරම්භ විය.

ඒ වන විට කොරියාවේ නිවෙස්වල ඩොලර් බිලියන 20ක පමණ රන් ආභරණ හා වෙනත් ස්වරූපවලින් තිබෙන බව ගණන් බලා තිබිණි. ඒවායේ මූල්‍ය වටිනාකමට වඩා වෙනත් සංස්කෘතික සාධක ද තිබිණි. එය බොහෝ දුරට ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල තිබෙන සම්ප්‍රදායන්ට සමානය.

ණය ගෙවීම සඳහා රන් පරිත්‍යාග කිරීමේ ව්‍යාපාරයට සැම්සුන්, හයිඋන්ඩායි වැනි සමාගම් ද, විවිධ ජනප්‍රිය පුද්ගලයන් ද දායක වූ අතර රටේ ජනගහනයෙන් කාලක් පමණ වූ ලක්ෂ 35ක් ජනයා රන් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් විය.

මාස දෙකකින් රන් ටොන් 226ක් රැස්වූ අතර එය ඩොලර් බිලියන 2.2ක වටිනාකමකින් යුක්ත විය.

රන් පරිත්‍යාගය කොරියාවේ ණය ගෙවීමට ප්‍රමාණවත් නොවූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. එහෙත්, එයින් ඇති වූ ජාතික හැඟීම හා දේශප්‍රේමීත්වයත්, මහජන වගවීමත් රටට අර්බුදයෙන් ගොඩඒමට ඉවහල් විය. නියමිත කාලයට අවුරුදු තුනකට පෙර, 2001 අගෝස්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුළු ණයම ආපසු ගෙවීමට කොරියාවට හැකි විය.

මේ කතාව මා කියන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව, ලංකාව මේ ණය අර්බුදයෙන් බේරාගන්නට ක්‍රම තිබෙන බව පෙන්වාදීමටයි.

මහජන පරිත්‍යාග වෙනුවෙන් යම් වගවීමක්, එනම්, යම් කාලයකට පසු එම රන් ආපසු ලබාදෙන බවට පොරොන්දුවක් රජයට පිරිනැමිය හැකිය.

විදේශගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට මුදල් එවීම ද මෙවැනිම ක්‍රමයකි.

මේ සියල්ලටම අපට විශ්වාසය අවශ්‍යය. ඒ සඳහා විශේෂයෙන්ම කැපකිරීම් කරන, මහජන මුදලින් අයථා වරප්‍රසාද භුක්ති නොවිඳි ඉතිහාසයක් ඇති නායකත්වයක් අපට අවශ්‍යය. සමස්ත රාජපක්ෂ පවුලම දේශපාලනයෙන් බැහැර කර, එම ශෛලියේ සියලු දේශපාලකයන් පරාජය කර බුද්ධිමත්, අවංක නායකත්වයක් පත්කරගත යුත්තේ එහෙයිනි.

එසේම, මෙයත් කිව යුතුය. අපේ රටේ ජනයාත්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයිනුත් කරන පරිත්‍යාග යොදාගත යුත්තේ ඉන්ධන, කෑම බීමාදිය ආනයනයට හා නාස්තිකාර සංවර්ධන හා වෙනත් ආයෝජනවලට නොව, රටට අත්‍යවශ්‍ය යටිතල පහසුකම්, ව්‍යවසායකත්වය හා කුසලතා සංවර්ධනයටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *