budget-2023

2023 අයවැය වැඩක් ඇද්ද? නැද්ද?

අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා ලෙස අද දින ඉදිරිපත් කරන ලද අයවැය ආණ්ඩුවේ ආර්ථික හා දේශපාලනික දැක්ම ප්‍රකාශයට පත්කරන අවස්ථාවක්. එය පැවති සමාජ-ආර්ථික ක්‍රමය වෙනස්කරන ක්‍රියාවලියේ සන්ධිස්ථානයක්. බොහෝ අයගේ අවධානයට යොමු නොවූ වැදගත් ප්‍රකාශයක් එහි අංක 3.12 යටතේ සඳහන් වෙනවා: “නව ආර්ථික පදනම සැලසීමේදී සමාජය හුරුපුරුදුව සිටින ජීවන රටාවන් පිළිබඳව අපේ සැලකිල්ල යොමු විය යුතුයි. මේ ජීවන රටා යළි පහළ මට්ටමකට නොවැටෙන අයුරින්, නව ගමන අප ආරම්භ කළ යුතු වෙනවා.”

ජන ජීවිතය දැඩි සකසුරුවම්කමක සිර නොකර පරිභෝජනය ප්‍රවර්ධනය කිරීමේ දැක්මක් එහි ගැබ්වෙනවා.

3.13 විශේෂයෙන්ම ලෝකය සමග තාක්ෂණික පදනමින් ගනුදෙනු කරන වර්තමාන තරුණ පරපුර දවසින් දවස තම ජීවන මට්ටම් ඉහළ යාම අපේක්ෂා කරනවා. එම නිසා, නව ආර්ථික පදනම ඔස්සේ දවසින් දවස ඉහළ නැංවෙන ජීවන රටාවන් උත්තේජනය කරන ජීවන ක්‍රමයක් බිහිකළ යුතු වෙනවා.

3.14 ඒ නිසා අප නිර්මාණය කළ යුත්තේ වර්තමාන ඒක පුද්ගල ආදායමට සරිලන ජීවන ක්‍රමයක් නෙමෙයි. තරුණ තරුණියන් අපේක්ෂා කරන ජීවන ක්‍රමයට සරිලන මට්ටමට ඒක පුද්ගල ආදායම ඉහළ නංවාගත හැකි ක්‍රමයක්.

ඒ අතර කිසිවකු අත් නොහැර සිටීමේ ප්‍රතිපත්තිය ගැන අයවැය කතාවේ මෙසේ සඳහන් වෙනවා:
3.15 මේ ක්‍රමය තුළ දිළිඳු හා අවදානමට ලක්ව ඇති කණ්ඩායම් රැකබලාගැනීම පිළිබඳ අප පූර්ණ අවධානය යොමුකරනවා.

ගොඩනගන්නට යන නව ආර්ථිකය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හඳුන්වන්නේ සමාජ වෙළඳපොළ ආර්ථිකයක් හෙවත් සමාජ ආරක්ෂණ විවෘත ආර්ථිකයක් ලෙසයි. එහිදී අවධානය යොමුකරන ප්‍රධාන කරුණු තුන අයවැය කතාවේ මෙසේ දැක්වෙනවා:

  • අපනයනය මූලික කරගත් තරගකාරී ආර්ථිකයක්
  • පරිසර හිතකාමී හරිත හා නීල ආර්ථිකයක් (නීල ආර්ථිකයක් යනු සාගර සම්පත් තිරසර ලෙස භාවිතා කරන ආර්ථිකයකි)
  • ඩිජිටල් ආර්ථිකයක්

ආණ්ඩුව ආර්ථික ප්‍රතිසංස්කරණ කෙරෙහි මෙන්ම ආර්ථික නවීකරණය කෙරෙහි ද අවධානය යොමුකරන බව ජනාධිපතිවරයා පැවසුවා.

වාර්ෂිකව ඩොලර් බිලියන තුනක පමණ විදේශ ආයෝජන ඉලක්ක කරන රජය ශ්‍රීලන්කන් ගුවන් සේවය, රක්ෂණ සංස්ථාව හා එමගින් පරිපාලනය කරනු ලබන ලිට්‍රෝ ගෑස් වැනි ආයතන, වෝටර්ස් එජ් හා හිල්ටන් වැනි හෝටල් විකිණීම මගින් ලබාගන්නා ඩොලර් මගින් විදේශ විනිමය සංචිත ශක්තිමත් කරගැනීමට බලාපොරොත්තු වන බව පවසනවා.

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරනුයේ ආර්ථික ස්ථායීකරණයට පමණක් බවත්, ආර්ථික ප්‍රතිසංස්කරණ එයට සීමා නොවන බවත් ජනාධිපතිවරයා පැවසුවා.

සේවායෝජකයන්ට මෙන්ම කම්කරුවන්ට ද සාධාරණ නව කම්කරු නීති හඳුන්වා දෙන බව ද අයවැය කතාවෙහි සඳහන් වුණා.

කෘෂි හා වෙනත් ආයෝජන සඳහා රජයට අයත් ඌන භාවිත ඉඩම් වෙන් කිරීමට ගත් තීරණයත් ඉතා වැදගත් එකක්.

ජාත්‍යන්තර වෙළඳාම හා අන්තර්ජාතික වෙළඳ ගිවිසුම් කෙරෙහි අවධානය යොමුකිරීම ද වැදගත් වෙනවා.

දේශීය ඛනිජ සම්පත් ජාතික සංවර්ධනයට දායක කරගැනීම පවතින්නේ ඉතා අඩු මට්ටමක බැවින් ඒ සම්බන්ධ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා. එප්පාවල ෆොස්ෆේට් නිධිය වැනි නිසි ලෙස භාවිතාවට නොගත් සම්පත් කෙරෙහි නැවත අවධානය යොමුවීම අත්‍යවශ්‍යයි.

ග්‍රීන් හයිඩ්‍රජන් බලශක්ති හා පොහොර නිෂ්පාදන හවුල් ව්‍යාපාරයක් පිළිබඳ යෝජනාවකුත් ඉදිරිපත් කර තිබෙනවා.

විශ්වවිද්‍යාල විසින් පිරිනමනු ලබන උපාධි සඳහා තත්ව සහතික හා ප්‍රතීතන මණ්ඩලයක් පිහිටුවීම උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් වැදගත් ප්‍රතිසංස්කරණයක් සඳහා යෝජනාවක් ලෙස සැලකිය හැකියි. දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීම අනාගතවාදී බුද්ධිමත් පියවරක්. දේශගුණික විපර්යාස හා සම්බන්ධ කටයුතු රැසක් කෙරෙහි අයවැයෙහි අවධානය යොමුකර තිබෙනවා. මෙය දූරදර්ශී පියවරක් වුණත්, අදූරදර්ශී ලාංකික දේශපාලකයන් මෙය විහිළුවක් බවට පත්කරගෙන තිබෙනවා. ඔවුන්ට කෙසේ වෙතත්, මෙරට ජනතාවට මෙහි වැදගත්කම අවබෝධ කර දිය යුතුයි. නව වෛද්‍ය පීඨ පිහිටුවීම වැනි ජනප්‍රිය යෝජනා ද අයවැයෙහි තිබෙනවා. දුෂ්කර ප්‍රදේශවල පාසල් දහසකට අන්තර්ජාල පහසුකම් ලබාදීමත් දැක්මක් සහිත වැඩක්.

ළමා පෝෂණය සහ දිළිඳු හා අවදානමට ලක්වන ජනයා කෙරෙහි අවධානය යොමුකිරීම ද ඉතා වැදගත්. 2023 සිට ක්‍රියාත්මක වන සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ඍජුවම ප්‍රතිලාභීන්ගේ ගිනුම්වලට බැරකිරීමට යෝජිතයි. දැනට සමෘද්ධි සහනාධාර ලබාදීමේදී ඒ සඳහා වන අරමුදල්වලින් 23%කට වඩා වැයවන්නේ සමෘද්ධි අධිකාරියේ නිලධාරීන්ට වැටුප් ගෙවීම සඳහායි. කෙසේ වෙතත්, වැඩිහිටියන්, වකුගඩු රෝගීන් වැනි අයට ප්‍රතිලාභ පහසුවෙන් ලබාගත හැකි වන පරිදි උප තැපැල් කාර්යාල ආදිය හරහා එම ප්‍රතිලාභ ලබාදීමේ ක්‍රම සම්පාදනය වීම අත්‍යවශ්‍යයි. නැතිනම්, ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඔවුන්ට ප්‍රවාහනය වැනි කාරණාවලට වැඩි මුදලක් වැයකරන්නට සිදුවීම අසාධාරණයි.

බදු නොවන ආදායම් වර්ධනය කරගැනීම සඳහා ද රජය යෝජනා කර තිබෙනවා. ඒ අනුව, මෑතදී වැඩි කරනු ලැබූ ගාස්තු හැර බලපත්‍ර ආදී ගාස්තු වැඩිවනු ඇති.

ශ්‍රී ලංකාවේ ලක්ෂ තුනකට අධික හමුදා සිටිනවා. බ්‍රිතාන්‍යයේ හමුදාවටත් වඩා විශාල හමුදාවක් පවත්වාගෙන යාම අනවශ්‍ය දෙයක්. එහෙත්, හමුදා අඩුකිරීම කළ යුතුව තිබෙන්නේ පරිස්සමෙන්.

රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩුකිරීම සඳහා රජය යෝජනා ඉදිරිපත් කර නැහැ. එය මේ මොහොතේ රජයේ සේවකයන්ට යම් සහනයක් වේවි. එහෙත්, ආර්ථිකය වර්ධනය වෙමින් පෞද්ගලික අංශයේ නව අවස්ථා උදාවන පසුබිමක් නිර්මාණය කරගත් පසු රාජ්‍ය සේවක සංඛ්‍යාව අවම කිරීම සඳහා රජය කටයුතු කළ යුතුයි.

මාර්ග නඩත්තු කිරීම වැනි දේවලට මුදල් වෙන්කිරීම ඇතැම් අදූරදර්ශී දේශපාලකයන්ගේ විරෝධයට ලක්වන අයුරු අයවැය ඉදිරිපත් කළ පසු අපට දකින්නට ලැබුණා. එහෙත්, නඩත්තු නොකරන මාර්ග පද්ධති වෙනුවෙන් අනාගතයේදී කළ යුතු වන ආයෝජන අති විශාල විය හැකි නිසා මෙය අත්‍යවශ්‍ය පියවරක්.

පහත දැක්වෙන්නේ අයවැය ඇස්තමේන්තු සාරාංශයයි.

අයවැය කියන්නේ යෝජනාවලියක්. මෙතෙක් ඉතිහාසයේ කිසිදු අයවැය යෝජනාවලියක් ඒ අන්දමින් ක්‍රියාත්මක කර නැහැ. ඒ නිසා මේ අයවැයත් එසේ නොවන්නට පුළුවන්. අයවැය යෝජනා ක්‍රියාත්මක කරවාගැනීම සඳහා පුරවැසි බලපෑම් යාන්ත්‍රණයක් නිර්මාණය කරගැනීම ඉතා වැදගත් වෙනවා. හුුදු කාර්ය සාධන බලකායකින් එය කළ නොහැකියි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකරමින් ජනාධිපතිවරයා පසුගියදා පැවසුවේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකිවී ඇති බවයි.

මෙම ලිඛිත දැනුම් දීමෙන් පෙන්වා දී තිබෙන්නේ අදාළ යෝජනා අතුරින් මෙතෙක් ක්‍රියාත්මක කර ඇත්තේ ජාතික සභාව පිහිටුවීම පමණක් බව ය.

මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා අතර බැංකු කටයුතු සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, ආර්ථිකය ස්ථායිකරණය පිළිබද කාරක සභාව සහ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව යනුවෙන් වූ රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභා පත්කිරීමට යෝජනා කර තිබෙනවා.

එසේ ම, ආංශික කාරක සභා සඳහා තරුණ නියෝජිතයින් පස් දෙනෙකු පත් කිරීමට හා පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමට ඉදිරිපත් කළ යෝජනා ද ක්‍රියාත්මකව නැතැයි ඔහු දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තු ආංශික කාරක සභා 17ක් පිහිටුවිය යුතු වුවත්, මෙතෙක් ඒ සඳහා සභාපතිවරුන් පත් කර නොමැති අතර ආංශික කාරක සභා සඳහා පත් කළ යුතු තරුණ නියෝජිතයන් තෝරා ගනු ලබන ආකාරය හා ඔවුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් නිර්ණායක සකස් කිරීම ද සිදුව නැති බව ජනාධිපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *