කොවිඩ්-19ට වඩා භයානක ඒ පිළිබඳ ඇති සමාජ අපවාදය
අජිත්පැරකුම් ජයසිංහ
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දිගු කලක සිට සංචාරක රියදුරකු ලෙස සේවය කර, කොවිඩ්-19 නිසා රැකියාව අහිමිව සිට ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමෙන් පසු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක් රැඳී සිට නිරෝධායනය වූ මගේ මිතුරෙකු තවත් දින 14ක් ස්වයං නිරෝධායනය වීම සඳහා ඔහු මාතර දිස්ත්‍රික්කයේ පිහිටි තම නිවසට පැමිණියේ ය. එම නිවසේ සිටි ඔහුගේ මව ඔහුට තනිවම නිරෝධායනය වීම සඳහා නිවස භාර දී ඥාති නිවසකට පිටත්ව ගියා ය. අසල නිවසක සිටින ඔහුගේ සොයුරිය ඔහුගේ කෑම පාර්සලය නිවසේ ඉදිරිපිට තබා යයි. ඔහු නිවසේ සිටින්නේ හුදකලාව ය. ඔහු මේ වන විට පීසීආර් පරීක්ෂණ තුනකට භාජනය වී තිබේ. ඒ සියල්ලෙන් ම ඔහු නෙගටිව් ය. ඔහු ස්වයං නිරෝධායනයට ලක්වන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ අධීක්ෂණය යටතේ ය.
මේ සියල්ලම එසේ වෙද්දීත්, ඔහු නිවසට පැමිණි දිනට පසු දින ම ඔහුගේ අක්කාගේ සැමියාට ඔහු කරමින් සිටි වඩු රැකියාව අහිමි වී තිබේ. බියපත් ගම්වැසියන් ඔහුට වැඩට එන්නට එපා යයි කියා ඇත. මේ වනාහි, වසර ගණනාවක් මෙරටට විදේශ විනිමය එවූ විදේශ ශ්‍රමිකයකු නිරෝධායනයට ලක්ව ගමට පැමිණ පැය 24ක් ඇතුළත මුහුණ දුන් තත්වයයි. පසුව මෙම තත්වය වෙනස් වූ බව මගේ මිතුරා පැවසුවේ ය.
මේ ඊට වඩා ප්‍රසිද්ධ කතාවක වර්තමාන කතාවයි. ජාඇල, සුදුවැල්ලේ පදිංචි 33 හැවිරිදි විවාහක දෙදරු පියකු වන ප්‍රසාද් දිනේෂ් ත්‍රිරෝද ටැක්සි රියදුරකු ලෙස රැකියාව කළ අයෙකි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු වූ ඔහු පසුගිය අප්‍රේල් 5දා ඇඳිරි නීතිය අතරතුර හෙරොයින් මිල දී ගැනීම පිණිස සගයන් කිහිපදෙනෙකු සමග ගොස් නිවසකින් පොල් සොරකම් කරන්නට උත්සාහ කිරීමේදී හසු වී, ගම්මුන් විසින් පහර දී පමුණුගම පොලිසියට භාර දෙන ලදී.
පොලිසියේදී ඔහු කොවිඩ්-19 රෝගියකු බව සොයාගැනීමෙන් අනතුරුව මුළු පමුණුගම පොලිසිය ම නිරෝධායනය කරන්නට සිදු විය. ඔහුගේ මිතුරන්ට, අසල්වැසියන් හා ඔවුන් මාර්ගයෙන් කොළඹ නාගලගම්වීදියේ හා ගුණසිංහපුරයේ පිරිසකට ද කොවිඩ්-19 පැතිරුණු අතර බරපතල ම තත්වය ඇති වූයේ සුදුවැල්ලේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඇල්ලීමට ගිය නාවික හමුදා සෙබලුන්ගෙන් වැලිසර නාවික හමුදා කඳවුර තුළ 900ක් පමණ වූ දැවැන්ත කොරෝනා පොකුරක් නිර්මාණය වීමයි. මේ හේතුවෙන් 5,000කට අධික පිරිසක් නිරෝධායනය කිරීමට රජයට සිදු විය.
මෙම කොරෝනා පොකුර නිර්මාණය කිරීම සම්බන්ධයෙන් දේශපාලන, ආරක්ෂක, පොලිස් හා සෞඛ්‍ය බලධාරීන් ඇතුළු බොහෝ අය පහසුවෙන් ප්‍රසාද් දිනේෂ්ට බැන වැදුණ හ. ඔහු සුළු සොරකමක් කළ බව ඔහු ප්‍රතික්ෂේප කරන්නේ නැත. එහෙත්, නීතිය අතට අරගෙන ඔහුට පහර දුන් මිනිසුන් මේ වන විටත්, දැවැන්ත සොරකම් කළ දේශපාලකයන්ට කඩේ යමින් සිටිනවා විය හැකි ය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ම නිලධාරීන් හෙරොයින් ජාවාරම් කර හසු වන රටක ප්‍රසාද් දිනේෂ් වැනි අයෙකු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම බරපතල වරදක් ද? ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 300,000ක් සිටින බව පොලිස් වාර්තා පවසයි. දිනේෂ්ට කොවිඩ්-19 වැළඳීම ඔහුගේ වරදක් ද? ඔහු සම්බන්ධයෙන් වැරදි අන්දමින් කටයුතු කර රෝගය බෝ කරගත් පොලිසියේ හා නාවික හමුදාවේ වෘත්තීය අපරිණතභාවයට පුංචි මිනිසකු වන ඔහු වගකිව යුතු ද?
මේ වන විට ප්‍රසාද් දිනේෂ් සුව වී, නිරෝධායනය වී, නිවසට පැමිණ දින 21ක් නිවසේදීත් ස්වයං නිරෝධායනය වී හමාර ය. කොරෝනා හේතුවෙන් රෝහල්ගත වීමත් සමග මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් මුහුණ දෙන අසනීප තත්වයට ද මුහුණ දුන් ප්‍රසාද් දිනේෂ් මේ වන විට මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදී, පවුල සමග සතුටින් ජීවත් වන බව පවසයි. එහෙත්, මේ වන විට ඔහුට ද රැකියාවක් සොයාගැනීමට නොහැකි වී තිබේ. ඔහු සම්බන්ධයෙන් ඇති වූ අපකීර්තිය එයට හේතුවයි.
තුන්වන කතාව වඩාත් අලුත් ය. එය ඔබ හොඳින් දන්නා නිසා නැවත ලියන්නේ නැත. එනම්, අයිඩීඑච් රෝහලෙන් පළා ගිය රෝගියාගේ කතාවයි.
ශ්‍රී ලංකාව පළමු අදියරේදී සාර්ථක ලෙස කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරගත්තේ ප්‍රධාන වශයෙන් ම කාරණා කීපයක් මත පදනම්ව ය.
- කොවිඩ්-19 සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි අපකීර්තියක් ඇති කිරීම
- රෝගීන් හා රෝගියා ඇසුරු කළ අය අල ගිය මුල ගිය තැන් සොයා අල්ලා නිරෝධායනයට දැමීම
මෙය එතරම් හොඳ තත්වයක් නොවන බව අප ඒ කාලයේමත් පෙන්වා දුන්නෙමු. එහෙත්, එය මූලෝපායක් ලෙස සාර්ථක විය. එයට හේතුව වූයේ එවකට ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හා කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කරගැනීමට සමත් වීමයි.
ඉහත දැක්වූ පියවර දෙක ම මේ වන විට කොවිඩ්-19 ව්‍යාප්තියට හේතු වන කොඩිවිනයක් බවට පත් වී තිබෙන බව පෙනේ. එසේ වන්නේ කොවිඩ්-19 රෝග ලක්ෂණ මතු වූ වහා රෝගීන් ප්‍රතිකාර ලබාගැනීමට ඉදිරිපත් නොවීම නිසා ය. ඒ අනුව, රජය වහා පහත දැක්වෙන ක්‍රියාමාර්ග ගත යුතු යයි අපි සිතමු.
කොවිඩ්-19 රෝගීන් වැරදිකරුවන් ලෙස සලකන ආකල්පයෙන් පළමුව රජය, හමුදාව, පොලිසිය හා සෞඛ්‍ය අංශ මුදාගත යුතු ය. එසේම, කොවිඩ්-19 රෝගීන්ට ශිෂ්ට ලෙස සැලකීම සඳහා සමාජය යොමු කිරීම සඳහා රජය ප්‍රචාරණ ක්‍රියාමාලාවක් වහා ආරම්භ කළ යුතු ය. කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් මාධ්‍ය චර්යාව ද වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු ය.
රෝග ව්‍යාප්තියේ සුලමුල සොයාගැනීම සඳහා බුද්ධි අංශ යොදාගැනීමෙහි වරදක් නැත. එහෙත්, රෝගීන්ගේ පෞද්ගලිකත්වය වැනි හිමිකම්වලට ගරු කිරීමට ද ක්‍රම සොයාගත යුතු ය. මූලිකව ම රෝගීන් ඉදිරිපත් වීමට තිබෙන බිය නැති කළ යුතු ය.
මියගිය රෝගීන්ගේ පමණක් නොව රෝගීන් යයි සැක සහිත අයගේ පවා දේහයන් ආදාහනය කිරීමේදී සෞඛ්‍ය අංශ කටයුතු කළ අමානුෂික ආකාරය ද නැවත සලකා බැලිය යුතු ය. රෝගීන් සැඟවෙන්නේ නිකම් නොවේ. ඉදිරිපත් වුවහොත් මිනියවත් පවුලේ අයට දකින්නට නොලැබේ යයි බිය නිසා ය.
කොවිඩ්-19 රෝගීන් ශ්‍රී ලංකාවේදී දැඩි ලෙස සමාජ අපකීර්තියට, වෙනස්කම් කිරීම්වලට, අසාධාරණයන්ට, කොන්කිරීමට, අයිතිවාසිකම් අහිමි කිරීමට හා නිග්‍රහයට ලක් කෙරේ. මෙම ප්‍රශ්නය කෙරෙහි සමාජයේ දැඩි අවධානය යොමු විය යුතු ය. විශේෂයෙන් ම කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් මාධ්‍ය චර්යාවන් වෙනස් කළ යුතු ය. ඒ සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම අවශ්‍ය ය. එසේ නැතිනම්, ලංකාවේ මිනිසුන් කොවිඩ්-19 පිළිබඳ යථාවබෝධය ලබනු ඇත්තේ ඉන්දියාවේ බච්චන් පවුල වැනි උත්කර්ෂවත් ප්‍රභූ පිරිසකට රෝගය ආසාදනය වූ දවසක ය.
සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි කොවිඩ්-19 සුව වූ චීන කත සිප වැළඳ ගත්තාට කොරෝනා වයිරසයට ගොදුරු වූ අපේ මිනිසුන්ට තබා නිරෝධායනය වී ගෙදර පැමිණෙන විදේශ ශ්‍රමිකයන්ටවත් එවැනි කරුණාවක් නැත.