leprosy

ලාදුරුත් බෝවෙන්නෙ හුළඟෙන්. හැදුණොත් මොකක්ද කරන්නෙ?

ඊශා කප්පරගේ (හෙද නිලධාරිනී) – ලෝක ලාදුරු දිනය නිමිත්තෙනි

“එතකොට පීඑච්අයි මහත්තයා ගෙදරට එයිද? අහළ පහළ අයත් දැනගනීවිද?” යි එම 40 හැවිරිදි කාන්තාව මගෙන් ඇසුවා. ඇය රෝහලට ආවෙ ශරීරයේ තිබුණු හැඟීම්, දැනීම් නොදැනෙන ලප කීපයක් නිසා ඇති වූ සැකය නිසායි. රෝහලේදී ඇය ලාදුරු රෝගියකු බව හඳුනාගත්තා. ලංකාවේ සාමාන්‍යයෙන් වසරකට නව ලාදුරු රෝගීන් 2,000ක් පමණ හඳුනාගන්නවා. උදාහරණයක් ලෙස, 2019 වසරේදී දිවයින පුරා චර්ම රෝග සායන 90කින් අලුත් ලාදුරු රෝගීන් 1660ක් හඳුනාගත්තා. ඔවුන්ගෙන් 181ක් ළමයින්.

Translations by Creative Content Consultants

චර්ම රෝග වාට්ටුවල, සායනවල සේවය කරන අයට නිතර ලාදුරු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සිදුවෙනවා. ඉතින් එම රෝගියා ඉදිරියේම මා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට කතා කළා. “කෝල් එකක් දීලා දැනුවත් කරලා තමයි එන්නෙ. ලිපිනය වැරදිලා පාර හොයාගන්න බැරිවුණොත් තමයි කාගෙන් හරි අහන්න වෙන්නෙ. ඒත් ඩෙංගු බලන්න යනවා වගේ බොරුවක් තමයි කියන්නෙ,” යි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවා.

රෝහලේදී හඳුනාගත් වහාම ලාදුරු සඳහා ප්‍රතිකාර ආරම්භ කරනවා. වෛද්‍ය උපදෙස් අනුව, මාස හයක්, අවුරුද්දක් වගේ කාල නොවරදවා බෙහෙත් ගත යුතුයි. කල්තබා හඳුනාගෙන නිවැරදිව ප්‍රතිකාර කළොත්, ආබාධවලින් තොරව ලාදුරු සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි. වැදගත් වන්නේ රෝගය පිළිබඳ දැනුවත්ව ප්‍රතිකාර සඳහා යොමුවීමයි. ප්‍රතිකාර ගන්නා රෝගීන්ගෙන් අන් අයට රෝගය බෝ නොවන බැවින් රෝගීන් වෙන්කිරීම අවශ්‍ය නැහැ. ඔවුන්ට සාමාන්‍ය දිවිපෙවෙතක් ගතකළ හැකියි.

ලාදුරු සඳහා ලබාදෙන ඖෂධ පෞද්ගලික අංශයේ නැහැ. ඒ නිසා කොහේ ගියත් බෙහෙත් ළඟ තබාගත යුතු බවට රෝහල්වලින් උපදෙස් දෙනවා. මෙම රෝගය සඳහා ප්‍රතිකාර කරන්නේ සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු සේවය කරන සමේ රෝග සායනයක පමණයි. ලංකාවේ ලාදුරු රෝගය සඳහාම වෙන් වූ එකම සායනය ඇත්තේ කොළඹ ජාතික රෝහලේ අංක 12 කාමරයේයි.

ලාදුරු රෝගය වැළඳෙන්නේ Mycobacterium leprae බැක්ටීරියාව හේතුවෙනි. ප්‍රතිකාර නොගන්නා රෝගියෙකුගේ කැස්සකින්, කිවිසුමකින් පිටවන බිඳිතිවලින් බැක්ටීරියාව වාතයට එකතු වී නිරෝගී අයෙකුට ශ්වසනය මගින් රෝගය බෝවෙනවා. එහෙත්, එය එතරම් වේගයෙන් පැතිරෙන්නෙ නැහැ. රෝගබීජ ශරීරයට ඇතුළු වී අවුරුදු 5 සිට 20 දක්වා කාලය තුළදී රෝග ලක්ෂණ මතුවිය හැකියි.

ලාදුරු රෝග ලක්ෂණ පහළ වූ රෝගියෙකුට මුලින්ම එන ලක්ෂණ හමේ පැහැයට වඩා අඩු පැහැයෙන් එන අළුහමක් වැනි ලපයක් විය හැකියි. මේ ලපය රතු හෝ තඹ පැහැ වෙන්නත් පුළුවන්. මේ ලප මත රෝම නැහැ. දැනීම නැහැ. කුඩා තුඩකින් ඇන සියුම්ව පරීක්ෂා කළොත් හඳුනාගත හැකියි. මේ ලප මතට දහඩිය දැමීම අවමයි. කසන්නේ නැහැ. බොහෝ දෙනා මේ සඳහා වෛද්‍ය නිර්දේශ ඇතිව හෝ නැතිව විවිධ ක්‍රීම් වර්ග කාලයක් ආලේප කර බලා සුව නොවන අවස්ථාවල තමයි ප්‍රතිකාර සඳහා යොමුවෙන්නෙ.

ලාදුරු රෝගය සඳහා අදාළ ⁣ඖෂධ ලබා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා රජය විසින් පමණයි. කිසිම ඖෂධහලක මේ ⁣ බෙහෙත් අලෙවියට නැහැ. රෝගය මුල් අවධියේදී හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත්, විකෘතිතා රැසක් ඇතිවෙනවා. ඖෂධ මගින් ඒවා යථා තත්ත්වයට පත්කරන්නට බැහැ. භෞත චිකිත්සාව (Physiotherapy) මගින් යම් සහනයක් ඇති වුවත් පුද්ගලයාට සමාජගත වීමට වන්නේ යම් යම් විකෘතිතා සමඟයි. මේ නිසා ඔවුන් සමාජයේදී කොන් කිරීමට, වෙන් කොට සැලකීමට ලක්වෙනවා. ඔවුන් සඳහා නිසි උපදේශන සේවාවක් පැවතීම කාලීන අවශ්‍යතාවයක්.

1901 අංක 4 දරණ ලාදුරු ආඥා පනත යටතේ අතීතයේදී රෝගීන් අනිවාර්යයෙන් සමාජයෙන් වෙන්කළා. තවමත් ක්‍රියාත්මක, ලංකාවේ පළමු ලාදුරු රෝහල හැඳලදී ආරම්භ කළේ 1701දීයි. 2019 වසර වන විට එහි රෝගීන් 32ක් සිටියා. ඔවුන් දශක ගණනාවක සිට එහි ජීවත් වන අයයි. දැන් එම රෝහලට රෝගී්න් ස්ථිරව ඇතුළත් කරන්නෙ නැහැ. මඩකලපුවේ මාන්තිව් දූපතේ ලාදුරු රෝහල ආරම්භ කළේ ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ සමයේයි. ශ්‍රී ලංකාවේ ලාදුරු නිවාරණය සඳහා ක්‍රියාත්මක වන ලාදුරු මර්දන ව්‍යාපාරය ආරම්භ වූයේ 1954දීයි.

ලාදුරු රෝගය ලෝකයෙන් තුරන් කිරීම අප සැමගේ වගකීමක්. ඒ සඳහා රෝගය ගැන දැනුවත් විය යුතුයි. රෝගය සම්බන්ධයෙන් තිබෙන බිය දැන් අනියත එකක්. වැඩි විස්තර සඳහා ලාදුරු මර්දන ව්‍යාපාරය අමතන්න. දුරකථන අංකය 011 2958658

Translations

Leave a Reply

Your email address will not be published. Required fields are marked *