ආණ්ඩුව බාර් වැහුවෙ ඒකාධිපතිකමට; ඇරියෙ සුරාබදු පෙරේතකමට
මිනිසුන් සුරා පානය කර තිබෙන්නේ බොහෝ ඈත අතීතයක සිට ය. සුරාවේ නරක කතා කරන අය මතක තබාගත යුතු කරුණක් වන්නේ ඇල්වතුර වුණත් ඕනෑවට වඩා බිව්වොත් ඇඟට ගුණ නැති බවයි. පමණට සුරා පානය කර සතුටු වීම සදාචාර විනිශ්චයකට බඳුන් කළ යුතු නොවේ.
එහෙත්, සුරා පානය කිරීම මහ ලොකු වීරකමක් ද නොවේ. එහි කිසියම් නීචකමක් නම් ගැබ් වී තිබේ.
එයට හේතුව, ලංකාවේ සුරා පානය පිරිමි වැඩක් වීමයි. සුරා පානය කර සතුටු වීම පිරිමින්ට ඒකාකෘතිකරණය වී තිබේ. එසේම, සුරා පානය කාන්තාවන්ට අකැප ක්‍රියාවකැයි ද ඒකාකෘතිකරණය වී තිබේ. ඒකාකෘතිකරණය කියන්නේ සමාජය විසින් යම් යම් ක්‍රියා, හැසිරීම්, ආකල්ප ආදිය සමාජයේ කිසියම් නිශ්චිත කොටසකට පමණක් අදාළ යයි සැලකීමයි. උදාහරණයක් ලෙස ලංකාවේ තරුණ ගැහැණු ළමයින් අව්වට කුඩ ඉහලන මුත්, පිරිමි අව්වටවත් කුඩ ඉහළන්නේ නැත. පාට කුඩයක් ඉහළගෙන පිරිමි ළමයකු අව්වේ ගියොත්, අර කොල්ල බලපන්කො කෙල්ල වගේ මල් මල් කුඩේකුත් ඉහළන් යන හැටි යයි සමාජය කියයි.
මෙම ඒකාකෘතික සමාජ ආකල්ප නිසා බොහෝ කාන්තාවෝ සුරා පානයට යොමු නොවෙති. සුරා පානය කරන කාන්තාවන් එවැනි පිරිමින්ට වඩා දැඩි ලෙස සමාජයේ අවමානයට ලක්වෙති.
සුරා පානය හෙළා දකින කාන්තා හැඟීම සාධාරණීකරණය කරන්නට පුළුවන් හේතුවක් ද තිබේ. එකක්, මත්පැන්වලට මුවා වී පිරිමි කාන්තාවන්ට එරෙහිව ලිංගික හා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ යෙදීමයි. අනෙක, ආර්ථික හේතුවකි.
සුරා පානය වර්ණනා කරමින් කව් ගී ලියන බොහෝ ලේඛකයන් තම පවුල්වලට හරි හැටි නොසලකන බව අප්‍රකට කරුණක් නොවේ. දරුවන්ට හා බිරිඳට කන්නට නැතත්, මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්බීමට ලොල් පිරිමි ඒ වෙනුවෙන් මුදල් වියදම් කිරීම නවත්වන්නේ නැත.
සුරාව හා කලාව අමුඩය සහ පුක සේ සම්බන්ධ යයි කවීන් වර්ණනා කළත්, සුරා ලෝලීන් බිහි කළ මහා මානව හිතවාදී කලාවන් පසුපස ආත්මාර්ථකාමී පියවරුන්ගේ නොසැලකීමට ලක් වූ අඹුදරුවන්ගේ දුක් අඳෝනාවල තිත්ත කහට තැවරී තිබේ.
ඒකට රිටර්න් එක ලෙස, සෞඛ්‍ය සේවය වැනි කාන්තාවන් ආධිපත්‍යය දරණ තැන්වලදී මත්පැන් නිසා රෝගී වී පැමිණෙන අසරණ පිරිමින්ට එරෙහිව කාන්තාවෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ යෙදෙති.
කොවිඩ්-19 මුවාවෙන් ආණ්ඩුව ද ජන ජීවිතයේ හැම රෙද්දක් අස්සේ ම අත දමා සමාජය විනයගත කරන්නට තැත් දැරී ය. බාර් වසා දැමීම එවැනි එක් අමනෝඥ, අමන ක්‍රියාවකි. ආණ්ඩුව සටන් කරන්නේ කොරෝනා වයිරසය සමග නම් එය කරනවා මිස ජනතාව මත්පැන් බොන එක ගැන සොයා බලන්නට ඔවුන්ට අයිතියක් නැත. ආණ්ඩුව කළේ මඤ්ඤොක්කා රාත්තල ගන්න ආපු එකා වත්තේ හතර මායිම් බලනවා වැනි පීචං වැඩකි. බාර්වල සෙනග පිරුණේ ඒවා වසා දැමූ නිසා ය. අනෙක් තැන්වල වගේ ම ය. ෆාමසිවලත් පෝලිම් ඇති විය. හේතුව, නිදහස් වෙළඳාමට බාධා පැනවීම ය. කොරෝනා වයිරසය මර්දනය කරන්නට මිනිසුන්ට කන්නට, බොන්නට නැති කරන්නට අවශ්‍ය ම නැත. කොරෝනා වයිරසයට මුවා වී ජනතාවගේ විනෝදය අහිමි කරන්නට ආණ්ඩුවට ජන වරමක් නැත. එසේ කළේ කුහකකමට ය.
කෙසේ වෙතත්, ලංකාවේ මත්පැන් ලෝලීන් ගෘහස්ථ මට්ටමෙන් කසිප්පු, සයිඩර් ආදිය පෙරීම ආරම්භ කිරීමත් සමග ආණ්ඩුවට තක්කු මුක්කු විය. මහා පරිමාණෙන් කසිප්පු පෙරීම ද ජයට ම සිදු විය. ආණ්ඩුව බාර් අරින්නට තීරණය කළේ මෙය දිගට ගියා නම් රජයට තම ප්‍රධාන ආදායම් මාර්ගයක් අහිමි වන බව පමා වී හෝ තේරුණු බැවිනි.
ආණ්ඩු මත්පැන්, දුම්වැටි බදු වැඩි කරන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයන් ඒවායින් ගලවා ගැනීමට යයි ඇතැම් කාන්තාවෝ සිතා සිටිති. එහෙත්, ආණ්ඩුව ජනතාවට ආදරයක් නැති බව හා ඔවුන් පළමුව සිතන්නේ භාණ්ඩාගාරය ගැන බව ආණ්ඩුවේ බාර් වැහිල්ල හා ඇරිල්ල අනුව පැහැදිලිව පෙනේ.