ආයෙමත් හදමුද බිල්ඩිං?
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය රඳාපැවතුණු ව්‍යාජ කුලුනු හෙවත් බොරු කකුල් දෙකක් ඇති බව නිරීක්ෂණය කළ හැකිය.
1. කෘත්‍රිමව අඩු වටිනාකමකින් තබාගන්නා ලද ඩොලරය මත පදනම්ව කරන ලද සිමෙන්ති, යකඩ ආදී ආනයන
2. රජය විසින් මෙහෙයවනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්
මේ අතර, දේශීය, විදේශීය හා ඩයස්පෝරා ආයෝජකයන් විසින් ඉදිකරනු ලබන සංචාරක හෝටල්, කොන්ඩොමිනියම්, කර්මාන්ත ශාලා වැනි ගොඩනැගිලි ද තිබිණි.
කෙසේ වෙතත්, මේ වන විට ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් බුබුල පුපුරාගොස් හමාරය. මේ වන විට ශ්‍රී ලංකාවේ ඌන උපයෝජිත හෙවත් ප්‍රමාණවත් පරිදි භාවිතා නොකරන හෝ වසා දමා තිබෙන නිවාස, කඩකාමර වැනි ගොඩනැගිලි සංඛ්‍යාව සුළුපටු නොවේ. මේවා පහසුවෙන් හඳුනාගැනීමේ හැකියාව ඇත්තේ විදුලිබල සැපයුම්කරුවන්ටය. ශ්‍රී ලංකාවේ විවිධ නිවාස, වානිජ හා කර්මාන්ත ගොඩනැගිලි අතරින් 5-10% අතර ප්‍රමාණයක් ඌන උපයෝජිත යයි අනුමාන කළ හැකිය.
විධිමත් සමීක්ෂණයක් කර තිබේද යන්න නොදනිමි. එහෙත්, පාරක යන අතර දෙපැත්තේ වසා දමා ඇති කඩ කාමර, නිවාස ආදිය ගණන් කර බලන්නට අප සැමට හැකිය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් මාර්ග මෙන්ම මීරිගම – කුරුණෑගල අධිවේගී මාර්ගය පවා ඌන උපයෝජිත දේපළ ලෙස සැලකීම වරදක් නැත. බොහෝ කොන්ඩොමිනියම් මෙන්ම වරාය නගරය වැනි ඉදිකිරීම් ද තවමත් ඌන උපයෝජිතය.
එවැනි තත්වයක් තුළ ශ්‍රී ලංකාවට තවදුරටත් ඉදිකිරීම් අවශ්‍ය වන්නේ කුමන ක්ෂේත්‍රවලද?
මහාමාර්ග, අතුරු මාර්ග ආදියේ අලුත් ඉදිකිරීම් අවශ්‍යය. ජල සම්පාදනය, ජලාපවහනය හා මළාපවහනය අංශවල වැනි යටිතල පහසුකම්වල විශාල සංවර්ධනයක් රටට අවශ්‍යය. එහෙත්, ගොඩනැගිලි සම්බන්ධයෙන් එවැනි තත්වයක් තිබේද යන්න විමසිය යුතුය.
සමස්තයක් ලෙස, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නඩත්තු කටයුතු තිබිය හැකිය.
තිරසර ඉදිකිරීම් කර්මාන්තයක් යනු කුමක්ද යන්න ශ්‍රී ලංකාවට හඳුනාගැනීමට සිදුවනු ඇත.
ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ආර්ථික කළමනාකරුවන් ගොඩඒම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව නොරහසකි. මෙවැනි සිල්ලර අභියෝග කරන්නන්ට පුවත්පත්වල ඉඩ වෙන්වන්නේ එවැනි පසුබිමකය.
දැන් අප කළ යුත්තේ නැවතත් සිමෙන්ති, ඉලෙක්ට්‍රොනික් උපකරණ, යානවාහන, ප්ලාස්ටික් ගොඩගසාගැනීමද? ඉවක් බවක් නැතුව ඉන්ධන පරිභෝජනයට යොමු වීමද? නැතිනම්, බුද්ධිමත් පරිභෝජනය හඳුනාගැනීමද?
ආනයන සීමා ඉවත් කළ ද දැඩි නියාමනයකට ලක් නොකළහොත් නැවතත් සිමෙන්ති, වාහන වැනි ආනයන අනවශ්‍ය තරම් වැඩි වී නැවතත් ආනයන ඉහළ ගොස් ආර්ථිකය පීඩනයට ලක්වේද?