පරිභෝජනය හා පාරිභෝජනවාදය
අජිත් පැරකුම් ජයසිංහ
පරිභෝජනයයි, අධි පරිභෝජනයයි අතර වෙනස බුද්ධිමත් ලෙස සලකුණු කරගන්නෙ නැතුව පාරිභෝජනවාදය හඳුනාගන්න බැහැ. මම නම් පාරිභෝජනවාදය කියන්නෙ ලෝකයේ හෝ රාජ්‍යයක ඉඳන් පුද්ගලයා දක්වාම තමන්ගේ ආර්ථිකයට, භෞතික තත්වයන්ට හා මානසිකත්වයට දරාගත නොහැකි අන්දමින් පරිභෝජනය කරන එක. එතනදී පාරිභෝජනවාදය හඳුනාගන්නට වෙන්නෙ කේස් බයි කේස්. ඒ කියන්නෙ පුද්ගලයාගෙන් පුද්ගලයාට.
පාරිභෝජනවාදයේ සීමාවෙන් පරිභෝජනය නවත්වාගැනීම සිදුකළ හැකි පුද්ගලයකු නිර්මාණය කරගැනීම තමයි මම නම් ඒ හා සම්බන්ධ විප්ලවය විදියට දකින්නෙ.
වෙළඳපොළ හා වෙනත් බලවේග විසින් පාරිභෝජනවාදය ප්‍රවර්ධනය කරනවා. ඒක ගැටලුවක් නෙමෙයි. බ්‍රෑන්ඩඩ් නිෂ්පාදන හා සේවා අවශ්‍යයි. හැකි අය ඉහළ මට්ටමෙන් පරිභෝජනය කිරීම මුදල් සංසරණයට අත්‍යවශ්‍යයි.
ධම්මික පෙරේරා වගේ කෙනෙක් අගලවත්තෙ ගුණවර්ධන බේකරියෙන් පාන් කන එක නිහතමානීකමක් නොවෙන්නට පුළුවන්. ඔවුන්ට ජන්ක් ෆුඩ් කන්නට ආසා නම්, ඔවුන් මැක්ඩොනල්ඩ්ස්වත් යන්න ඕනැ. හෙල්දි ෆුඩ්ස් කියන්නෙ ඉහළ පෙළේ හෝටල්වල ඉහළ මිලකට විකිණෙන ආහාර. සරල ආහාර ඕනැ නම් එවැනි ආහාර සපයන තැනකට යායුතුයි. හෙළ බොජුන් යනවා නම් වැරදියි.
ඒ වගේම තමයි, මං වගේ මට්ටමක ආදායමක් උපයන කෙනෙක් හොලිඩේ එකට කන්ඩලමෙ යනවාය කියන්නෙ මෝඩ වැඩක් වෙන්න පුළුවන්.
බුද්ධිමත් පාරිභෝගිකයා කියන්නෙ මේ සීමා තේරුම්ගත හැකි කෙනෙක්. විප්ලවීය මිනිසා කියන්නෙ බුද්ධිමත් පාරිභෝගිකයෙක්. ආශාවන් හා සීමාවන් ගැන අවබෝධය තිබෙන කෙනෙක්.