පොළී අනුපාතික අඩු කිරීම නිසා උග්‍ර වන වැඩිහිටි ජනගහණයේ ගැටලුව

පොළී අනුපාතික අඩු කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් ඇති විය හැකි විපාක පිළිබඳ ආර්ථික විශේෂඥයෝ විවිධ කරුණු ඉදිරිපත් කරති.

Translations by Creative Content Consultants

කෙසේ වෙතත්, මහජනතාවගේ පැත්තෙන් බැලූ කල, ණය පොළී අනුපාතික අවම වීම ව්‍යවසායකත්වය පැත්තෙන් ඉතා හොඳ ය. මිනිසුන් ව්‍යවසායකත්වය පැත්තට යොමු වීම රටේ සංවර්ධනය පැත්තෙන් හොඳ ය. ලංකාවේ ජනතාව අතරින් ව්‍යවසායකයන් සිටින්නේ 5%කටත් අඩු පිරිසකි. වැඩි වැඩියෙන් පිරිස් ව්‍යාපාර වෙත යොමු වීම හොඳ තත්වයකි. කොවිඩ්-19 ඇඳිරි නීති අවසන් වීමෙන් පසු මහාමාර්ග අයිනේ සිටින බොහෝ පදිංචිකරුවන් වත්තේ පොල් ගෙඩිය, රඹුටං ගෙඩිය, දූරියන් ගෙඩිය හෝ පාර අයිනේ තබා විකිණීමට උත්සුක වනු දක්නට ලැබේ. ජීවත් වීම දුෂ්කර වන තරමට මිනිසුන් වැඩියෙන් වැඩ කිරීමට පෙළඹේ.

ව්‍යවසායකයත්වයට පෙළඹෙන මිනිසුන්ට තමන්ගේ නිෂ්පාදනයට වටිනාකමක් එකතු කරන්නට රජය උදව් කළ යුතු ය. උදාහරණයක් ලෙස මේ දිනවල බහුලව ඇති රඹුටන් මද ටින් කර අපනයනය කරන්නට යොමු වන්නට බැරි ඇයි? මූලික ගැටලුව වෙළඳපොළයි. ඒ වෙනුවෙන් උත්සාහ කරන ව්‍යවසායකයන්ට වෙළඳපොළ සොයා දීමට කටයුතු කළ යුත්තේ රජයයි.

එහෙත්, රජයට මේ සම්බන්ධයෙන් කළ හැකි මෙලෝ බෝලයක් නැත. මා දන්නා එක් ව්‍යවසායකයකු තව නිෂ්පාදන විදේශ වෙළඳපොළට හඳුන්වා දීම සඳහා උපකාර සොයා අපනයන සංවර්ධන මණ්ඩලයට ගිය විට ඔහුට උපදෙස් දී තිබුණේ ඒ වන විටත් ව්‍යාපාරිකයා සතුව තිබුණු සියලු විස්තර අඩංගු වෙබ් අඩවිය වෙනුවට තොරණක් වැනි විචිත්‍ර වෙබ් අඩවියක් නිර්මාණය කරගන්නා ලෙසයි. එම ව්‍යාපාරිකයා එය කළේ ය. එමගින් විදේශ වෙළඳපොළ විවෘත නොවන බව ඔහු ඉන්පසු තේරුම් ගන්නට ඇත.

මේවා ද කළ හැක්කේ වානිජ මණ්ඩල වැනි ව්‍යාපාරිකයන්ගේ සංගම්වලට ම ය. එහෙත්, ඒවා ද හොර ගුහා ය. ඇතැම් ඒවායින් කරන්නේ ව්‍යාපාරිකයන්ට විදේශ සංචාර සංවිධානය කර දී රටේ විදේශ විනිමය පිටරටට ඇදී යන්නට සැලැස්වීමයි.

පොළී අනුපාතික අඩු කිරීමේ තවත් පැත්තක් තිබේ. එනම්, සිය සේවා කාලය තුළදී උපයන ලද සේවක අර්ථසාධක අරමුදලේ හා සේවක භාරකාර අරමුදලේ ඉතුරුම් විශ්‍රාම ගිනුම්වල තැන්පත් කර පොළියෙන් ජීවත් වන පුද්ගලයන් මුහුණ දෙන ප්‍රශ්නයයි. පෞද්ගලික අංශයේ නිල විශ්‍රාම යන වයස අවුරුදු 55කි. එසේ විශ්‍රාම යන ඇතැමෙක් තව දුරටත් කොන්ත්‍රාත් පදනම් වැනි විවිධ පදනම්වලින් රැකියා දිගටම කරති. ඇතැමෙක් ව්‍යාපාරවලට යොමු වෙති. මේ අතර තවත් ඇතැමෙක් වැඩ කරන්නට පුළුවන්කම තිබියදීත් ඉතිරි කළ මුදල ස්ථාවර තැන්පතුවක දමා පොළියෙන් ජීවත් වීම තෝරා ගනිති. ඒ සඳහා පෞද්ගලික තේරීම් කිරීමේ අයිතිය ජනතාවට තිබේ. එහෙත්, පොළී අනුපාතික අවම වීම නිසා ඔවුන් ගැටලුවකට මුහුණ දෙනු ඇත.

එහි හොඳ පැත්තක් ද තිබේ. තව දුරටත් වැඩ කළ හැකි අය ඉතුරුම් පොළියෙන් ජීවත් වන්නට උත්සාහ නොකර ව්‍යවසායකත්වය පැත්තට පෙළඹෙනු ඇත.

එහෙත්, තව දුරටත් වැඩ කිරීමට අපහසු, රෝගීන් වැනි අය කරන්නේ කුමක් ද?

මෙය ලංකාවේ විශ්‍රාම වැටුප් හා වැඩිහිටි රැකවරණය සම්බන්ධ බරපතල ගැටලුවකි.

ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් ලබන රජයේ සේවක පිරිස ලක්ෂ හයක් පමණ වේ. දරිද්‍රතා රේඛාවෙන් ඉහළ ආදායමක් රජයෙන් ලබන එකම විශ්‍රාමික පිරිස ඔවුන් පමණි. පෞද්ගලික අංශයේ විශ්‍රාම ක්‍රම ඉතා අවම ය. බැංකු විසින් පවත්වාගෙන යන විශ්‍රාම ගිනුම්වල පවා අරමුණ වන්නේ දීර්ඝ කාලීන ඉතුරුම් මගින් බැංකු ලාභ ලැබීම මිස විශ්‍රාමිකයන්ට සෙත සැලසීම නොවේ. වැඩිහිටි ස්ථාවර තැන්පතුවලට ඉහළ පොළියක් ලබාදීම සඳහා පසුගිය කාලයේ මහබැංකු ආධාර බැංකුවලට ලබා දෙන ලදී. දැන් ඒවාට කුමක් වේ ද යන ප්‍රශ්නය වැඩිහිටියන්ට තිබේ.

පොළී අනුපාතික අඩු කිරීමේ ප්‍රතිපත්ති තීරණය සමග හෝ විශ්‍රාමිකයන්ගේ ගැටලුව හා වැඩි වන වැඩිහිටි ජනගහණයේ ගැටලු කෙරෙහි රජයේ හා සමාජයේ අවධානය යොමු විය යුතු ය.

Translations

Leave a Reply

Your email address will not be published. Required fields are marked *