පොළී අනුපාතික හා වැඩිහිටියන්ගේ ප්‍රශ්නය

අජිත් පැරකුම් ජයසිංහ

රජය බැංකු පොළී අනුපාතික අඩු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, ඉතුරුම්, ස්ථාවර තැන්පතු පොළී පවා තනි ඉලක්කමට ගෙනැවිත් තිබේ.

Translations by Creative Content Consultants

ඒ අනුව, වැඩිහිටියන්ගේ ස්ථාවර තැන්පතු පොළිය ද අඩු වී තිබේ. එහෙත්, එහි බරපතල ආදීනව තිබෙන නිසාත්, එයින් පීඩාවට පත්වන වැඩිහිටියන්ගේ ඡන්ද නොලැබීම පිළිබඳ තිබෙන බිය නිසාත්, ආණ්ඩුව දැන් එම පොළී අනුපාතික කපා හැර නොමැති බව මුදල් ඇමති ඇතුළු දේශපාලකයෝ පවසති.

එහෙත්, මගේ පෞද්ගලික තොරතුරු අනුව නම්, එය පල් බොරුවකි. මට පෙන්ෂන් ප්ලස් නම් ගිනුමක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තිබේ. එහි තැන්පතුවලට මීට කලින් 9.5%ක පොළියක් ගෙවන ලදී. ඊට පෙර එයට ඊටත් වඩා පොළියක් ගෙවන ලද මුත්, පසුව කප්පාදු කර ඉතිරි වී තිබුණේ එම පොළියයි. එම ඉතුරුම් මගින් වයස අවුරුදු 55 ඉක්මවූ පසු විශ්‍රාම වැටුපක් හෝ පොළිය සමග ඉතිරි කළ මුදල හෝ ලබාගත හැකි ය. දින කීපයකට පෙර ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙ මූලස්ථානෙන් විමසූ විට දැනගන්නට ලැබුණේ එම ගිනුමේ ද පොළිය 8%ට අඩු කර ඇති බවයි. මා මෙම ගිනුමෙ ඉතුරු කළේ මා කලින් වැඩ කළ ආයතනයෙන් ලබා දුන් සමාජ ආරක්ෂණ දීමනාවයි. එම දීමනාවේ අරමුණ වූයේ ම අනාගත ආරක්ෂාව සැලසීමයි.

සිය සේවා කාලය තුළදී උපයන ලද සේවක අර්ථසාධක අරමුදලේ හා සේවක භාරකාර අරමුදලේ ඉතුරුම් විශ්‍රාම ගිනුම්වල තැන්පත් කර පොළියෙන් ජීවත් වන පුද්ගලයෝ දැන් ප්‍රශ්නයකට මුහුණ දෙති. පෞද්ගලික අංශයේ නිල විශ්‍රාම යන වයස අවුරුදු 55කි. එසේ විශ්‍රාම යන ඇතැමෙක් තව දුරටත් කොන්ත්‍රාත් පදනම් වැනි විවිධ පදනම්වලින් රැකියා දිගටම කරති. ඇතැමෙක් ව්‍යාපාරවලට යොමු වෙති. මේ අතර තවත් ඇතැමෙක් වැඩ කරන්නට පුළුවන්කම තිබියදීත් ඉතිරි කළ මුදල ස්ථාවර තැන්පතුවක දමා පොළියෙන් ජීවත් වීම තෝරා ගනිති. ඒ සඳහා පෞද්ගලික තේරීම් කිරීමේ අයිතිය ජනතාවට තිබේ. එහෙත්, පොළී අනුපාතික අවම වීම නිසා ඔවුන් බරපතල ගැටලුවකට මුහුණ දෙනු ඇත.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2016 වසරේ සංඛ්‍යාති අනුව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය සන්නද්ධ හමුදා සාමාජිකයන් ලක්ෂ තුනක් ද සමග ලක්ෂ 14ක් වේ. විශ්‍රාමිකයන් ගණන ලක්ෂ හයක් පමණ වේ. තම අනාගතය ගැන රජය විසින් සපයන ලද යම් සුරක්ෂිතභාවයක් තිබෙන්නේ මෙම පිරිසට පමණි. රජය විසින් ලබා දෙන ගොවි විශ්‍රාම වැටුප්, වැඩිහිටි දීමනා ආදිය වැඩිහිටියන් දිළිඳුභාවයෙන් ඉහළට ඔසවා තැබීමට අසමත් ය.

ණය පොළී අනුපාතික අවම වීම ව්‍යවසායකත්වය පැත්තෙන් ඉතා හොඳ ය. මිනිසුන් ව්‍යවසායකත්වය පැත්තට යොමු වීම රටේ සංවර්ධනය පැත්තෙන් හොඳ ය. ලංකාවේ ජනතාව අතරින් ව්‍යවසායකයන් සිටින්නේ 5%කටත් අඩු පිරිසකි. වැඩි වැඩියෙන් පිරිස් ව්‍යාපාර වෙත යොමු වීම හොඳ තත්වයකි. කොවිඩ්-19 ඇඳිරි නීති අවසන් වීමෙන් පසු මහාමාර්ග අයිනේ සිටින බොහෝ පදිංචිකරුවන් වත්තේ පොල් ගෙඩිය, රඹුටං ගෙඩිය, දූරියන් ගෙඩිය හෝ පාර අයිනේ තබා විකිණීමට උත්සුක වනු දක්නට ලැබේ. ජීවත් වීම දුෂ්කර වන තරමට මිනිසුන් වැඩියෙන් වැඩ කිරීමට පෙළඹේ.

එහෙත්, ව්‍යවසායකයත්වයට පෙළඹෙන මිනිසුන්ට රජයෙන් ලැබෙන මගපෙන්වීම කුමක් ද? එවැනි මගපෙන්වීමක් කිරීමේ ධාරිතාව රජයේ නිලධාරීන්ට තිබේ ද? කිසිදා ව්‍යාපාරයක් කර නොමැති රජයේ නිලධාරීන් ව්‍යවසායකත්වය ගැන දන්නේ මොනවා ද? ව්‍යවසායකයන්ගේ නිෂ්පාදනයට, සේවාවට වටිනාකමක් එකතු කරන්නට රජය උදව් කරනවා ද? වෙළඳපොළ ගැටලු විසඳාගන්නට උදව් කරනවා ද? අඩු තරමේ රජයේ කාර්යාලයකට ගොස් ව්‍යාපාරයක් ලියාපදිංචි කරගැනීම හෝ පහසුවෙන් කළ හැකි ද?

මා දන්නා එක් ව්‍යවසායකයකු තව නිෂ්පාදන විදේශ වෙළඳපොළට හඳුන්වා දීම සඳහා උපකාර සොයා අපනයන සංවර්ධන මණ්ඩලයට ගිය විට ඔහුට උපදෙස් දී තිබුණේ ඒ වන විටත් ව්‍යාපාරිකයා සතුව තිබුණු සියලු විස්තර අඩංගු වෙබ් අඩවිය වෙනුවට තොරණක් වැනි විචිත්‍ර වෙබ් අඩවියක් නිර්මාණය කරගන්නා ලෙසයි. එම ව්‍යාපාරිකයා එය කළේ ය. එමගින් විදේශ වෙළඳපොළ විවෘත නොවන බව ඔහු ඉන්පසු තේරුම් ගන්නට ඇත.

තව දුරටත් වැඩ කළ හැකි අය ඉතුරුම් පොළියෙන් ජීවත් වන්නට උත්සාහ නොකර ව්‍යවසායකත්වය පැත්තට පෙළඹීම හොඳ තත්වයකි. එහෙත්, තව දුරටත් වැඩ කිරීමට අපහසු, රෝගීන් වැනි අය කරන්නේ කුමක් ද?

මෙය ලංකාවේ විශ්‍රාම වැටුප් හා වැඩිහිටි රැකවරණය සම්බන්ධ බරපතල ගැටලුවකි. ලංකාව වේගයෙන් වියපත් වෙමින් සිටින රටකි. වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටි ජනගහන අනුපාතිකය වේගයෙන් ඉහළ යමින් තිබේ. වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පහෙන් එකක් වයස අවුරුදු 60ට වැඩි වන අතර එම ප්‍ර‍තිශතය දකුණු ආසියාවේ ඉහළම මට්ටම යි. ඒ වන විට
ලක්ෂ 47ක් වන වැඩිහිටි ජනගහණයට අවශ්‍ය සමාජ ආරක්ෂණය සැපයීම සඳහා අවශ්‍ය පද්ධති ඇති කිරීම පිණිස ඉවහල් වන ප්‍ර‍තිපත්ති දැන් සිට ම සංවර්ධනය කළ යුතු යි.  මෙම ශීඝ්‍ර‍ ජනවිකාස පරිවර්තනයට රට සූදානම් ද?

Translations

Leave a Reply

Your email address will not be published. Required fields are marked *