මගේ ගුරු පඩිය හා බිරිඳගේ හෙද පඩිය
අජිත් පැරකුම් ජයසිංහ
රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා කිසිදාක නිමාවන්නේ නැත. වර්තමානයේදී හෙද, පරිපූරක වෛද්‍ය, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරි වැනි සෞඛ්‍ය සේවකයින්ගේ සටනෙහි ද ප්‍රධාන ඉල්ලීමක් වන්නේ වැටුප් විෂමතා ඉවත් කිරීමයි. ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් තමන්ට වැටුප් විෂමතාවක් නිර්මාණය වී ඇති බව ඔවුහු පවසති. එය මෙවැන්නකි.
මම කලක් ගුරු වෘත්තියේ යෙදුණෙමි. මගේ බිරිඳ හෙද නිලධාරිනියකි. මා නුපුහුණු, ස්ථිර ගුරුවරයකු ලෙස සේවයට බැඳුණේ 1994දීය. මා විද්‍යා විෂයන්ගෙන් උසස්පෙළ අසමත්ව, පසුව කලා විෂයන්ගෙන් උසස්පෙළ සමත්ව සිටිය ද, දුෂ්කර පළාත්වල ඉංග්‍රීසි ගුරු හිඟය පියවීමට ලබාදුන් මේ පත්වීම්වල මූලික සුදුසුකම වූයේ, ඉංග්‍රීසි විෂයට සම්මානයක් සහිතව සාමාන්‍ය පෙළ සමත්වීමයි. තරග විභාගයෙන් ඉහළම ලකුණු ලබාගත් මා වැනි අයට පූර්ව සේවා පුහුණුවකින් පසුව කෙළින්ම පත්වීම් ලබාදුන් අතර, සෙසු අය අවුරුද්දක ඩෙලික් පාඨමාලාව හැදෑරීමෙන් පසු පත්වීම් දෙන ලදී. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත් වී සිටි මගේ බිරිඳ පුහුණුවට බැඳුණේ 1992දීය. මා පුහුණු ගුරුවරයකු බවට පත්වූයේ 2000දීය. මගේ බිරිඳ පුහුණු හෙදියක ලෙස සේවයට බැඳණේ 1996දීය.
මා ගුරු වෘත්තියේ සිටියා නම් මේ වන විට පළමු ශ්‍රේණියේ ගුරුවරයෙකි. මගේ බිරිඳ දැන් පළමු ශ්‍රේණියේ හෙද නිලධාරිනියකි. මා 2015දී ගුරු වෘත්තියෙන් ඉවත් නොවී දිගටම සේවයේ සිටියා යයි සිතන්න. එසේ සිටි මා සමග පත්වීම් ගත් අනෙක් අයගේ මූලික වැටුප මේ වන විට රු. 65,000ක් පමණ වේ. පසුගියදා ඔවුන්ට රු. 18,000ක පමණ වැටුප් වැඩිවීමක් ලැබිණි. ඒ අනුව ඔවුන්ගේ වැටුප රු. 80,000ක් පමණ වේ. මගේ බිරිඳ අතීතයේදී හැමවිටම මට වඩා වැටුපක් ගත්තාය. එහෙත්, දැන් ඇගේ මූලික වැටුප රු. 62,000කට මඳක් වැඩි ගණනකි. ඇය අතිකාල කරන්නේ ඉතා අඩුවෙනි. ඒ නිසා ඇයට මා ගුරු සේවයේ සිටියා නම් ලබාගත හැකි මට්ටමේ වැටුපක් ලැබෙන්නේ නැත. විෂමතාවන්ය කියන්නේ මේවාය. තර්කානුකූලව බැලුවොත් ඒවා විෂමතාවන් තමාය.
හෙද සේවයේ පවතින කාඩර හිඟය හේතුවෙන් සේවාව පවත්වාගැනීම සඳහා බලෙන් මෙන් අතිකාල සේවයේ යොදවනු දක්නට ලැබේ. අතිකාල ප්‍රතික්ෂේප කළොත් රෝස්ටර අවුල් වේ. අතිකාල යනු හෙද නිලධාරීන්ගේ ජීවිත විනාශ කරන ක්‍රමයකි. මුදල් ඉපැයීම සඳහා අතිකාල, නිවාඩු දින වැඩ ආදිය කරන්නට හෙද නිලධාරීන් පෙළඹුණ ද, එය ඔවුන්ගේ පමණක් නොව, දරුවන්ගේ පවා ජීවිත විනාශ කරන, හෙදියන් වියපත් වන විට බෝ නොවන රෝගීන් බවට පත්කරන කාලකණ්ණි ක්‍රමයකි. කළ යුතුව ඇත්තේ, කාඩරය සම්පූර්ණ කර වැටුප් හොඳ මට්ටමකට ගෙනඒම මිස වැටුප් අඩුපාඩු අතිකාලවලින් පියවීම නොවේ. හෙද සේවයේ මෙම තත්වයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ වෘත්තීය සමිති නායකත්වයේ වැරදිය. වැටුප් වැඩිකරගැනීම හා සේවා තත්වය ඉහළ නංවාගැනීම වෙනුවට වැඩියෙන් වැඩකර ආදායම් ලැබීමට ක්‍රම ලබාගැනීම වෙනුවෙන් අරගල කිරීම ද වැරදිය. රජය එවැනි තත්වයක් නිර්මාණය කරදීම ද වැරදිය.
ගුරුවරුන්ට අතිකාල ගෙවීමක් නැත. ඔවුන්ට වැටුප හැර අමතර ආදායමක් ලැබෙන්නේ විභාග, උත්තර පත්‍ර ඇගයීම හා මැතිවරණ රාජකාරි වැනි සීමිත කාර්යයන්වලදී පමණි. ඒ නිසා ගුරුවරුන් අතරින් සැලකියයුතු පිරිසක් ටියුෂන්වලට යොමුවෙති.
එහෙත්, මේ අන්දමින් වැටුප් සන්සන්දනය කරන්නේ සුදුසුකම් පමණක් අදාළ කරගනිමිනි. ගුරුවරුන් හා හෙද නිලධාරීන් කරන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කාර්යයන් දෙකකි. ගුරුවරයාගේ භූමිකාව පාසලේ වැඩකරන කාලයෙන් අවසන් වන එකක් නොවේ.
තවද, සෞඛ්‍ය සේවකයන් යනු කෝවිඩ්-19 අධිවසංගතය අතරතුර විශාල අවදානමක් දරාගනිමින් ඇත්තෙන්ම අගය කළ යුතු සේවයක් කළ පිරිසකි. ඔවුන්ට රු. 7,500ක අතුරු දීමනාවක් මාස තුනක් පමණක් ලබාදී නතර කරන ලදී. රාජ්‍ය සේවකයන් අතරින් පසුගිය වසර දෙක තුළ වඩාත්ම කාර්යක්ෂම සේවාවක් ඉටුකළ පිරිසක් වෙනුවට ඉතාම අකාර්යක්ෂම සේවාවක් ඉටුකළ පිරිසක් තෝරාගෙන වැටුප් වැඩිවීමක් ලබාදීම රජය විසින් සමස්ත රාජ්‍ය සේවයම අවුලෙන් අවුලට පත්කරන තත්වයක් නිර්මාණය කිරීමට හේතු වී තිබේ.
මා ගුරු වෘත්තියෙන් ඉවත්වුණේ පඩි මදි නිසාටත් වඩා එහි වෘත්තිකභාවයේ ගැටලු නිසාය. ගුරුවරුන් දැන්වත් තම වෘත්තිකභාවය ඉහළනංවාගැනීමට කටයුතු කළ යුතුය. එහෙත්, ටියුෂන් නිසා ගුරු වෘත්තියේ වෘත්තිකභාවයට දැඩි බලපෑමක් සිදුවේ.
වෘත්තිකභාවය පැත්තෙන් හෙද සේවයේ වෙනස් තත්වයක් තිබේ. එහි මූලික ගැටලුව වන්නේ වික්ටෝරියානු සදාචාර මිනුම්දඬුය. හෙද පුහුණුව, නිල ඇඳුම, සිස්ටර්, මේට්‍රන් වැනි ඊනියා තනතුරු ආදිය එන්නේ යටත් විජිත උරුමයෙනි. ඇත්තෙන්ම, එහෙම තනතුරු නැත. හෙද පරිපාලනයේ යෙදෙන සිස්ටර්ලා වෝඩ් මාස්ටර්ලා වන්නේ වසරක පශ්චාත් හෙද පුහුණුවකට සහභාගී වූ පළමු ශ්‍රේණියේ හෙද නිලධාරීන් පිරිසකි. මේට්‍රන්ලාට තිබෙන්නේ විශේෂ ශ්‍රේණියකි. ඔවුන්ට නිසි මාණ්ඩලික තත්වයක්වත් නැත.
අනෙක් පැත්තෙන්, හෙද සේවයේ පිරිමි බඳවාගැනීම් සීමාකිරීම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පැත්තෙන් ඒකාකෘතික වන ඉතා වැරදි තත්වයකි. රෝගීන් අතර සම සමව ස්ත්‍රීන් හා පුරුෂයන් සිටින සංදර්භයක් තුළ හෙද සේවයේ ද පිරිමින්ට සමතැන ලැබිය යුතුය.
මේ තත්වයන් මෙසේ පවතින්නට ප්‍රධාන හේතුවක් වන්නේ තවමත් හෙද සේවයේ වැඩිම සාමාජිකත්වයක් සිටින වෘත්තීය සමිතිය මුරුත්තෙට්ටුවේ ආනන්ද නම් වැඩවසම් භික්ෂුවකගේ නායකත්වයෙන් යුක්ත වීමයි. රජයේ විශ්වවිද්‍යාලයක උපකුලපති ධුරය හොබවන ඔහු රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පදවිය දැරීම ඔහුට ආර්ථික වශයෙන් ලාභදායී විය හැකිමුත්, එහි සබඳතා පිළිබඳ ගැටුමක් තිබේ. ඔහු එක්තරා වකවානුවකදී හෙද සේවයේ වෘත්තීය සමිති ගොඩනැගීම සඳහා අගය කළ යුතු භූමිකාවක් සිදුකළමුත්, මේ වන විට මුරුත්තෙට්ටුවේ ආනන්ද යනු හෙද වෘත්තියේ සංවර්ධනයට තිබෙන ප්‍රධාන අඩයයි. හෙද වෘත්තියට වෘත්තිය තුළින්ම නායකත්වයන් නිර්මාණය විය යුතුය. 95%කටත් වඩා ස්ත්‍රීන් කරන රැකියාවක වෘත්තීය සමිති නායකත්වයට පිරිමින් අරක්ගැනීම විසින් තත්වය පිළිබඳ චිත්‍රයක් නිර්මාණය වේ. කිසිදු හෙද වෘත්තීය සමිතියක කාන්තාවන් සැබෑ නායකත්වයක නැත. කාන්තාවන්ට ඉදිරියට එන්නට පිරිමි ඉඩදෙන්නේ ද නැත.