හොඳම විසඳුම බත් පෙරේතකමින් මිදීම ය
මේ දවස්වල ලංකාවේ ජනාධිපතිවරයා සහ පාරිභෝගික ආරක්ෂක අධිකාරිය භාර මේජර් ජනරාල්වරයාත්, සකලවිධ පොහොට්ටු බැතිමතුනුත් ජීවිතය කැප කර තිබෙන බව පෙනෙන්නේ ඩඩ්ලි සිරිසේන වැනි මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් විනාශ කිරීමට ය. මැනිං මාකට් එකේදී මේජර් ජනරාල්වරයා කුඩා වෙළඳුන්ට දැමූ දර්ශනය ම ඩඩ්ලි තම මෝලේදී මේජර් ජනරාල්වරයාට දැම්මේ ය. මැනිං මාකට් එකේ වෙළඳුන් ජාමෙ බේරාගන්නට ඇඹරුණ පරිද්දෙන් ම මේජර් ජනරාල්වරයා ද බන්දු සමරසිංහගේ විකට ජවනිකාවක් රඟදක්වනු දක්නට ලැබිණි.
මේ අතර, ධනපතීන් විනාශ කිරීමට කොන්දේසි විරහිතව ඉදිරිපත් වන සත්ගුණවත් ලාංකික විප්ලවවාදීන් හා වාමාංශිකයෝ ද ජනාධිපති ගෝඨාභයගේ පසුපසින් ගාටමින් දෙන්න ඕනැ ඕකට කියමින් කුණු තක්කාලි එකතු කරනු ද දක්නට ලැබිණි.
මා නම් ඩඩ්ලි පමණක් නොව, ධම්මික පෙරේරා, දිලිත් ජයවීර, නන්දන ලොකුවිතාන පමණක් නොව, නාමල් රාජපක්ෂ වැනි ජාවාරම්කාරයන් පවා විනාශ කරන එකට විරුද්ධ ය. මේ ව්‍යාපාරිකයන්ගේ චරිතය හොඳ නැති බව ඇතැමෙක් කියති. චරිත හොඳ යයි පෙන්වා දෙන හින්නි අප්පුහාමිලා වළ දැමූ තැන්වල ගස් ද පැළ වී තිබේ. ලංකාවේ දැන් දශක ගණනාවක සිට පවතින ව්‍යාපාරික වාතාවරණය තුළ සටකපට ගේම්කාරයන්ට හැර ව්‍යාපාරික ලෝකයේ පවතින්නට බැරි ය. හුණු නැති කිල්ලෝට කොහේවත් නැත.
හාල් වෙළඳපොළ පමණක් නොව, පන්සලට පූජ කරන්නට යන මල පවා ජාවාරමකි. මාෆියා ගැන කතා කරනවා නම් සුවඳ හඳුන්කූරේ සිට ගඳගහන කුණු ගොඩ දක්වා තිබෙන්නේ මාෆියා ය.
ව්‍යාපාරික නොවන බව කියන රජයේ නිලධාරියාගේ ක්ලේම් එකේ සිට දේශපාලකයාගේ වාහන බලපත්‍රය දක්වා තිබෙන්නේ මහ දවල් මහජන මුදල් මංකොල්ලයන් ය.
සමෘද්ධිලාභියාගේ සිට ජනාධිපතිවරයා දක්වා විශාල පිරිසක් මහජන මුදලින් පිං පඩියේ සිට පැජට් පාරේ ඩබල් ගෙදර දක්වා දේවල් අපේක්ෂා කරති.
ගොවියාගේ සිට බීඕඅයි ව්‍යාපෘතිය දක්වා ම බලන්නේ පෝර ටිකේ සිට ඉඩම් යාය දක්වා මහජන මුදල්, දේපල කුට්ටියක් කඩාගන්නේ කෙසේ ද කියා ය.
පන්සලේ හාමුදුරුවන්ගේ සිට ජ්‍යෝතිෂකාරයන්, කට්ටඩියන්, හොර වෙදුන්, ගුරුවරුන් හරහා විශේෂඥ වෛද්‍යවරයා දක්වා හැමකෙනෙකු බලා ඉන්නේ තමන් ළඟට එන අසරණයාගේ උණ්ඩුක පුච්ඡය දක්වා සූරාගන්නේ කෙසේ ද කියා ය.
ආණ්ඩුව එස්.එම්.එස්. එකේ සිට අරක්කු බෝතලය දක්වා හැම දේකට ම අසාධාරණ බදු පනවයි. රජයට අයත් තෙල් සංස්ථාව ලෝක වෙළඳපොළේ කුණු කොල්ලයට වැටුණ ඉන්ධන ලංකාවේ අස්ප ගණනට විකුණයි.
ඔබ ද මෙම ලිපිය කියවන්නේ කොරියාවෙන් ගෙනා කුණු කොම්පියුටරයකට දමාගත් වින්ඩෝස් හොර කොපියකින් විය හැකි ය. ලංකාවේ විප්ලවවාදීන් සමාජය වඩා යහපත් අන්දමින් වෙනස් කරන්නට ය කියා ආදර්ශ දෙන්නට අපට බලන්නට ය කියන චිත්‍රපට උන් බලන්නේ ද ටොරන්ට් හරහා හොරෙන් බාගෙන ය.
ඒ වුණාට ඩඩ්ලි සිරිසේනගේ චරිතය හොඳ නැත. ඕකා විනාශ කර දැමිය යුතු යයි ආණ්ඩුව කියන විට අපේ කටින් නිකම් ම විසිල් පිට වේ. එයට මූලික හේතුව අපේ ඔලුවල තිබෙන ගතානුගතික කුණුකන්දල් ය. අප ධනවතුන්ට බය ය. වෙළඳපොළට බය ය. වෙළඳාමට බය ය. ලාභයට බය ය. ආයෝජනවලට බය ය. ව්‍යාපාරවලට බය ය. බදු ගෙවන්නට බය ය. වැඩ කරන්නත් බය ය.
පෞද්ගලික ව්‍යවසායකයන් රටේ ආර්ථිකයට, නිෂ්පාදනයට, වෙළඳපොළට කර තිබෙන දායකත්වය දෙස අසුබවාදී ඇසකින් ම බැලීම ලාංකිකයන්ගේ ජන්ම ගතියකි.
අපට ලැබෙන්නේ අපට ගැලපෙන නායකයන් ය.
කෙසේ වෙතත්, තවමත් විසිල් මිස බල්ටි නම් නැත.
රට සංවර්ධනය කරන්නට නම්, හොඳ වුණත්, නරක වුණත්, මේ ඉන්න ව්‍යවසායකයන් හා වැඩකරන ජනතාව සමග වැඩ කළ යුතු ය. ඩඩ්ලි විනාශ කර එතැනට රාජපක්ෂලාගේ සල්ලිවලින් රොෂාන් රණසිංහ ගෙනත් දැමුවා ය කියා වෙනසක් වන්නේ නැත.
හාල් ගැන කියනවා නම්, රජය අවුරුදු සීයක් තිස්සේ මැදිහත් වෙලාත්, තවමත් නිදහසේ බත් ටික කන්නට පුළුවන් වාතාවරණයක් රටේ නැත. බත් කන්නට ඕනෑ ය කියා අපි මහජන මුදලින් වාරිමාර්ග ටික හදා දී, මහජන මුදලින් පෝර ටික දී, මහජන මුදලින් ම වී ටික මිල දීත් ගෙන, මහජන මුදලින් ගබඩා කර තබාගෙන, මහජන මුදලින් කොටා, මහජන මුදලින් බෙදාහැරියත් මේ රටේ හිත හොඳින් බත් ටික කන්නට බැරි ය. මූලික හේතුව, බත් කන එවුන් තුළ තිබෙන ආවේණික කුහකකමකැයි මට සිතේ.
1953දී ඩඩ්ලිට අගමැතිකම අහිමි වුණේ හාල් සේරුවක මිල සත 25 සිට එක වර ම සත 70ට වැඩි කළ නිසා ය. 1970දී මිනිසුන් සිරිමා බලයට ගෙන එන විට කියූ සටන් පාඨය වුණේ ‘අපෙ අම්මා ළඟ එනවා – හාල් සේරු දෙක දෙනවා’ කියා ය. හඳෙන් හෝ හාල් ගෙනත් දෙන්නට එදා දේශපාලකයෝ පොරොන්දු වූ හ. 1977දී ජේ.ආර්. ආණ්ඩු පෙරළුවේ හාල් ඇතුළු ඇට රාත්තල් අටක් නිකම් දෙන්නට පොරොන්දු වී ය.
ගෝඨාභය රාජපක්ෂ ද මේ අතගාන්නේ බත් මුට්ටියේ පතුල නොව, ලංකාවේ මිනිසුන්ගේ මානසික කිරිපල්ල ය.
ඇත්තට ම අප මෙතරම් බත් ගිලින්නේ ඇයි? බත් පෙරේතකමින් මිදෙන්නට අපට බැරි ඇයි? ඇත්ත ප්‍රශ්නය තියෙන්නේ එතනය. ලාංකිකයන් බත්කෑම අඩු කර වෙනත් විවිධ ආහාර තම ආහාර වේලට එකතු කරගත යුතු ය. හාල් ප්‍රශ්නයට පමණක් නොව, ඇතැම් සෞඛ්‍ය ප්‍රශ්නවලට ද විසඳුම එහි තිබේ.