Alborada-Rithika

හුජ්ජගල හා සක්කිලි ප්‍රජාව

අජිත් පැරකුම් ජයසිංහ

මතුගම සක්කිලි ප්‍රජාවසක්කිලි ප්‍රජාවේ අය හැම නගරයකම විසිරිලා හිටියා. එක්දාස් නමසිය හැත්තෑගණන් දක්වා මතුගම සුළු නගර සභා ප්‍රදේශය තුළත් බාල්දි වැසිකිලි පිරිසිදු කළේ ඔවුන්. මං ඉගෙනගත්ත මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ප්‍රාථමික 3,4,5 පන්ති තිබුණු ශාලාවේ කෙළවරේ ගුරු වැසිකිළිය එවැනි එකක්. ගෑනු ළමයි ගියෙත් ඒ වැසිකිළියට යාබද කැසිකිළියකට.

මේ වැසිකිලිය පිරිසිදු කරන්නට ජෝසප් කියලා මනුස්සයෙක් සතියට දින කීපයක් පොල් ඉරටු ඉලපතකුත්, බාල්දියකුත් අරගෙන ආවා. අපි ඒ මිනිහට හෙණ බයයි. මිනිස්සු ජෝසප්ට කිව්වෙ ජෝසා කියලා. එයා එනකොට අපි ඔන්න ජෝස එනෝ කියලා කෑගහමින් දුවනවා. ඒ මිනිහා කවදාවත් ළමයින්ට හිරිහැරයක් කළේ නම් නැහැ. මේ ප්‍රජාවෙ හිටපු මිනිසුන්ට ඉන්පසු මොනවා වුණාද දන්නෙ නැහැ.

ඒ පිළිබඳ මතුගම වැසියකු වන කාවින්ද රණවීර මෙසේ පවසනවා: “ඔවුන්ගේ තුන්වන පරම්පරාව තවම මතුගම ඉන්නවා. ජෝසප්ගේ බිරිඳ අපි පොඩිකාලේ අපේ ගෙදර බිම ගොම මැටි ගාන්න ආවා. ඒකාලෙත් ඒ මනුස්සයා වයසයි. “කිට්නම්මා” කියල නම මට මතක හැටියට. මොනවා උනත් හිත හොඳ මිනිස්සු. අදටත් එයාලගේ කිහිපදෙනෙක් ඉන්නවා. සපත්තු කැඩුනාම හදල කරල දෙනවා හොඳ තත්වයෙන්.”

කොල්ලන්ට නම් පාසල් වත්ත කොණේ හුජ්ජ ගල තිබුණා. ඒ අයිනෙන් තමයි දැන් මතුගම කන්ද පැත්තට යන පාර වැටිල තියෙන්නෙ. ඒ කාලෙ මතුගම කන්ද දැන් තරම් ජනාවාස වෙලා නැහැ. වැඩිපුර තිබුණෙ කැලේ. වැසිකිලි තිබුණු පැතිවල ලොකු කොල්ලොත් විවේක කාලෙදි හුජ්ජ ගලට ආවා. ඒක ෆන් වැඩක්. එතන ගල් අන්නාසි‍, එරමිනියා, දං එහෙමත් තිබුණා. පහළට වෙන්න කොහොල්ලෑ ලාවලු ගහක් තිබුණා. ඒකට ගහන ගල් පල්ලෙහා පැටි මහත්තයලගෙ වහලට තමයි කෙළින්ම. හොඳ කුණුහබ්බවලින් තමයි අහගන්නෙ.

රූපය: ඇල්බොරාදා චිත්‍රපටයේ දර්ශනයක් – රැතිකා කොඩිතුවක්කු
ඇල්බොරාදා ගැන කියවන්න:

හඳගමගේ ඇල්බොරාදා මා රසවිඳින හැටි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *