අනේ මාව හෝදන්න

අජිත් පැරකුම් ජයසිංහ – 
මේ කතා දෙක බස් ගැනම නෙමෙයි. අපේ සමාජයේ ශිෂ්ටත්වය වර්ධනය වෙලා තිබෙන එක ගැන. කවුරු කොහොම කිව්වත්, අපි අතීතයට වඩා හැම අතින්ම දියුණුයි. මේ දියුණුව දකින්නට පුළුවන් පැති ඕනැ තරම්.

1984, 85 කාලෙ මට අවුරුදු 19ක් විතර ඇති. මං වෝකර් පුත්‍ර සමාගමේ මෝටර් යාන්ත්‍රික ඉංජිනේරු ආධුනිකයකු ලෙස පුහුණු වුණා. ඒ කාලෙ සීසන් එකට සීටීබී බස්වල තමයි ගියේ. ප්‍රයිවෙට් බස් සීමිතයි ඒ කාලෙ. ගාලු පාරෙ යන සමහර බස් කළුතර උතුරෙ රෝලන්ඩ් එක ළඟ තේ බොන්න නවත්තනවා. මතුගම යන අපට කළුතර පෙනි පෙනී තව විනාඩි විස්සක් විතර බලාඉන්න වෙනවා බහින්න. ඒ කාලෙ බස්වල සිගරට් බොනවා. විරෝධයත් තිබුණා. ඒ කාලෙ අම්බලන්ගොඩ බස්සෙකක අයිතිකාරයා වගේ දිනපතා යන එන, විප්ලවවාදී ලොරි ටෝක් දෙන රැවුලෙක් හිටියා. මූ දවසක් රෝලන්ඩ් එකෙන් තේ බීලා බස්සෙකට නැගලා පිටිපස්ස සීට්ටෙකේ ඉඳන් අනෙක් අයගෙ විරෝධය නොතකා සිගරැට් එකක් බිව්වා. වීදුරුවට අල්ලලා දැල්ල කඩනකොට මගේ මූණට උණු අළු වීසි වුණා. “තව පොඩ්ඩෙන් මගෙ ඇහෙත් යනවා,” කියලා මං කිව්වා. මූ එතකොට කියපි “තෝ වැඩිය කටගහන්න ආවොත් තොගෙ ඇස් දෙකම පුච්චනවා” කියල. අන්න ඒ වගේ දියුණු සමාජයක ඉඳල අපි මේ වෙනකොට ඇවිත් තියෙන දුර නරකම නැහැ.

පාසලේ අටේ හෝ නමයේ පංතියේ ඉන්න කා‍ලේ එක් සති අන්තයක මම මට පිටුපසින් එන බසයකට කලින් යාම සඳහා වේගයෙන් බයිසිකලය පැද්දා. ඒ කාලයේ තිබුණු ලොරි එහෙම එතරම් වෙගයෙන් ධාවනය නොවූ ඒවා නිසා සුළඟට ආවරණය වෙමින් ඒ පසුපස බයිසිකල් පැදීමට පුළුවන්කම තිබුණා. ඇතැම් පුරුදුකාරයෝ එක් අතකින් ලොරියේ එල්ලී වේගයෙන් බයිසිකලය පදවන්නට සමත් වුණා. එය අතිශය අනතුරුදායක වූමුත් ත්‍රාසජනකයි. මාත් තරුණ කාලෙ වතාවක් හෝ දෙකක් එසේ කර තිබෙනවා.

මම කෙතරම් වේගයෙන් පැද්දත් බසය මා ඉස්සර කර යාම වළක්වන්නට බැරි වුණා. බසය මා ඉස්සර කරද්දීත් මම වේගයෙන් එය පදිමින් සිටියා. බසයේ පාපුවරුවේ මිනිසුන් එල්ලී ආ බව මම දැක්කෙ නැහැ. එසේ එල්ලී ආ අය මගේ ඇඟේ වැදීමෙන් මම පාරෙන් ඉවතට විසි වී වැටුණා. වාසනාවට මා වැටුණේ පස් ගොඩකටයි. අට ශ්‍රේණියේ ළමයකු එසේ කාණුවට වැටෙද්දී බසය නො නවත්වා ධාවනය වුණා. පාපුවරුවේ එල්ලී ගිය තරුණයෝ බක බක ගා හිනැහෙමින් පස්ස හැරී බලා සිටි අයුරු මට තවමත් මතකයි. මට කළ අසාධාරණය ගැන හැඟීමක් මට තිබුණෙ නැහැ. ලජ්ජාව නිසා වේදනාව ද නො තකා මම බයිසිකලය හරවාගෙන මා ආපසු ගෙදර ආවා.

මේ බසය පැදෙව්වේ නෑබඩ සිට කැන්දකඩුව හරහා කලුතර දක්වා බසය දිගු කලක් පැදවූ චන්දරයා නම් රියැදුරායි. ඔහුට සාමාන්‍යයෙන් ළමයින් පෙන්නන්නට බැරි ය. මම හත ශ්‍රේණියේ සිටියදී සිදු වූ එක් සිද්ධියක් මෙසේයි. පාසල ඇරීමෙන් පසු ගෙදර යන්නට මතුගම බස් නැවතුම්පළට පැමිණි අපට බසයක් තිබුණෙ නැහැ. රියදුරුට අතින් දොර ඇරිය හැකි 29ශ්‍රී8072 අංක දරණ එවකට හොරණ ඩිපෝවේ බසයේ ඉඩ තිබුණත් එය පැදවූ දැන් ඇල්හෙවණ තේ කම්හල පිහිටි තැන ආසන්නයේ ගෙදරක පදිංචිව සිටි සෝමපාල නෑබඩින් මෙහා ළමයින්ගෙන් බසයට ගත්තේ තමන්ගේ ළමයින් පමණි.

චන්දරයා පදවන කැන්දකඩුව පාරේ ධාවනය වන තනි දොරේ ‍ලේලන්ඩ් බසය ද මොන හේතුවක් නිසා හෝ ඒ‍ වෙලාවේ බස් නැවතුමේ තිබුණු අතර ළමයින් බසයේ ගෙන යන්නට සිදු වීම ගැන උරණ වී චන්දරයා බසය පැදවීම වර්ජනය කර පුපුර පුපුරා හිටියේ ය. ඌ ඉන්න බව මම දුටුවේ නැත. 

බසය නො සෝදා පිටුපස දූවිල්ල තට්ටු පිටින් බැඳී තිබුණු බැවින් එහි ‘අනේ මාව හෝදන්න’ කියා ලියමු යයි කවුරුදෝ කීවේ ය. මම ද ගොනා නිසා කියපු සැණින් වැඩේට බැස්සා. තුන්මංහන්දිය චිත්‍රපටයේ මඟුල් ගෙදර මතකද? එහි අතින් කරකවන ග්‍රැමෆෝනයේ තැටිය සීරී ‘අනේ පිඬු සිටාණෝ’ සිංදුව ‘අනේ අනේ අනේ’ කියමින් එක තැන දුවනවා වගේ මටත් ලියන්නට පුළුවන් වුණේ අනේ කියා පමණයි. අබැටක් දැම්මොත් පුපුරන දෑසින් යුතුව මා අසලට පැමිණි චන්දරයා දත්මිටි කමින් “ඕක ලියා ගනින් අම්මගෙ ………..” කියා මට එය ලියන්නට තැනක් යෝජනා කළේ ය. මම අන්තිමට සේවය කළ ඉස්කෝලේ ගුරුවරියකව සිටි අපේ අම්මා ද ඒ වෙලාවේ ගෙදර යාමට බසයක් නැතිව බස් නැවතුමේ සිටියා. වාසනාවට චන්දරයා කියූ දෙය ඇසුණේ අප කීපදෙනෙකුට පමණයි. 

ඒ කාලේ හොඳයි, දැන් නරකයි කියා අපේ කාලේ ගැන කටමැත දොඩන අයට මම අදත් මේ සිද්ධි ගෙනහැර පාමින් ඒ කාලේ අදට වඩා නරක බව තර්ක කරනවා. ඒ කා‍ලයේත් අවුරුදු තිස් පහක පමණ මිනිහෙකුට වයස අවුරුදු දොළහක පොඩි එකෙකුට එවැනි කුණුහරුපයක් කියන්නට පුළුවන්කම තිබුණා. 

එපමණක් නොවෙයි, අපේ ගමේ අපට වඩා වයසින් වැඩි සිසුවකු වුණ ධර්මරත්න අයියාට දවසක් හොරණ ඩිපෝවෙ කොන්දොස්තර කෙනෙකු බස් එකෙන් එළියට විසිවෙන්න පයින් ගැහුවා. වාසනාවට බස් එක නවත්තලා තිබුණෙ. 

එක වතාවක් බස් එකක කොන්දොස්තර කෙනෙකු අපේ ගමේ පාසල් සිසුවකු වූ ධර්මරත්න අයියාගේ මූණට මිට මොළවලා ගැහුවා, බස් එකෙන් එළියට වීසිවෙන්න. තව දවසක්, බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක වෙලා හිටි කිත්සිරි කහටපිටියගේ මස්සිනා වුණ ලසන්තයි මායි බස්සෙකේ ෆුට්බෝඩ් ආවාය කියලා සෝමපාලයා බස්එක කටු තියෙන මල්වැටකට හේත්තු වෙන්න එලෙව්වා. මං හිතන්නෙ ලසන්තගෙ මූණෙ ඒ වෙලාවෙ ඇතිවුණ කැළල තාම තියෙනවා.

එදාට වඩා අපි ඒ අතිනුත් දියුණුයි, සුපිරි නැති වුණාට.