Woman repairing helmet in Matugama

මතුගම හෙල්මට් හදන නිරෝෂා

අජිත් පැරකුම් ජයසිංහ

අපේ බලු තැන පොඩි කාලෙ ලොක් එක හප කරපු හෙල්මට් එකක් ගෙදර තිබුණා. බිරිඳ ඒක පරණ ප්ලාස්ටික් එක්ක දෙන්න තියෙද්දි මං තියාගත්තෙ අලුත්වැඩියා කරලා ගන්නයි. හැබැයි, හෙල්මට් අලුත්වැඩියා කරන එක ටිකක් වාතයක්. ඒවා අලුත්වැඩියා කරන්න යන්න වෙන්නෙ කුෂන් වැඩ කරන හෙවත් අප්හෝස්ට්‍රි කරන තැනකට. ඒගොල්ලන් ඒ වගේ පොඩි වැඩවලට කැමති නැහැ. බඩුත් නැහැ. හොයන්න ගියාම අපි ඒව තියෙන තැන් දන්නෙත් නැහැ.

පහුගිය දවසක මං දැක්කා, මතුගම අලුත්ගම පාරෙ කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ වන සංරක්ෂණ කාර්යාලය ඉදිරිපිට ඩිමෝ බට්ටා වගේ ලොරියක්. හෙල්මට් රෙපෙයාර් කරනු ලැබේ.

මං දවසක් අර හෙල්මට් එක අරගෙන ගිහින් එතනට දීලා රෙපෙයාර් කරගත්තා. ඒ අතරෙ පොඩි චැට් එකකුත් දැම්මා. හෙල්මට් රෙපෙයාර් කරන්නෙ නිරෝෂා. ඇය අගලවත්තෙ බෙල්ලන පදිංචි දෙදරු මවක්. සතියේ හැමදාම වගේ මෙතන මේ වාහනයේ ඇය හෙල්මට් අලුත්වැඩියා කරන ව්‍යාපාරය කරනවා. ඒ සඳහා අවශ්‍ය ඇණ, ලොක්, කැප්, පටි, වයිසර් ආදී හැම දෙයක්ම තියෙනවා. මගේ හෙල්මට් එක විනාඩි දහයකින් විතර අලුත්වැඩියා කරදුන්නා. ලොක් එක හා කැප් එකක් දාලා රු. 600/=යි. අද කාලෙ හෙල්මට් එකක මිල එක්ක බැලුවාම මේ යූපීකෝ හෙල්මට් එක මට තව සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මං දැනට පාවිච්චි කරන හෙල්මට් දෙකෙත් පොඩි පොඩි රෙපෙයාර් තියෙනවා. මං ඒවත් අරගෙන එන්නම් කිව්වා.

ඇය මේ කර්මාන්තය ඉගෙනගෙන තියෙන්නෙ ඇගේම සහෝදරියක ළඟ වැඩකරලා. ඇයත් ගාල්ලේ මෙවැනිම ජංගම හෙල්මට් අලුත්වැඩියා කරන ආයතනයක් පවත්වාගෙන යනවාලු අවශ්‍ය ද්‍රව්‍ය සපයාගන්නා හැටි එහෙම ඇය දන්නවා. ඇගේ සැමියා යුද හමුදාවේ සේවය කරන කෙනෙක්. එදා නම්, නිවාඩු නිසා ඔහුත් ඇයට උදව් කරන්නට ඇවිත් තිබුණා.

ආර්ථික අර්බුදයත් එක්ක බොහෝදෙනෙකු වෙනදා ඉවත දැමූ උපකරණ අලුත්වැඩියා කර පාවිච්චි කරන්නට පුරුදු වෙලා. හෙල්මට් අලුත්වැඩියාවට හරිහමන් තැන් තිබුණෙ නැහැ. ඇය ඒ සමාජ අවශ්‍යතාව සඳහා ඇති වෙළඳපොළ හඳුනාගෙන ඒ සඳහා ආයෝජනය කර තිබෙනවා.

Helmet repair mobile shop in Matugamaඅපේ රටේ කාන්තාවන්ගෙන් ශ්‍රම බලකාය සමග සම්බන්ධ වන්නේ 30% – 35% අතර ප්‍රතිශතයකි. සමස්ත රැකියා නියුක්තිය සලකා බැලූ විට, රැකියාවල නියුතු වී සිටින්නේ ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණයෙන් 45%ක් පමණක් බව ආචාර්ය නිශා අරුණතිලක විසින් 2012 සංගණන දත්ත පාදක කර ගනිමින් සම්පාදනය කර තිබෙන Labour Market Characteristics නම් තේමාත්මක වාර්තාවේ දැක්වෙනවා.

කාන්තා ජනගහණය සලකා බැලුවහොත් 65%ක් ම රැකියාවල නිරත වන්නේ නැත. 2006 සහ 2016 අතර දස වසර තුළදී ශ්‍ර‍ම බලකාය සමග සම්බන්ධ වන කාන්තා ජනගහණයේ ප්‍ර‍තිශතය 5%කින් පහත වැටී තිබේ.

ලංකාවේ පිරිමින් අතර ද ව්‍යවසායකයන් සංඛ්‍යාව 5%කට අඩු ය. කාන්තාවන් අතරින් නම් 1%ක්වත් ව්‍යවසායකයන් නොවේ.

ලංකාවේ සැබෑ විප්ලවයක් ආරම්භ කළ හැකි එක් සන්ධිස්ථානයක් වන්නේ ශ්‍රම බලකායේ කාන්තා ප්‍රතිශතය වැඩි කිරීම සහ කාන්තා ව්‍යසායකත්වය වර්ධනය කිරීමයි.
නිරෝෂා වැනි කාන්තා ව්‍යවසායිකාවන් අප අගය කළ යුත්තේ ඒ නිසායි.