Saman Rathnapriya

සමන් රත්නප්‍රියගේ පාර්ලිමේන්තු යාම, ස්වාර්ථවාදය හා සමාජවාදය

අජිත් පැරකුම් ජයසිංහ

සිවිල් සමාජ ක්‍රියාකාරික සමන් රත්නප්‍රිය එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම පිළිබඳ දැඩි විවේචන විවිධ පාර්ශ්වවලින් එල්ල වෙනවා. ඇතැමෙකු එය පුරවැසි ව්‍යාපාර පාවාදීමක් ලෙස සලකනවා. තවත් සමහරු සමන් රත්නප්‍රිය කෙටි කලක් තුළ ලබාගත් වාහන බලපත්‍රය වැනි වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න කරමින් සුපිළිපන්භාවය පිළිබඳ ගැටලුවක් මතු කරනවා.

Translations

පසුගිය දෙසැම්බර් 4දා රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් ද සොයිසා මියයාමෙන් අනතුරුව ඔහුගේ පුරප්පාඩුවට පත් කරන ලද වරුණ ලියනගේ මන්ත්‍රීවරයා ද මෙම වරප්‍රසාද ම ලබාගන්නට ඇති. එහෙත් කිසිවෙකු ඒවා ප්‍රශ්න කරන්නේ නැහැ. සමන් රත්නප්‍රිය කියන්නේ තමන් පාර්ලිමේන්තුවට සහභාගි වුණේ දින හයක් පමණක් වන මුත්, ඔහු තුන්වරක් ම කතා කරන ලද බවයි. පාර්ලිමේන්තුවේ පසුගිය වසර හතරහමාර තුළ එක් වරක් හෝ කතා නොකළ මන්ත්‍රීවරුන් ද ඉන්නවා.

සමන් රත්නප්‍රිය සිවිල් සමාජ ක්‍රියාධරයකු, වෘත්තීය සමිති නායකයකු ලෙස යෙදෙන ප්‍රධාන කාර්යය වන්නේ උද්දේශනය හෙවත් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා බලපෑම් කිරීමයි. එය වඩාත් ඵලදායී ලෙස සිදුකිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම තරම් වෙනත් තැනක් නැහැ. එහිදී ඔහු එක්සත් ජාතික පක්ෂය සමග ඇති කරගෙන තිබෙන සම්මුතිය වැදගත්. එක්සත් ජාතික පක්ෂය පුළුල් දැක්මක් සහිත පක්ෂයක්. එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත් වූ අතුරලියේ රතන හිමි දැන් ඉන්නේ මහින්ද රාජපක්ෂ පිල සමග වුණත්, එම පක්ෂය ඔහු ජාතික ලැයිස්තුවෙන් ඉවත් කරන්නට පියවර ගත්තේ නැහැ. සමන් රත්නප්‍රියට සිවිල් සමාජ නායකයකු ලෙස කටයුතු කිරීමේ ස්වාධීනත්වය එජාප විසින් සපයනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි.

සමන් රත්නප්‍රිය සාමාන්‍ය මිනිසුන් අතර සිටින සාමාන්‍ය මිනිහෙක්. ඒ නිසා ඔහුට සාමාන්‍ය ජනයාගේ අවශ්‍යතා පාර්ලිමේන්තුව තුළ නියෝජනය කිරීම වඩා හොඳින් කරන්නට පුළුවන්.

සමන් රත්නප්‍රිය පාර්ලිමේන්තු යන්නේ පුරවැසි ව්‍යාපාරය පාවා දෙමින් ද යන ප්‍රශ්නය වැදගත්. වසර 2015දී පුරවැසි ව්‍යාපාර බිහි වන විට ම ඒවා ගොඩනැගුණේ මධ්‍යගත ප්‍රජාතාන්ත්‍රික පක්ෂවල ආකෘතියට බොහෝ වෙනස් ස්වරූපයකින්. ඒවා අරමුණු අතින් සමාජවාදී වන මුත්, ඒවායේ අභ්‍යන්තර ස්වරූපය තුළ සමූහවාදීත්වයට වඩා ස්වාර්ථවාදී ලක්ෂණයක් දකින්නට පුළුවන්. ස්වාර්ථවාදය හෙවත් individualism කියන්නේ සාමූහික සමාජ ක්‍රියාකාරිත්වයන්ට වඩා පුද්ගලයින්ගේ නිදහසට හා ක්‍රියාකාරිත්වයට පක්ෂපාතී සමාජ න්‍යායක්. විශේෂයෙන් ම ධනවාදය විසින් ස්වාර්ථවාදය පෝෂණය කරනවා. එයින් පුද්ගලයන්ව සමූහයකට යටපත් කිරීම වළක්වනවා. වඩා නිදහස් පරිසරයක් තුළ ඔවුන්ගේ දක්ෂතා ඉස්මතු කරගන්නවා.

මෙය සමාජවාදී භාවිතාවේ විරුද්ධාභාසයක් ලෙස සැලකිය හැකියි. සමාජවාදය හැම විට ම වැඩි අවධානයක් යොමු කරන්නේ සමූහයට මිස පුද්ගලයාට නොවෙයි.

වර්තමාන දේශපාලන ප්‍රවණතා තුළ සැබෑ සමූහවාදී හෝ සමාජවාදී භාවිතාවන් පවතින්නේ අතළොස්සක් සමාජවාදී ව්‍යාපාරවල පමණයි. ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය එවැනි ව්‍යාපාර දෙකක්. එහෙත්, ඔවුන්ටත් වඩා ආන්තික සමාජවාදී අදහස් ප්‍රකාශ කිරීමට උත්සාහ කරන වෙනත් කුඩා කණ්ඩායම් තුළ දැකිය හැකි වන්නේ දැඩි ස්වාර්ථවාදී ලක්ෂණයි. ඔවුන් වඩා දක්ෂ ලෙස කටයුතු කරනු දැකිය හැකි වන්නේත් එම නිසා විය හැකියි.

Translations by Creative Content Consultants

මේ වන විට ප්‍රධාන ධාරාවේ බලවත් ම දේශපාලන ව්‍යාපාරය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාර්ථකත්වය සඳහා ඔවුන් ස්වාර්ථවාදය උපයෝගී කරගන්නවා. පසුගිය පෙබරවාරි 2දා මහනුවරදී ‘තිස් වසරක මහින්දානන්දය’ නමින් උත්සව සභාවක් පැවැත්වුණා. මහින්දානන්ද අලුත්ගමගේ ගැන කතා කරමින් එහිදී අගමැති මහින්ද රාජපක්ෂ පැවසූ වැදගත් කරුණක් මා මෙහි උපුටා දක්වනවා. මහින්ද රාජපක්ෂ පැවසුවේ මහින්දානන්ද හැමවිටම පාර්ලිමේන්තුවේදී ‘අපේ කණ්ඩායමේ අයෙකුට’ එරෙහිව ප්‍රකාශයක්, කතාවක් කළ විට වහා සභාවට පැමිණ එයට පිළිතුරු දුන් බවයි. මේ අපේ කණ්ඩායම එදා එම උත්සව සභාවේ ඉදිරියෙන් අසුන්ගෙන සිටියා. මහින්ද, විමල්, ඩලස් වැනි අය තමයි මේ අපේ කණ්ඩායම වුණේ. එය එක්තරා අන්දමකට ස්වාර්ථවාදය හා සමූහවාදය අතර තුලනයක්.

වර්තමානයේදී අප සිටින්නේ ස්වාර්ථවාදය හා සමාජවාදය අතර යම් අලුත් තුලනයක් සොයා ගත යුතු තැනකයි. සාධනීය පුද්ගල සංවර්ධනයට ස්වාර්ථවාදයේ තිබෙන විභවයන් යොදාගන්නා ගමන් පුද්ගලයා සමූහය කෙරෙහි වගවන ආකාරය අලුත් සමාජවාදී සංදර්භයක් තුළ ස්ථාපනය කළ යුතුයි. සමාජවාදයට සාර්ථක වන්නට හැකි වන්නේත් එවැනි සංදර්භයකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *