අනුර කුමාර දිසානායකට අගමැතිකම ලබාදිය හැකි ආකාරය
අජිත් පැරකුම් ජයසිංහ
“අපට අගමැතිකම දෙනවා නම්, අප කැමති කැබිනට් මණ්ඩලයක් පත්කරගන්නට අවස්ථාව දෙනවා නම්, අපි මාස හයක් ඇතුළත යම් ස්ථාවරයක් ගොඩනගලා මැතිවරණයකට ගොස් මේ අර්බුදයෙන් රට ගොඩගන්නවා. ඒ වෙනුවෙන් අපට සැලැස්මක් තිබෙනවා,” යි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසා තිබේ.
ඒ සැලැස්ම කුමක්ද යන්න ඔහු විස්තර කරනවා නම් හොඳය. එවිට බලයේ සිටින වෙනත් පාර්ශ්වයකට වුණත් එය කළ හැකිය.
කෙසේ වෙතත්, ජවිපෙ මතය තුළ පවා සර්ව පාක්ෂික ආණ්ඩුවක අදහස නොමැති වීම කැපී පෙනේ. එය වනාහි සර්ව පාක්ෂික නොව ජවිපෙ/ ජාතික ජන බලවේග ආණ්ඩුවකි. නැතිනම් ජවිපෙ කැමති පිරිස් තෝරාගෙන නිර්මාණය කරගනු ලබන සන්ධානයකි. අරගලයේ නායකයන් හෝ එයට ඇතුළත් වේද යන්න පැහැදිලි නැත.
අනුර කුමාර දිසානායක කියන මේ දෙයට අවස්ථාව ලබාදිය යුතු යයි මම සිතමි. එහෙත්, පුරවැසියකු ලෙස ඔහුට හෝ ඔහුගේ පක්ෂයට බලය ලබාදීමේ හැකියාවක් මට නැත. ඔහු ඉල්ලන්නේ ජනාධිපතිකම නොවේ. අගමැතිකමයි. ඔහු එය ලබාගත යුතුය. ජනාධිපතිවරයා හමුවී තම වැඩපිළිවෙල පැහැදිලි කර තමාට අගමැතිකම ලබාදෙන ලෙස ඉල්ලා සිටිය යුතුය. පාර්ලිමේන්තුවේ බහුතර බලය තමන්ට ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලාසිටිය යුතුය. ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය වැනි පක්ෂවල ද සහාය අවශ්‍ය නිසා ඔවුන් සමග ද සාකච්ඡා කළ යුතුය.
ඔහු කැමති කැබිනට් මණ්ඩලයක් පාර්ලිමේන්තුවෙන් පත්කරගත යුතුය. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා හැරුණු කළ තවත් ඇමතිවරුන් 12ක්වත් අවශ්‍ය වේ. ඒ සඳහා ඔහු කැමති පුද්ගලයන්ට ඇමතිකම් ලබාදීම සඳහා ඔහු පක්ෂ නායකයන් එකඟ කරගත යුතුය.
පාර්ලිමේන්තුවේ සිටින අය හොඳ නැති නම්, පිටත සිටින අය පාර්ලිමේන්තුවට පත්කරගත යුතුය. ඒ සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කර ඔවුන් ඉල්ලා අස්වන්නට එකඟ කරගත යුතුය. ඔවුන් ඉල්ලා අස්වූ පසු එම මන්ත්‍රී තනතුරුවලට අගමැති අනුර කුමාර දිසානායක කැමති අය පත්කිරීමට එම පක්ෂවල ලේකම්වරුන් එකඟ කරගත යුතුය.
මේ කිසිවක් ජනතාවට කළ නොහැකිය. ඒ සඳහා අවශ්‍ය තත්වයන් ජවිපෙ/ ජාජබ විසින් නිර්මාණය කරගත යුතුය. කෙසේ වෙතත්, අනුර කුමාර දිසානායකගේ මෙම ප්‍රවේශය වැදගත්ය.
ඉන්පසු අනුර කුමාර දිසානායක ඔහු පවසන ‘යම් ස්ථාවරය’ වහා නිර්මාණය කළ යුතුය. එනම් ලංකාව ණය ආපසු නොගෙවූ බංකොළොත් තත්වය හේතුවෙන් මුහුණදෙන ආදීනවවලින් රට බේරාගත යුතුය. ඉන්ධන, ගෑස් ආදිය ආනයනය කරදිය යුතුය. පෝලිම් නැතිකළ යුතුය. ජනතාව වේදනාවට පත් නොකර ඔවුන්ගේ අවශ්‍යතා සපයා දිය යුතුය. නීතියේ පාලනය ඇතිකළ යුතුය. වැඩවර්ජන නැවැත්විය යුතුය. රජයේ සේවකයන්ගේ ඉල්ලීම් ලබාදිය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුය. මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය සම්පත් සපයාගත යුතුය.