අරගලය මගේ හඬ නියෝජනය කරන්නේ නැත
අජිත් පැරකුම් ජයසිංහ
මේ රටේ බහුතර ජනතාවට අවශ්‍ය පවත්නා අර්බුදයට විසඳුමකි. ඉන් අනතුරුව අර්බුදයෙන් ගොඩඒම සඳහා විසඳුම් ක්‍රියාමාර්ග ගැනීමයි. අවසාන වශයෙන් අපට අවශ්‍ය වන්නේ තිරසර සංවර්ධනයකි. පවත්නා අර්බුදයට වැරදිකරුවන් හට දඬුවම් කිරීම වුව සිදුවිය යුත්තේ සාධාරණ, අපක්ෂපාතී විමර්ශනයකින් පසුව ය. අප පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදය එයයි. එය කරන තෙක් මේ අර්බුදයේම පැසව පැසවා සිටිය යුතු නැත.
විසඳුම ව්‍යවස්ථානුකූල විය යුතුද, නැද්ද, කොයි තරම් ව්‍යවස්ථානුකූල විය යුතුද යන්න ගැන සංවාදයක් තිබේ. මෙතැනදී මම නම් ඉතා පැහැදිලිව ව්‍යවස්ථාව සමග එකඟ වෙමි. එයට හේතුව, ව්‍යවස්ථාව වඩා නිරවුල් දෙයක් වීම හා ව්‍යවස්ථාවට අමතර දේ වන ජනබලය වැනි කාරණා අපැහැදිලි සංකල්ප වීමයි.
මා ගෞරව කරන හා විශ්වාස කරන කිසිදු නායකයෙකු මේ රටේ නැත. නායකයන් කියන අයට වඩා මම දියුණු පුරවැසියෙක්මි. මට ඒ නිසා ලැබෙන නායකයා සමග ජීවිතය හැඩගස්වාගැනීමේ ගැටලුවක් නැත. මොන නායකයා ආවත්, මේ මොහොතේ කරන්නට තිබෙන්නේ ඉතා සීමිත කාර්යයන් ටිකක් නිසා මම ගෝඨාභය රාජපක්ෂ හෝ රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් ඕනෑම නීත්‍යානුකූලව පත්වූ ජනාධිපතිවරයකු පිළිගැනීමට සූදානම්ය.
මා සිතන පරිදි එළියට ඇවිත් කෑකෝගැසීමට, ප්‍රචණ්ඩව හැසිරීමට, ආක්‍රමණ කිරීමට, දිවි පිදීමට කැමති වීරයන් නොවන සාමකාමී අතිවිශාල ජනතාවක් සිටින්නේ මේ මතයේය. අරගලය, ජන බලය ආදී වචනවලින් හැඳින්වෙන ක්‍රියාකාරීත්වයන්ට ලක්ෂ කීපයක් ජනයා සහභාගී වනවා ඇත. එහෙත්, මේ රටේ කෝටි දෙකකට වඩා ජනතාව ජීවත් වේ.
අරගලය නම් ක්‍රියාකාරීත්වයෙන් මගේ හඬ නියෝජනය වන්නේ නැත. නීත්‍යානුකූලව බලයට පත්වූ ආණ්ඩු මොබ් ප්‍රචණ්ඩත්වයෙන් පළවාහැරීමේ කිසිදු උවමනාවක් මට නැත. මට අවශ්‍ය සාමය හා ආර්ථික ප්‍රශ්නවලට විසඳුම්ය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීමය. පුරවැසියකු ලෙස මගේ මතයට නියෝජනයක් මට අවශ්‍යය. ගෙවල් ගිනිතැබීම්, පහරදීම් කරන බවට බියගන්වා මගේ හෝ මා නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ හෝ රාජ්‍ය නිලධාරීන්ගේ හෝ හඬ නිහඬ කිරීම මා පිළිගන්නේ නැත. එවැනි ක්‍රියාමාර්ගවලින් බලයට පත්වන පාලකයන් ද මා පිළිගන්නේ නැත. අවශ්‍ය නම් යටත් කරගත හැකිය.
මා දකින ආකාරයට, මේ අරගලය නම් ක්‍රියාවලිය තුළ තිබෙන්නේ විවිධ සමාජ කණ්ඩායම්වල වෛරී චේතනා සහ බල අරමුණුය. ජවිපෙ, සජබ, එජාප වැනි පක්ෂ අරගලය තුළින් බලය අත්පත් කරගැනීමට උත්සාහ කරති. චම්පික, ෆොන්සේකා, කර්නර් වැනි අය පක්ෂ නොවන ක්‍රියාමාර්ග හරහා බලය ගැනීමට උත්සාහ කරති. පෙසප හා තවත් විවිධ කණ්ඩායම් ගණනාවක් ද මේ හරහා බලය ගොඩනගාගැනීමට උත්සාහ කරති.
මේ අතර තවත් වැදගත් කාරණා තිබේ. කාදිනල් ප්‍රමුඛ පිරිස්වලට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බලවත් කිසිවකුට දඬුවම් කිරීමට බැරිවීම පිළිබඳ ඇරියස් එකක් තිබේ. මුස්ලිම් බලවේගවලට පාස්කු ප්‍රහාරය සාර්ථක කරගැනීමට බැරිවීම හා ඉන්පසු මුහුණදෙන්නට සිදුවූ ගැටලු නිසා ඇතිවූ ඇරියස් එකක් තිබේ. සුමන්තිරන්, ශානක්‍යන් වැනි අයට දෙමළ කැරැල්ල පරාජය වීමේ වාඩුව ගන්නට තිබේ. කුල පීඩිතයන්ට ඉහළ කුල සමග තිබෙන ඇරියස් එක ද තිබේ. මේ අය විසින් හසුරුවන බලවේග තිබේ. එම බලවේග විසින් ද තත්වය තව තවත් අවුල් කරනු ලැබේ.
ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනඒම සමග නිර්මාණය වූ දෙමළ, මුස්ලිම්, කඳුරට ආදී සුළුජාතික බලය නොතකාහැරිය හැකි තනි සිංහල ජාතිවාදී ආණ්ඩුකරණය වර්තමාන තත්වය නිර්මාණය කිරීමට ප්‍රධාන හේතුවයි. සුළුතර කොටස් බලයෙන් බැහැර කිරීම කෙතරම් භයානක ද යන්න මෙම අර්බුදය විසින් පැහැදිලි වේ.
ඒ අතර මතක් කළ යුතු කාරණයක් ද තිබේ. සිංහල බෞද්ධ ආධිපත්‍යය බිඳදැමීම සඳහා කුමන්ත්‍රණකාරී අන්දමින් කටයුතු කිරීම ද අනාගතයේ අතිශය භයානක ප්‍රතිඵල නිර්මාණය කළ හැකිය. ආගමික බලවේග මෙම අර්බුදයේ භූමිකාවන්ගෙන් ඉවත්විය යුතුය. සිංහල බෞද්ධ අන්තවාදයට ඉනිමං නිර්මාණය කිරීම වැළැක්විය යුතුය.
මේ සියල්ල පසුපසින් ඉන්දීය, ඇමරිකන්, චීන බල දේශපාලනික උවමනාවන් ක්‍රියාත්මක වන අතර තෝරු මෝරුන්ගේ බල උවමනාවන් හමුවේ දැන් ඔය දඟළන ඕවර් ඇක්ටිං පිරිස් ගැන කියන්නට තිබෙන්නේ ඔවුන් තෝරු මෝරුන්ට තමන් රැවටුණු බව නොදන්නා, ඒ තබා මුහුදවත් නොදුටු දංඩි පෙතියන් පමණක් බවයි.