Power

ආයෝජකයන් වෙනුවෙන් අවදානම් ගැනීමේ ආණ්ඩුවේ සූදානම පෙන්වූ විදුලිබල පනත

– අජිත් පැරකුම් ජයසිංහ

අපට ඕනැ කොන්දේසිවලට ආයෝජකයන් ගෙන්න ගන්න පුළුවන් රටක් නෙමෙයි වර්තමාන ලංකාව (එහෙම කාලයක් තිබුණා ඉස්සර). අයෝජකයන්ට ඕනැ විදියට තමයි කරන්න වෙන්නෙ. ඒක තමයි ආයෝජන ගැන සරලම කතාව.

ඊයෙ අලි සබ්‍රි පාර්ලිමේන්තුවෙදි කරපු කතාවෙ මේ කොටස අහන්න: “බොරු ජාත්‍යාලයක් මවාගෙන දේශප්‍රේමයක් මවාගෙන මේ බොරුවක් කියන්න උත්සාහ කරනවා. ඔබ හිතනවාද ලෝක පූජිත සමාගම ලංකාවේ මෙගාවොට් 10කට අඩු ප්‍රමාණයකට ඇවිල්ලා මෙහෙ ටෙන්ඩර් කරාවි කියලා. ඔවුන්ට වැඩක් තියෙනවා ද. ඔවුන්ගේ ආයෝජනයේ වැදගත්කමක් තියෙනවා ද. ඒක අපනයනය කරන්න පුළුවන් ද. එවැනි අය එන්නේ නැතුව රටක් දියුණු කරන්න පුළුවන්ද.

1977 වෙනකොට අපි විතරයි විවෘත ආර්ථිකයට තිබුනේ. මිනිස්සුන්ට මෙහෙට එන්න හේතුවක් තිබුණා. අද වෙනකොට ඕක වෙනස්වෙලා. මුළු ලෝකෙම විවෘත වෙලා. කාම්බෝජය, වියට්නාමය, බංග්ලාදේශය, නේපාලය සියලුදෙනාම තරග කරනවා. ඒ තරග කරන අවස්ථාවේදී ආයෝජකයා අපි ගෙන්වාගන්න ඕන. ආයෝජකයා දිරිමත් කරන්න ඕන. ආයෝජකයන්ගෙන් ආයෝජනයෙන් තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්න ඕනැ.”

ඔය මහලොකු ටෙන්ඩර් පටිපාටිවලින් දූෂණ වළක්වන්නට පුළුවන් නම්, දැන් ලංකාව සුපිරියට තියෙන්න ඕනැ. ලංකාවෙ මෙච්චර කල් කෙරුණු දූෂණ බහුතරයක් සඳහා ටෙන්ඩර් ලියකියවිලි නියමෙට හදලා තියෙනවා.

ලංකාවට මේ මොහොත පහුකරගන්නට ලොකු අවදානමක් ගන්න වෙනවා. මේ අවදානම එක්ක අනිවාර්යයෙන්ම දූෂණයත් සම්බන්ධ වෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දූෂණය අලුත් දෙයක් නෙමෙයි. මෙච්චර කලුත් තිබුණා. ඒක සම්පූර්ණයෙන්ම නැතිකරන එකට වඩා මේ මොහොතෙ වැදගත් කාරණා තියෙනවා. රටට ආයෝජන ගෙනෙන එක, සංචාරකයන් ගෙනෙන එක අත්‍යවශ්‍යයි. දූෂණයේ යෙදෙන්නට තියෙන මං අවුරන්නට ඕනැ. සමාජයක් විදියට අපි ඒ ගැන සවිඥානකව කටයුතු කරන්නට ඕනැ. දූෂණයට එරෙහිව අරගල කරන්නට ඕනැ. හැබැයි, මේ එකක්වත් නිසා අවදානම් නොගෙන ඉන්න බැහැ. අද අපට අවශ්‍ය අවදානම් ගන්න සූදානම් පාලනයක්. වර්තමාන ආණ්ඩුව ඒ සූදානම ඊයෙ ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමෙදි පෙන්නුවා.

තීරණ ගන්න බිය, මඩේ හිටවූ ඉනනක් වැනි ජනාධිපතිවරයකු තවමත් බලයේ ඉඳගෙන කරන බාධාකිරීම් මැද්දෙ තමයි, විදුලිබල හා බලශක්ති විෂය භාර තරුණ ඇමති කංචන විජේසේකරගෙ නායකත්වයෙන් ඒ පියවර ගැනුණෙ.

ආණ්ඩුව ඊයෙ ක්‍රියාමාර්ගයෙන් ඉන්දියාවට, ජාත්‍යන්තර ප්‍රජාවට ලොකු සංඥාවක් ලබාදුන්නා. ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම සම්මත වීමේ තියෙන දේශපාලන වැදගත්කම ඒකයි. එහෙම නැතුව, ඒ පනතෙ මහලොකු වැදගත්කමක් නැහැ. ඒකෙදි ලැබුණෙ දේශපාලන ජයග්‍රහණයක්. පරාජය කළේ ලංකාවට ගොඩඑන්නට නොදී කකුලෙන් අදින සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය වගේ ප්‍රතිගාමී බලවේග. විදුලිබලය නිෂ්පාදනය කරන්නට, කෘෂිකර්මාන්තයට යොදාගන්නට ජලාශවල එක්රැස් කර තිබෙන පොදු සම්පතක් වන ජලය මුදාහරින එක වගේ ත්‍රස්තවාදී වැඩ කරන, වෘත්තීය සමිති. මේවා පරාජය නොකර රටට ගොඩඒමක් නැහැ.

ඊයේ පාර්ලිමේන්තුවේදී අලි සබ්‍රි කළ කතාව ඉතා වැදගත්. පහත දැක්වෙන කොටසෙන් ආණ්ඩුවේ මූලෝපාය පැහැදිලි කරනවා. මේකට විරුද්ධව බොරු දේශප්‍රේමය, ජාතිවාදය ඇදගන්න පුළුවන්. හැබැයි, මේ මොහොතෙදි රටට ගොඩඑන්න අපට ඉන්දියාවෙ අතදීම ඉතා වැදගත්. ඒක තේරුම් නොගන්නෙ, රටට වඩා තමන්ගෙ බලය වැදගත් එවුන්. උන් ඉතා දේශපාලනිකයි. ආණ්ඩුව මුහුණදෙන්නෙ ඒ අභියෝගයට.

ආණ්ඩුවේ මේ ක්‍රියාමාර්ග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමේදීත් වැදගත් වෙනවා. මෙමගින් ආණ්ඩුවේ යම් ස්ථාවරභාවයකුත් පෙන්නුම් කරනවා. සබ්‍රිගේ කතාවේ මෙසේ සඳහන් වුණා:

“දැන් මේ අදානි කෙනෙක් අල්ලාගෙන. කාවහරි අල්ලගන්නවා. මේ ඉන්දියාව පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි. ආයෝජකයන්ට බයවෙන්නට බෑ. ආයෝජකයෝ එනකොට ගෙන්නගන්න ඕන. අද ඉන්දියාව ගත්තම ඉතා වේගයෙන් දියුණුවන රටක්. මේ නිර්මාණය කරන අලුත් ශක්තිය ලංකාවට දෙන්න නෙවෙයි ඔවුන් කතාකරන්නේ. ඉන්දියාවට විකුණන්න.

“මේ පහුගිය අවුරුදු කාළය තුළ. සුළං බලය ප්‍රමාණය මෙගාවොට් 15,000ක් විතර තියෙනවා. ඔහේ සුළං හමලා යනවා. කවුරුත් මුකුත් කතාකරන්නේ නෑ. ඒකට ආයෝජනය කරලා ඒක ලබාගෙන. රටටත් අඩුගානට දීලා. ආයේ අපනයනය කරලා විදේශ විනිමය ලබාගන්න හදනකොට මොනවාද එකක් කියවනවා. කොහොමද රටක් නිර්මාණය වෙන්නේ.

“ඉන්දියාව අද වෙනකොට බංග්ලාදේශය සහ රුසියාවත් එක්ක එකතුවෙලා න්‍යෂ්ඨික බලාගාරයක් නිර්මාණය කරනවා විදුලිබලය ලබාගන්න. ඊට පස්සේ ඔවුන් ඉන්දියාවට අපනයනය කරනවා. භූතානයත් එක්ක කරලා තියෙනවා. නේපාලයත් එක්ක කරලා තියෙනවා.

“ඉතින් අපෙන් හමන සුළඟ එකතුකරලා විදුලිබලය නිර්මාණය කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට රුපියල් 22ට ලබාදීලා, ඉතුරු ටික අපනයනය කරාම මොකක්ද තියෙන ප්‍රශ්නය.”

පසුගිය දිනෙක, මිලින්ද මොරගොඩ ලංකාදීප පුවත්පතට ලියන කොලමෙහි අපූරු අදහසක් ලියා තිබිණි. එයින් කියවුණේ ත්‍රස්තවාදීන් බලය අල්ලාගෙන සිටින ඇෆ්ගනිස්ථානය ආයෝජකයන් දෙස සුබවාදීව බලද්දී, දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ලංකාව ආයෝජකයන් දෙස බලන්නේ ත්‍රස්තවාදී බැල්මකින් බවයි.

මතක තියාගන්න, මේ පාර මැච් එක තියෙන්නෙ ඇෆ්ගනිස්තානෙත් එක්ක. ඔව්, අපි මාලදිවයිනට, බංග්ලාදේශයට පවා පරාජය වෙලා ඉවරයි. තලේබාන්ලගෙ ඇෆ්ගනිස්තානය පවා අප ඉස්සර කරන්නට ඉඩ තියෙනවා. ආයෝජකයන් රටට ආකර්ශනය කරගන්නට මේ තිබෙන අවස්ථාව කොයි තරම් වැදගත් ද කියන එක හිතන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *