ඔහොම නෙමෙයි බොල ගෝටෝ මෙහෙම කොටාපන්
– අජිත් පැරකුම් ජයසිංහ
කොහොම වුණත්, ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස ඉවත්ව යාමට අකැමැති වීම නරක තත්වයක් නොවේ. ඔහුට දැන් තමන් අතින් සිදුවූ වැරදි නිවැරදි කරගෙන, තමන්ගේ පුතාටත්, ඔහුගේ රට වන ඇමරිකා එක්සත් ජනපදයටත් අගෞරවයක් නෙවන පරිදි පිටව යාමට හැකිය. ඒ සඳහා මේ දැන්ම වැඩ පටන්ගත යුතුය. නිදි නම් හෙට උදේ අවදි වී අලුත් හුස්මක් ගත යුතුය.
පළමුව ඔහු හමුදාවේ හිටපු සෙබළකු සේ කොන්ද පණ ඇතුව වැඩකළ යුතුය. රාජපක්ෂ පවුල දේශපාලනයේදී අතේ දුරින් තබාගත යුතුය. 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතුය. පාර්ලිමේන්තුවට හා කැබිනට් මණ්ඩලයට විසඳුම් සෙවීමට අවස්ථාව ලබාදී එයට උපකාර කළ යුතුය. කකුලෙන් ඇදීම නම් කිසිසේත්ම නොකළ යුතුය.
වර්තමාන අගමැතිවරයාට මහජන විශ්වාසය රැකගැනීමට බැරි වුවහොත්, වෙනත් අගමැතිවරයකු හා කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීමට පාර්ලිමේන්තුවට ඉඩදිය යුතුය. අස්ථාවරත්වයන් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා කිසිසේත්ම කටයුතු නොකළ යුතුය. ඔහු මැදිහත් විය යුත්තේ ස්ථාවරත්වය තහවුරු කිරීමට පමණි.
මේ මොහොත නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණදී සිටින දුෂ්කරම අවස්ථාවයි. බොහෝ දේ මුලසිටම පටන්ගන්නට සිදුවී තිබේ. පටු දේශපාලනය වෙනුවට පුළුල් ජාතික හැඟීමකින් වැඩ කිරීම සඳහා නායකත්වය දීමට ඔහු දැන්වත් උත්සාහ කළ යුතුය. ඔහුගේ නායකත්වය කෙරෙහි මහජන විශ්වාසය මුළුමනින්ම පාහේ බිඳවැටී ඇති බව ඔහු අවබෝධ කරගත යුතුය.
කෙසේ වෙතත්, පූර්ණ ධුර කාලයක් වැජඹීමට වඩා ජනාධිපතිවරණයක් හා මහ මැතිවරණයක් පැවැත්විය හැකි මට්ටමට රට ස්ථාවර වනතෙක් ජනාධිපතිවරයා බලයේ රැඳීසිටීම ප්‍රමාණවත්ය. විධායකය හෝ ව්‍යවස්ථාදායකය විසින් තවදුරටත් කිසිදු අන්දමකින් මහජන මතය නියෝජනය කරන්නේ නැත. එබැවින්, අලුත් ජනවරමකට අවස්ථාව ලබාදිය යුතුය.
එතෙක්, ජනාධිපතිවරයා විසින් රටේ නීතිය හා සාමය සුරැකීම කෙරෙහි විශේෂ අවධානයකින් කටයුතු කළ යුතුය. මැයි 9දා සිදුවූ රාජ්‍ය ත්‍රස්තවාදී හා අලුතෙන් මතු වූ මහජන ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අකාර්යක්ෂමතාව හේතුවූ බැවින්, නැවත වරක් කිසිසේත්ම එවැනි තත්වයක් ඇති නොවන්නට වගබලාගැනීමේ විශේෂ වගකීමක් ජනාධිපතිවරයාට තිබේ. ත්‍රස්තවාදයේ මේ අදියරෙන් ඔකඳවූ විශාල කාබාසිනියාකාර බලවේගයක් මේ රටේ සිටිති. ගෝඨාභය රාජපක්ෂ ධුරයේ රැඳීසිටීම සාධාරණ වෙනවා නම් එසේ වන්නට එක් හේතුවක් වන්නේ එකී ත්‍රස්තවාදය එතැනින්ම අවසන් කිරීම සඳහා විය හැකිය.
ඔහුට සාර්ථක ජනාධිපතිවරයකු ලෙස ගෙදර යාමට තරම් අවස්ථාවක් ලැබේ යයි සිතිය නොහැකිය. හේතුව රට එතරම්ම අගාධයකට වැටී තිබීමයි. එහෙත්, ඔහු රාජ්‍ය නායකත්වය හොබවමින් සිටින්නේ රටේ විප්ලවීය වෙනස්කම් සිදුවෙමින් තිබෙන සංදර්භයක් තුළය. එනම්, ශ්‍රී ලංකාවේ යල්පැනගිය සුබසාධනවාදී, ජාතික සමාජවාදී, සිංහල පිරිමි මධ්‍යම පන්තික මූලික රාජ්‍ය ආකෘතියේ යම් යම් ගැඹුරු වෙනස්කම් සිදුවෙමින් තිබේ. මේ වෙනස්කම්, රටට අලුත් පිම්මක් සඳහා අවස්ථාවක් බවට පත්කළ හැකිය. ඒ සඳහා යල්පැනගිය වාමාංශික ජාතික සමාජවාදී මතවලින් ඔද්දල් වූ බාගෙට තැම්බුණු පැරණි පරපුර වෙනුවට අලුත් විදියට සිතන තරුණ පරපුරකට අවස්ථාව ලබාදීමේ හැකියාව ඔහුට තිබේ.