කපුටා සහ කෝකිලයෝ
අජිත් පැරකුම් ජයසිංහ
සති කීපයක දේශපාලන ස්ථාවරත්වය තුළ සුබවාදී ප්‍රතිඵල සුළුවෙන් හෝ දක්නට ලැබේ. ඉන්ධන, ගෑස් වැනි හිඟයන් මගහැරෙමින් තිබේ. ආර්ථිකය සක්‍රිය වෙමින් තිබේ.
බදු වැඩිකිරීමෙන් රජය ආදායම් වැඩිකරගැනීමට උත්සාහ කරයි. එමගින් ද්විත්ව අර්බුදයන්ගෙන් එකක් වන රාජ්‍ය අයවැය පරතරය අඩුකරගත හැකි වනු ඇත.
මිල වැඩිවීම් නිසා ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණදෙති. එහෙත්, පරිභෝජනය අඩුවීම නිසා දෙවන අර්බුදය වන ආනයන හා අපනයන අතර පරතරය ද යම් දුරකට අඩුකරගත හැකි වනු ඇත.
විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා මුලපුරා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ඉදිරියට යයි.
විධායක ජනාධිපති බලතල කප්පාදු කරන 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවෙයි. ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් පහකිරීමට වඩා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම ස්ථාවර විසඳුමක් සපයයි.
රනිල් පත්විය හැකි හොඳම අගමැති නොවිය හැකිය. එවැනි හොඳම අගමැති ඇත්තෙන්ම සිහින අගමැතිවරයෙකි. කොයි අගමැතිට වුණත් කරන්නට තියෙන්නේ සීමිත දේවල් ටිකකි.
ජාතික සමාජවාදී විප්ලවයකට මේ මාර්ගයට වඩා වෙනස් මාර්ගයක යා හැකිය. එහෙත්, ඒ කුමන මාර්ගයක්දැයි සංවාදයක්වත් ඊනියා විප්ලවවාදීන් අතර නැත.
අප දකින ආකාරයට නම්, ලංකාවේ සුබසාධනවාදී රාජ්‍යයේ ජාතික සමාජවාදී ඉතුරු ලොං ටිකත් හැලෙන ධනේශ්වර විප්ලවයක් සිදුවෙමින් තිබේ. එය ලාංකීය ආර්ථිකය ගෝලීය ආර්ථිකය සමග ශක්තිමත්ව සවිකරන විප්ලවයකි. 2019දී පරාජය වූ 2015 විප්ලවයට පොට්ට චාන්ස් එකක් වැදී තිබේ.
එහෙත්, බැසිල් තවමත් අතහැර දමා නැති බව පෙනේ. ඇත්තය. රනිල්ගේ පණ තිබෙන්නේ කපුටා ළඟය. එහෙත්, කපුටාට ලේසියෙන් රනිල්ට ළංවන්නට මේ මොහොතේ බැරිය. කපුටා එන්නේ වෙන අය ඉදිරියට දමාගෙනය.
21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තීරණාත්මකය. එසේම, කපුටා සමග පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටත ද සමාන්තරගත වන අය කවුරුදැයි නිරීක්ෂණය කළ යුතුය.
මයිනන්, කපුටන් පමණක් නොව, අනුන්ගේ කූඩුවල බිත්තර දමන කෝකිලයන් ද වැදගත්ය. සිංදු ලස්සන වුව ද උන්ගේ හිත් අවලස්සනය.