කෝවිඩ්-19 හමුවේ දේශපාලකයන් හා නිලධාරීන් නොව වයිරසය විශ්වාස කරන්න
අජිත් පැරකුම් ජයසිංහ
ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 තුන්වන රැල්ලක අවදානමක් මතුවී තිබේ. මේ වන විට හමුවන රෝගීන්ට රෝගය වැළඳුණු මූලාශ්‍ර සොයාගත නොහැකි බව සෞඛ්‍ය ප්‍රධානීහු පවසති. කෝවිඩ්-19 මේ වන විට ප්‍රජාව අතර ව්‍යාප්ත වී හමාර බව සෞඛ්‍ය අංශ පිළිනොගත්ත ද සෙසු කවුරුත් දනිති. පසුගිය සමයේ පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ සීමා කර තිබුණු බැවින් රෝගීන් වාර්තා වීම අඩු වී තිබිණි. එසේම, රටේ ජනතාව බොහෝ දුරට පරිස්සම් වනු දක්නට ලැබිණි. අති බහුතරය මුහුණු ආවරණ පැළඳීම, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම ගැන යම් දුරකට හෝ සැලකිලිමත්ය. සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ විශේෂයෙන්ම වෙළඳපොළ තුළදී මේ පරිස්සම ගිලිහී යාම වර්තමාන තත්වයට හේතුව විය හැකිය. එය බොහෝ විට තාවකාලික වනු ඇත. මේ අතර, වඩා භයානක නව කෝවිඩ්-19 ප්‍රභේදයක් පැතිරෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.
කෙසේ වෙතත්, මෙවැනි රැලි ඇතිවීම නරක නැත. කෝවිඩ්-19 අවදානම පසුගිය සමයේ ශ්‍රී ලාංකිකයන්ට අමතක වෙන්නට ගිය බවක් පෙනිණි. එය නැවත මතක් වීම හොඳ දෙයකි.
අනෙක් පැත්තෙන්, ලාංකිකයන් යනු සාමාන්‍යයෙන් ම වයිරස්, බැක්ටීරියා ආදිය සමග ජීවත් වී පුරුදු පිරිසකි. ලංකාවේ පොදු ප්‍රවාහනයේ කලක පටන් තිබෙන තත්වය මෙයට හොඳම නිදසුනකි. කාර්යාල වේලාවට දුම්රියවල තිබෙන තදබදයේ තරම දුම්රියවල ගමන් කරන්නෝ දනිති. පසුගිය කාලයේ අප ජීවත් වුණේ පැතිරෙන සියලු වසංගත බෙදාගනිමිනි. උණ, හෙම්බිරිස්සාව, කැස්ස, උගුරේ අමාරුව වැනි දේ අප ගණන් ගත්තේම නැත. එවැනි තත්වයන් මැද සාමාන්‍ය පරිදි වැඩකිරීම ඉතා සුලබ අත්දැකීමක් විය. මේ තත්වයන් උත්සන්න වී නිව්මෝනියාව වැළඳී මියයාම ද, දියවැඩියාව, අධි රුධිර පීඩනය, වකුගඩු නරක් වීම වැනි නිදන්ගත රෝගවලින් පෙළුණු අය වයිරස්, බැක්ටීරියා ප්‍රහාර නිසා මියයාම ද අප අතර සුලබ තත්වයන් විය.
කෝවිඩ්-19 ලොව පුරා ව්‍යාප්ත අධි වසංගතයකි. ඒ කෙරෙහි ලෝක අවධානය වැඩිය. මෙම වසංගතය මතුවූයේ එක පැත්තකින් මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් වෙමින් තිබෙන අවධියකය. සම්ප්‍රදායික මාධ්‍ය හා නව මාධ්‍ය අතර මාරාන්තික ගල උඩ සටනක් පවතින වර්තමානයේ සියලු මාධ්‍යවලට කෝවිඩ්-19 කදිම මාතෘකාවක් විය. වසංගතයෙන් මිනිසුන් මියයන තරමට මාධ්‍යවල ජීවිතය දිගුවෙයි. ඒවායින් ජීවත් වන අයට ප්‍රාණ නාලිය සැපයෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ආයතනවලට ද කෝවිඩ්-19 නැවතත් තම ගෝලීය වැදගත්කම ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් විය. මුහුණු ආවරණයේ, දෑත් සෝදන සබන් කෑල්ලේ, විෂබීජ නාශක දියරයේ සිට හෝටල් නිරෝධායනය හරහා කරන ගසාකෑම හරහා එන්නත් වෙළඳපොළ දක්වා දැවැන්ත ධනවාදී වෙළඳපොළක් ද කෝවිඩ්-19 සමග නිර්මාණය වී හමාරය. ශ්‍රී ලංකාවේ නම් මේවායින් වැඩියෙන්ම හා අසාධාරණම අන්දමින් ලාභ ලබන්නේ ආණ්ඩුවේ ගජමිතුරු කල්ලිය.
එසේම, කෝවිඩ්-19 ජාත්‍යන්තර භූ දේශපාලනයේ ද, ජාතික දේශපාලනයේ ද ප්‍රධාන කොටසකි. කෝවිඩ්-19 තේරුම්ගැනීමේදී ඉහත දක්වන ලද කාරණා සියල්ල අදාළ කරගත යුතුය. එය තේරුම්ගැනීම පහසු කාර්යයක් නොවේ.
ඒ නිසා පැමිණි තරම් වේගයෙන් කෝවිඩ්-19 ආපසු ගියහොත් පෘථිවියේ භ්‍රමණය නතර වී, අප කරකවා අතහළ විට සිදුවන දෙය වැනි දෙයක් සිදුවිය හැකිය.
කෝවිඩ්-19න් ආරක්ෂා වීම අපගේ වගකීමකි. කෝවිඩ්-19න් වැඩිම අවදානමට ලක්වන වැඩිහිටි ජනගහණයට හෝ එන්නත ලබාදෙන්නට අසමත් වූ, දේශපාලකයන් හා නිලධාරීන් ඉන්දියාවෙන් ලැබුණු එන්නත් ටිකත් තමන්ට හා තම පවුල්, සේවකයන් ආදීන්ට ගසාගත් අසාර්ථක රාජ්‍යයක පාලකයන්ගෙන් හෝ නිලධාරින්ගෙන් සෞඛ්‍යාරක්ෂාව පැතීම ඉබ්බන්ගෙන් පිහාටු පැතීම වැනි තත්වයකි.
එසේම, දේශපාලකයන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, හමුදා ප්‍රධානීන්, පොලිස් ලොක්කන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි ව්‍යාජ නායකයන් කියන දේ මහජනතාව ලෙස අප හිස් මුදුනින් වැළඳගත යුතු නැත. ඔවුන් කරනු ලබන බියවැද්දීම්වල පටු අරමුණු තිබිය හැකි බව අප අවබෝධ කරගත යුතුය.
බුද්ධිමත් ලෙස මොළේ පාවිච්චි කරමින්, වසංගතයෙන් බේරී කටයුතු කිරීම පුරවැසියන් ලෙස අපගේ වගකීමයි. එහිදී නොකළම යුතු දෙය වන්නේ නායකයන් ලෙස පෙනී සිටින දේශපාලකයන්, නිලධාරීන් ආදී කපටි වංචනිකයන් විශ්වාස කිරීමයි. උන් කියන දේ තාරබැර හැර තේරුම්ගැනීමේ සමාජ සාක්ෂරතාව අප ගොඩනගාගත යුතුය.
කෝවිඩ්-19ට මුහුණදීමේදී දේශපාලකයන් හා නිලධාරීන් විශ්වාස නොකරන්න. මේ වන විට ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට පවා එන්නතේ දෙවෙනි මාත්‍රාව නැත. දේශපාලකයන් හා නිලධාරීන් මේ වනවිටත් උන්ට දෙවෙනි මාත්‍රාව ලබාගෙන තිබිය හැකිය. ජනාධිපති, අගමැති වැනි සියල්ල සංදර්ශනාත්මකව කරන දේශපාලකයන් පළමු මාත්‍රාව ගත් බව හෝ තවම ප්‍රසිද්ධ කළේ නැත. දේශපාලකයන් හා නිලධාරින් ඒ තරම් වංචනිකයෝය. ඔවුන් පිටුපසින් වෙළඳපොළවල්, ලාභය, දේශපාලනය, උන්නතිකාමය ආදී පටු අරමුණු රැසක් තිබේ. වයිරස්වලට එහෙම දේවල් නැත. වයිරසය විශ්වාස කරන්න. එය අව්‍යාජය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ කෝවිඩ්-19 දත්ත පුවරුව අනුව, ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 මාරාන්තික වීමේ අනුපාතිකය 1%ටත් අඩුය. සුවපත් වීමේ අනුපාතිකය 95%ටත් වැඩිය. මෙම තත්වය එසේ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට බැරිකමක් නැත.
මෙම ලිපියත් කියවන්න. එය අප විසින් 2020 ජනවාරි මාසයේදී ලියන ලද්දකි. කොරෝනා වයිරසය වැඩියෙන් බෝ කරන්නේ ජනමාධ්‍ය විසිනි