ගල උඩ සටන ලබන සතියේද?
අජිත් පැරකුම් ජයසිංහ
මහජන විරෝධය පාර්ලිමේන්තුව හරහා බල හුවමාරුවකට පරිවර්තනය කරගැනීමට විපක්ෂය අසමත් වී ඇත.
එසේ අසමත් වන්නේ විපක්ෂ නායකගේ පමණක් නොව විපක්ෂයේ සෑම පක්ෂයකම නායකත්වයේ අසමත්කම නිසාය.
කෙසේ වෙතත්, මේ වන විට ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයක් සඳහා මුලපුරා තිබේ. විශ්වාස භංගයට අත්සන් නොකර ගමට එන්නට එපා යයි පිටතින් නිර්මාණය කරනු ලබන ව්‍යාපාරය එතරම් ප්‍රජාතාන්ත්‍රික නැත. එසේම, එහි අවදානම් ද තිබේ. බිය නිසා මන්ත්‍රීවරුන් විශ්වාසභංගයට අත්සන් කරනු ඇද්දැයි පැහැදිලි නැත. ඒ වෙනුවට ඔවුන් ආරක්ෂාවට මුවාවෙමින් වැඩිපුර වරප්‍රසාද ලබාගැනීමට උත්සාහ කරනු ඇත.
මන්ත්‍රීවරුන් පොළඹවාගැනීම සඳහා යොදාගත යුත්තේ තර්ජනය නොව උද්දේශනයයි. එයට විපක්ෂ දේශපාලන පක්ෂ නායකත්වය දිය යුතුය. ඔවුන්ට එම නායකත්වය දීමේ හැකියාව නොමැති නම්, සිවිල් සමාජ නායකයන් ඒ වෙනුවෙන් උද්දේශනයේ යෙදිය යුතුය.
දැන් දැන් අරගලයේ ෆන් සමය අවසන් වෙමින් තිබේ. අලුත් අවුරුදු නිවාඩුව අවසන් වීමත් සමගම අරගලය දැඩි කැපවීම් අපේක්ෂා කරන තත්වයකට පත්වේ. ඒ සමගම සටන්කාමී ක්‍රියාමාර්ග ද තීව්‍ර වෙමින් තිබේ. දැනට දකින්නට ලැබෙන වැදගත්ම පියවර වන්නේ ඉදිරි සතියේදී ඇතිවීමට නියමිත සමස්ත මහා වැඩ වර්ජනයයි. විශේෂයෙන්ම සෞඛ්‍ය, බලශක්ති වැනි අංශවල වැඩවර්ජනය තීරණාත්මක තත්වයක් නිර්මාණය කරනු ඇත.
මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ හා සමගි ජන බලවේගය වැනි පක්ෂ වීදි විරෝධතා කැඳවා තිබේ.
ආණ්ඩුව උත්සාහ කරන්නේ නව කැබිනට් මණ්ඩලයක් පත්කරගෙන ඉදිරියට යාමටයි. එහෙත් එය පහසු නැත. ආණ්ඩුව ඒ තරමටම මහජනයා අතර විරෝධයට තුඩුදී තිබේ. ඉන්ධන හිඟය, විදුලිය කප්පාදුව, ජීවන වියදම ඉහළයාම මැද මහජන අවශ්‍යතා සපිරීම අසීරු වී තිබෙන තත්වයක් තුළ ආණ්ඩුවට මහජනයා බලමුළුගන්වාගැනීම පහසු නැත.
මෙම පසුබිම තුළ ආණ්ඩුව ඉල්ලා අස්වනු ඇත. නැතිනම් මර්දනයට එළඹෙනු ඇත. ඉල්ලා අස්වුවහොත්, නැවතත්, මහජන විරෝධය පාර්ලිමේන්තුව හරහා බල හුවමාරුවක් බවට පරිවර්තනය කරගැනීමට සිදුවනු ඇත.
‘ආණ්ඩුව ඉල්ලා අස්වනු!’, ‘ජනාධිපති ඉල්ලා අස්වනු!’ වැනි සටන්පාඨ ඉදිරිපත් වූ පළියට ඔවුන් ඉල්ලා වනු ඇතැයි සිතිය නොහැකිය. විශේෂයෙන්ම රාජපක්ෂ පවුල වැනි ප්‍රචණ්ඩ, දූෂිත බලවේගයක් පහසුවෙන් බලය අත්හරින්නේ නැත. මන්ද, බලය අත්හැරීම ඔවුන්ගේ අවසානය විය හැකි බැවිනි.
එබැවින් ලබන සතිය වන විට කැරැල්ල හා ආණ්ඩුව අතර තීරණාත්මක සටනක් සිදුවීමට නියමිතය. එහෙත්, එය අවසාන සටන නොවීමටත් බොහෝදුරට ඉඩ තිබේ.
මෙහිදී කැරැල්ලේ හා ආණ්ඩුවේ ශක්තීන් හා දුබලකම් පිළිබඳ තක්සේරුවක් කරගැනීම වැදගත්ය. කැරැල්ලේ ඇති ශක්තිය වන්නේ එහි තිබෙන විවිධත්වය හා සාමකාමීත්වයයි. කුණුහරුප, කට්ටඩිකං වැනි ඉතාම අදේශපාලනික දේවල සිට, සංගීතය, කලාව හරහා මහජන සරසවිය දක්වා විවිධත්වයක් එහි නිර්මාණය වී තිබේ. එම විවිධත්වය තුළ ආධිපත්‍යය පිහිටුවීමට දේශපාලනික හා අදේශපාලනික බලවේග උත්සාහ දරණ ආකාරයක් ද, එයට එම බලවේග අතරින්ම විරෝධයක් ද එල්ලවන ආකාරය දක්නට ලැබේ.
කෙසේ වෙතත්, අරගලය විසින් මෙතෙක් නිර්මාණය කර තිබෙන තත්වයන් සාධනීය වෙනස්කම්වලට ඉවහල් වී තිබේ. බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල් වැනි පොදුජන පෙරමුණු ආණ්ඩුවේ නායකයන් ඉල්ලා අස්වීම එවැනි සාධනීය ප්‍රතිඵලයි.
ඉදිරි සතියේදී ද, කැරැල්ලේ මහජන බලය පාර්ලිමේන්තුව හරහා ව්‍යවස්ථානුකූල බල හුවමාරුවක් බවට පරිවර්තනය කරගැනීමට විපක්ෂය අසමත් වේ නම් කැරැල්ලෙහි සටන්කාමීත්වය තීව්‍ර විය හැකිය. එහෙත්, කැරැල්ල තුළින් අලුත් නායකත්වයක් නිර්මාණය කරගැනීම අභියෝගයක් වී ඇති බවක් පෙනේ.
ආණ්ඩුව තවමත් මුළුමනින්ම දුර්වල වී නැත. එයට මූලික හේතුව, විපක්ෂයේ දේශපාලනික අසාර්ථකත්වයයි. ආරක්ෂක හමුදා, පොලිසිය, සිවිල් සමාජය, ඉන්දියාව හා චීනය ඇතුළු ජාත්‍යන්තර බලවේග ආදියෙහි සහාය ආණ්ඩුවට තවමත් තිබේ. 69 ලක්ෂයේ බලවේගයේ කොටසක් ද තවමත් නිහඬව තැන් තැන්වල සිටිති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතින් ඔවුන් අපේක්ෂා කරන්නේ තියුණු ප්‍රතිචාරයකි. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා තවමත් ප්‍රජාතාන්ත්‍රික සීමාවෙන් පිටතට තීරණාත්මක ලෙස පයතැබීමට කටයුතු කර නැත.
ආණ්ඩුවත්, මහජන විරෝධයත්, විපක්ෂයත් අතර දැනට පවත්නා බලතුලනය වෙනස්වන්නේ කෙසේද? ලබන සතිය ඉතා වැදගත් වන්නේ එම නිසාය.