ගොන්කම්වල මිල ගෙවන කාලය
අජිත් පැරකුම් ජයසිංහ
ශ්‍රී ලංකාවේ මේ වන විට ආණ්ඩුවක් තිබේද යන්න පැහැදිලිව පෙනෙන්නේ නැත. රජය යම් ආකාරයකට පුරුද්දට මෙන් ක්‍රියාකාරී වෙමින් තිබේ. ආණ්ඩුව ලෙස සැලකිය හැකි ජනාධිපති හා ඔහුගේ හිතවත් දේශපාලකයන් හා නිලධාරීන් ද, කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු ද, පොලිසිය හා හමුදාව ආදිය ද, සෞඛ්‍ය අංශය ද වෙන වෙනම, තනි තනිව ක්‍රියාත්මක වේ. මධ්‍යගත මෙහෙයවීමක් තිබෙන බවක් නොපෙනේ. පෞද්ගලික අංශය කෙසේ හෝ තම ව්‍යාපාර කරගෙන යන නිසාත්, වෙළඳපොල නිසාත් රට දුවයි. එහෙත්, කෙතරම් කලකටද යන්න සැක සහිතය.
රජය පවත්වාගෙන යන්නට නම්, ගත් ණය ගෙවන්නට ණය ගත යුතුය. ණය ගන්නට නම් ආර්ථිකය ණය ගත හැකි අන්දමින් කළමනාකරණය කරගත යුතුය. විදේශ සංචිත වැය කර ණය ගෙවා දැමූ විට සිදුවන්නේ අනාගත ණය ගෙවීමේ හැකියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සැකයට භාජනය වීමයි. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වන ෆිච්, ස්ටෑන්ඩඩ් ඇන් පුවර් වැනි ආයතන විසින් ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීමේ දුෂ්කරතාවක් තිබෙන රටක් ලෙස නම් කරන්නේ ඒ නිසාය. ඒකට මෙරට දේශපාලකයන් හා නිලධාරීන් ඒ ආයතනවලට බැනලා වැඩක් නැත. ඔවුන් සේවා සපයන්නේ ණය දෙන්නන් සඳහාය. ඔවුන්ගේ නිර්ණායක මත ඔවුන් ණය දෙන්නන් සඳහා ණය ලබාගන්නාගේ තත්වය කියාදෙයි. එවිට ණය පොළිය වැඩිවන්නට ඉඩ තිබේ. ගමේ ගොඩේ ගිනි පොළියට දෙන අය හා ගන්නා අය පවා මේ කාරණා දනිති. ණය ආපසු ගෙවන්නට බැරි එවුන්ට ණය ගන්නට ගියාම දහසක් කොන්දේසිවලට යටත්වන්නට සිදුවන එක සාමාන්‍ය තත්වයකි.
රටට විදේශ විනිමය ගෙන්වාගැනීමට තිබුණු මාර්ග වන විදේශ රැකියා හා අපනයන අඩපණ වී තිබේ. අපනයන බිඳවැටෙන්නට එක හේතුවක් වන්නේ පළමු කොවිඩ් රැල්ල වෙලාවේ මාස ගණනක් දිගටම රට වසාගෙන කළ විකාරයයි. සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිඳවැටිලාය. විදේශ ආයෝජකයන් එන්නේ නැති තරම්ය.
ආනයන නැවැත්වීම දේශීය කර්මාන්තවලට තරමක් දුරට හිතකර තත්වයකි. එහෙත්, දේශීය කර්මාන්තවල ගුණාත්මකභාවයේ ගැටලු හා අධික මිල ගැටලුකාරීය. උදාහරණයක් ලෙස, දේශීය කර්මාන්ත ගැන ලොකු ටෝක් දෙන කිසිදු ඇමතියෙකු හෝ නිලධාරියකු ලංකාවේ එකලස් කරන මයික්‍රෝ වාහනයක් භාවිතා කරනු ඔබ දැක නැත්තේ ඇයි? හේතුව සරලය. චීනයේ හදා ලංකාවට ගෙනැවිත් එකලස් කරන වාහනය පවා ඔවුන්ට ෂුවර් නැති නිසාය. අනෙක් පැත්තෙන්, දේශීය යයි කියන බොහෝ කර්මාන්තවල අමුද්‍රව්‍ය ආනයනයි.
කිසිවක් ආනයනය නොකර, සියල්ල දේශීයව නිෂ්පාදනය කරගෙන පරිභෝජනය කර, හැකි හැම දේම අපනයනය කර විදේශ විනිමය උපයාගන්නා අහිංසක සොඳුරු සිහිනය ජාත්‍යන්තර වෙළඳපොළේදී නම් හරියන්නේ නැත. තමන්ගේ බඩු මිලදී නොගන්නා රටකට තීරු බදු රහිතව පවා තම රටට භාණ්ඩ අපනයනය කරන්නට දෙන්නට තරම් වෙස්සන්තරලා මේ පෙරදිග ලෝකයේ නම් නැත. ලංකාවේ ප්‍රධානම අපනයන වෙළඳපොළවල් වන යුරෝපා සංගමයේ රටවල් මේ කතාව මේ වනවිටත් ලංකාවට කියා තිබේ. ජීඑස්පී ප්ලස් බදු සහනය ද ලංකාවට අහිමි වීමට ඉඩ තිබේ.
මේ අතර, එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පිරිනැමූ රු. බිලියන 89ක එම්සීසී ප්‍රදානය ද ශ්‍රී ලංකාව අහිමි කරගත්තේය. ඒ බලය ලබාගැනීම සඳහා වැපිරූ බොරු, නිර්මාණය කළ කුමන්ත්‍රණ න්‍යාය, ජනතාව ගොනාට ඇන්දූ ඇන්දීම ආදිය ආපිට කැරකුණ විදියයි. එය ඍජුව ප්‍රතික්ෂේප කරන්නට ද ආණ්ඩුවට ආත්ම ශක්තියක් තිබුණේ නැත. අන්තිමේදී ඇමරිකා එක්සත් ජනපදය එය අවලංගු කළේය. එම අවලංගුව සිදු වූ විදියෙන් ප්‍රදර්ශනය වුණේ ශ්‍රී ලංකා රජයේ අකාර්යක්ෂමතාවේ තරමයි. තීරණ ගන්නට බැරි, දැක්මක් නැති, අසාර්ථක ආණ්ඩුවක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව එයින් හෙළිදරව් විය.
මේ ආණ්ඩුව බලය ලබාගත්තේ ඊනියා ජාතික චින්තනය හා ගොඩේකම තොරොම්බල් කිරීමෙනි. දැන් ඒ ගොන්කම්වල මිල ගෙවන කාලයයි. එහෙත් වැඩිම මිල ගෙවන්නේ දේශපාලකයන් නොව, දරාගත නොහැකි බඩු මිලකට හා බදු බරකට කරගසා සිටින මහජනතාවය. ඉතිහාසයේ අඩුම ආර්ථික වර්ධන වේගය වන ඍණ 16ටත් වැඩි අගය 2020 දෙවන කාර්තුවේදී වාර්තා විය. හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙටය.