ගෝඨා ඇයි මේ තරම් ප්‍රජාතන්ත්‍රවාදී?
හේතුව සරලයි. ප්‍රජාතන්ත්‍රවාදය තමයි මේ වෙලාවෙ විපක්ෂයට ගේම දෙන්න පුළුවන් නියම ආයුදේ. විපක්ෂය මර්දනය කරන්න ගියොත් පොදු අපේක්ෂකයෙක් එන්න පුළුවන්. ඉදිරි මැතිවරණයකදී සජිත්, චම්පික, අනුර, රනිල් වෙනම ඉල්ලුවොත් රාජපක්ෂලා ගොඩ. මේ උපායමාර්ගය ඇතුළෙ ඉදිරි කාලයේදී චම්පිකගෙ නඩු වුණත් විසඳෙන්න පුළුවන්.
පවත්නා තත්වය තුළ තවදුරටත් ආණ්ඩු පක්ෂය ශක්තිමත් කරන්න බැහැ. විපක්ෂය බෙදන එක තමයි කරන්නට පුළුවන් එකම දේ. විපක්ෂයට තියෙන්නෙ මේ ලැබුණු අවස්ථාව උපයෝගී කරගෙන හැකිතරම් ශක්තිමත් වෙන්න. මගේ නිරීක්ෂණ අනුව පෙනෙන්නේ ඔවුන් එය කරමින් සිටින බවයි. විශේෂයෙන්ම, ජනතා විමුක්ති පෙරමුණත්, 43 සේනාංකයත් යම් විධිමත් ස්වරූපයකින් සංවිධාන ගොඩනගාගෙන යනවා. ඒත්, සමගි ජන බලවේගය කරන්නේ ප්‍රචාරක රැස්වීම් පවත්වන එකයි. ප්‍රචාරක රැස්වීම්වලට වඩා මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ සංවිධාන ශක්තිමත් කරගන්න එකයි.
පළාත් සභා, පළාත් පාලන වැනි මැතිවරණයකදී හැකි උපරිම ශක්තිය යොදා විපක්ෂයේ අය වෙන වෙනම තරග කරන්න ඕනැ. ඉන්පසු, ඒ ප්‍රතිඵලය මත පදනම් වෙලා සමගි වෙන්න ඕනැ. ඒ කියන්නෙ ඒ මැතිවරණයෙන් වැඩිම බලය ලැබෙන පක්ෂයට පොදු අපේක්ෂකත්වය ලබාදෙන සම්මුතියකට යන්නට ඕනැ.
පිටින් පොදු අපේක්ෂකයන් ආනයනය කිරීම නැවත සිදුනොවිය යුතුයි. එයින් සිදුවන්නේ සිරිසේන වැනි තක්කඩි, මුග්ධ, උද්දච්ඡ නායකයන් බිහිවෙන එක වෙන්නට පුළුවන්. පොදු අපේක්ෂකත්වය දැනට සාර්ථකව ප්‍රවර්ධනය කරමින් ඉන්නෙ හිටපු කතානායක කරු ජයසූරියයි. ඔහු හැර වෙනත් බාහිර පොදු අපේක්ෂකයකු බිහිවිය යුතු නැහැ.
ආණ්ඩුව කලින් ගෙදර යවන්නට පාරට එන්නය කියලා ජවිපෙත්, තවත් පක්ෂත් විවිධ භාෂාවලින් ජනතාවට කිව්වාට ජනතාව ඒකට සවන්දුන්නෙ නැහැ. උද්ඝෝෂණ, වර්ජන ආදිය මර්දනය නොකිරීමත් එයට හේතු වුණා. උද්ඝෝෂකයන් අන්තිමට වෙහෙස වුණා. අභ්‍යන්තරව සටන් පාවාදෙන තත්වයක් නිර්මාණය වුණා. සෞඛ්‍ය වර්ජනයෙදි මෙය පැහැදිලිව දකින්නට ලැබුණා. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයන් පවා නායකත්වයට පිටුපාමින් වර්ජනයට එකතු වෙද්දී ජවිපෙට අයත් හෙද සංගමය වැඩට යන්නැයි තම සාමාජිකයන්ට අණ කළා. ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළෙ සටන් දියවෙන්න ඔන්න ඔය ආකාරයට.
මේ රටේ ජනතාවට ඉදිරි කාලයේදීත් මුහුණදෙන්නට සිදුවන මූලික ගැටලුව ආණ්ඩුවේ තරම්වත් බුද්ධිමත් නායකත්වයක් විපක්ෂයේ නැතිවීමයි. රාජපක්ෂලාගෙන් මේ රටට ගැලවෙන්නට බැරිවෙන්නට එකම හේතුව ජනතාවගේ මෝඩකම විතරක් නෙමෙයි.