ණයට ගෙන පාටි දැමීමෙන් පසු අනාගතය
ඉදිරි සති දෙක තවත් අමාරුද?
අජිත් පැරකුම් ජයසිංහ
විස්තීර්ණ අරමුදල් පහසුකමක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹීමෙන් අනතුරුව දැන් ශ්‍රී ලංකාවේ අවධානය යොමුවී තිබෙන්නේ ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම කෙරෙහිය. දැනට ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඉන්දියාව මෙම සාකච්ඡා පසුගිය සැප්තැම්බර් 16දා සුහද අයුරින් ආරම්භ කළ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.
ඉන්දියාව මේ වන විට චීනය පසුකරමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්විපාර්ශ්වික ණයදෙන්නා බවට පත්වී තිබේ. මේ වසරේදී පමණක් ඉන්දියාව ශ්‍රී ලංකාවට භාණ්ඩ ණය හා මුදල් හුවමාරු ආදිය ලෙස ඩොලර් බිලියන හතරක ණය සපයා තිබේ.
ඉන්දියාව ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍යාධාර ලබා නොදෙන බවට පසුගිය සතියේ රොයිටර් පුවත් සේවය විසින් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා පැවසුවේ ඉන්දියාව හැකි සෑම ආකාරයකින්ම ශ්‍රී ලංකාවට උපකාර කරන බවයි. විශේෂයෙන්ම වැදගත් ක්ෂේත්‍රවල දීර්ඝ කාලීන ආයෝජන ප්‍රවර්ධනය කරන බව ද, මේ වන විටත් ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 3.5ක් වටිනා ඉන්දීය ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවත් ඔහු පැවසීය. එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා තිබෙන බාධක ඉවත් කරදෙන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පසුගියදා ඉල්ලා සිටියේය.
ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාව සමග නිදහස් වෙළඳ ගිවිසුමකට එළැඹෙන බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් චීනය තවමත් සුබවාදී ප්‍රතිචාර නොදැක්වීම ශ්‍රී ලංකාවට මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර අපේක්ෂා කරන පකිස්තානයට ද ගැටලුවක් වී තිබේ. චීනය සෙසු ණයහිමියන් සමග හවුලේ පොදු ණය කපාහැරීම්වලට කැමැත්තක් දක්වන්නේ නැත. ණය ප්‍රතිව්‍යූහග කිරීම වෙනුවට ණය ගෙවීම සඳහා නව ණය ලබාදීම සම්බන්ධයෙන් චීනය කැමැත්ත පළ කර තිබේ. එහෙත්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය පාර්ශ්වකරුවකු වන චීනය ණය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය සෙසු රටවලට මහත් බලපෑමක් ඇතිකරයි. සැම්බියාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී චීන එකඟතාව ලබාගැනීම සඳහා දිගු කලක් ගතවූ අතර, කෙසේ වෙතත්, අවසානයේදී චීනය එම එකඟතාව ලබාදුන්නේය. සැම්බියාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ගෙවීම පැහැර හැරියේ 2020 වසරේ කොරෝනා වසංගතය මැදයි. 2021 වන විට ඩොලර් බිලියන 17ක් විදේශ ණය ගෙවීමට තිබුණු සැම්බියාවේ ප්‍රධානතම ණය පාර්ශ්වකරු වූයේ චීනයයි. සැම්බියාව චීනයට ඩොලර් බිලියන හයක ණය ගෙවීමට තිබිණි. ණය සහන ලබාදීමේදී ණය ලබාදුන් පාර්ශ්ව සියල්ලට සමාන අන්දමින් සැලකීම අපේක්ෂා කරන නිසා එක් ප්‍රධාන පාර්ශ්වයක් වන චීනය දක්වන ප්‍රතිචාරය ඉතා වැදගත්ය.
මේ අතර, චීනයෙන් ඩොලර් බිලියන හතරක ණයක් ලබාගැනීමට ද ශ්‍රී ලංකාව සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව 2022 වසරේදී පමණක් චීනයට ඩොලර් බිලියන 1.5 – 2 අතර මුදලක් ගෙවන්නට නියමිතය. මේ වසරේ ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 7ක පමණ විදේශ ණය ගෙවීමට නියමිතව තිබිණි.
ශ්‍රී ලංකාවේ ලංකාවේ සමස්ත විදේශ ණයවලින් 10% – 20% අතර ප්‍රමාණයක් චීන ණය වේ. ලංකාව චීනයට ඩොලර් බිලියන 8ක් පමණ ණයය. ජපානය, ඉන්දියාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව ආදිය සෙසු ද්විපාර්ශ්වික හා බහු පාර්ශ්වික ණය හිමියන් වෙති.
2026 දක්වා කාලය තුළදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 25ක් ණය ගෙවිය යුතුය. ඩොලර් බිලියන 14ක පමණ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ද ආපසු ගෙවිය යුතුය. 2021 වසර අවසන් වන විට, ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණයවලින් 36.5%ක් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර බව වාර්තා විය. ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය බර ඩොලර් බිලියන 51ක් පමණ වේ යයි ඇතැම් පාර්ශ්ව විසින් ගණන් බලා තිබේ.
ශ්‍රී ලංකාව මෑතදී රටේ විදේශ ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම සඳහා සාකච්ඡා කිරීම පිණිස ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් (Lazard and Clifford Chance) නම් වන ඉහළ පෙළේ මූල්‍ය හා නීති උපදේශක සමාගමේ සේවා ලබාගැනීම සඳහා ගිවිසුමකට එළඹියේය. ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම 2023 දෙවන කාර්තුව වන විට හෝ අවසන් කරගැනීමට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වෙයි.
ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම් විවිධාකාරයෙන් සිදුකළ හැකිය. එය පහත දැක්වෙන ආකාරයේ එක් ක්‍රමයක් හෝ විවිධ ක්‍රමවල සම්මිශ්‍රණයක් විය හැකිය.
ණය ආපසු ගෙවීමේ කාලය දිගුකිරීම හෝ කල්දැමීම (moratorium)
පොරොන්දු වූ පොළී අනුපාතිකය අඩුකිරීම (coupon clipping)
ණය වටිනාකමෙහි අඩුකිරීමක් සිදුකිරීම (principal haircut)
මෙම සාකච්ඡා පහසු නැත. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය හිමියන් සියලු ණයකරුවන්ට එක හා සමාන අන්දමින් සලකන්නැයි ශ්‍රී ලංකාවෙන් ඉල්ලාසිටීමට ඉඩ තිබේ. එසේ වුවහොත්, ශ්‍රී ලංකාවට අනෙකුත් ද්විපාර්ශ්වික ණය හිමියන් ගැන මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට සිදුවනු ඇත.
ශ්‍රී ලංකාව ඉදිරියේ තිබෙන්නේ රෝස මල් ඇතිරූ මාවතක් නොවේ. ඉදිරි සති දෙක පමණක් නොව ඉදිරි දෙවසර පවා තව තවත් දුෂ්කර විය හැකිය. දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා රජය කළේ දේශීය හා විදේශීය වශයෙන් ණය ලබාගනිමින්, අකාර්යක්ෂම රජයක් නඩත්තු කරමින්, ආනයන හා නිෂ්පාදන මිලට අඩුවෙන් තෙල්, ගෑස්, විදුලිය හා ජලය ආදිය විකුණමින්, ධනවත්ම කොටස්වලට පවා සහනාධාර පුදමින්, හරිහැටි බදු ද අය නොකර පාටි දැමීමකි. මහජනතාව ද භාණ්ඩ වන්දනා කරමින්, අධි පාරිභෝජනවාදය පසුපස යමින් අඩුවෙන් බදු ගෙවමින් වැඩියෙන් රජයෙන් දේ ලබාගනිමින් සතුටෙන් සිටියහ. ඒ ක්‍රමය පවත්වාගැනීම සඳහා දේශපාලකයන්ට ඡන්දය දුන්හ. ගතානුගතික වාමාංශික පක්ෂ සමග එක්ව කිසිවක් වෙනස් කිරීමට ඉඩ නොදී බලා උන්හ. අවසානයේ අප සැමට එම ක්‍රමයේ අවසානය හමුවී තිබේ. ක්‍රමයක අවසානය අවසානයක් නොවන්නේ අලුත් ක්‍රමයකින් එය ප්‍රතිස්ථාපනය කිරීමෙනි.
ඒ වෙනස ඇති කිරීමට ‘රනිල් රාජපක්ෂ’ සමත් වේද? ධනේශ්වර විප්ලවය වළක්වන්නට පෙරටුගාමී සමාජවාදීන් සමත් වේද? ගතානුගතික වාමාංශික ජනතා විමුක්ති පෙරමුණට තිබෙන ක්‍රමය රැකගැනීමට හැකි වේද?