තෙල් මිල ප්‍රශ්නයට විසඳුම කුමක්ද?
අජිත් පැරකුම් ජයසිංහ
ආණ්ඩුව ‘අලුත්’ කැබිනට් මණ්ඩලයක් පත්කරගෙන වැඩ ඇල්ලූ හැටියේම ඊළඟ දවසේ රට පුරාම අලුත් උද්ඝෝෂණ රැල්ලක් පැනනැගුණේ ඉන්ධන මිල විශාල වශයෙන් වැඩිකිරීම නිසාය. මෙතෙක් ජනාධිපති පැන්නීමේ අරගලයේ ඉදිරියෙන් සිටි මධ්‍යම පන්තිය වෙනුවට බස් සේවකයන්, ත්‍රිරෝද රථ රියදුරන්, ධීවරයන් වැනි අලුත් පිරිස් වීදියට පැමිණි අතර උද්ඝෝෂණ තියුණු වූයේ ඒවා ඍජුවම මිනිසුන්ගේ ජීවන අරගලය සමග සම්බන්ධ වී තිබීම නිසාය.
2016 වන විට තිබුණු සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාව දිනකට තෙල් බැරල් 127,000ක් පමණ පරිභෝජනය කරයි. බැරලයක් ලීටර් 159ක් පමණ වේ. ඉන්ධන පරිභෝජනය ජනගහනයෙන් බෙදූ විට, රටේ සෑම පුරවැසියෙකුම අවුරුද්දකට තෙල් බැරල් දෙකක් පමණ පුළුස්සයි. එය ලීටර් 320කට ආසන්න වේ.
ඉන්ධන පරිභෝජනය සිදුවන්නේ සමානාත්මතා පදනමකින් නොවේ. දිළිඳු හා පහළ මධ්‍යම පන්තික ජනයා වැඩිපුර භාවිතා කරන දුම්රිය, බස්, ත්‍රිරෝද රථ, යතුරුපැදි, කුඩා හා මධ්‍යම වටිනාකම් සහිත මෝටර් රථ, වෑන්, ට්‍රැක්ටර් ආදිය ඉන්ධන පරිභෝජනය කරන්නේ අඩුවෙනි. ධනවතුන්ට හිමි සුඛෝපභෝගී වාහන ආදිය අතිවිශාල වශයෙන් ඉන්ධන පරිභෝජනය කරයි.
මේ අතර, ශ්‍රී ලංකාව ආනයනය කරන ඉන්ධනවලින් විශාල ප්‍රතිශතයක් වැයවන්නේ විදුලි නිෂ්පාදනය සඳහාය. එහිදී ද දිළින්දන් යන්තම් විදුලි පහනකින් අඳුර දුරු කරගනිද්දී ධනවතුන් වායු සමනය පමණක් නොව උත්සවාකාරී ආලෝකකරණය ද කරති.
එහෙත්, ශ්‍රී ලංකාවේ රජය රටේ සියලුදෙනාට වෙනසකින් තොරව ඉන්ධන, විදුලිය පමණක් නොව ජලය සම්බන්ධයෙන් පවා සහනාධාර ලබාදෙන පිළිවෙතක් දීර්ඝ කාලයක සිට අනුගමනය කළේය. ඉන්ධන, විදුලිය, ජලය ආදිය වැඩිපුර පරිභෝජනය කරන්නේ ධනවතුන්ය. එම නිසා සහනාධාර ද වැඩිපුර ලබාගන්නේ දිළින්දන් නොව ධනවතුන්ය. මෙම ඊනියා සහනාධාරවල ප්‍රතිඵලයක් ලෙස තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය හා ජල සම්පාදන මණ්ඩලය රටේ ප්‍රධානම පාඩු ලබන රාජ්‍ය ආයතන පහට අයත්ව තිබේ. මේ පාඩු අවසානයේදී පියවනු ලබන්නේ රජය විසිනි. රජය ඒ පාඩු පියවීම සඳහා එක්කෝ බදු මුදල් භාවිතා කරයි. මදිනම්, දේශීයව මෙන්ම විදේශ ණය වශයෙන් ද මුදල් ලබාගනියි.
ආනයනික මිලට වඩා අඩු මිලකට රට තුළ තෙල් අලවිය කිරීමට ලංකාවට තවදුරටත් හැකියාවක් නැත. මේ වන විට රජය බංකොලොත් වී හමාරය. එහෙත්, අපට ඉන්ධන අවශ්‍යය.
තෙල් මිල සඳහා මිල සූත්‍රයක් අනුගමනය කිරීම හැර අන් විසඳුමක් නැත. ආනයනික මිල+ බෙදාහැරීම් වියදම් + රාජ්‍ය බදු + ලාභය යන සූත්‍රය මත පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ආදී නිෂ්පාදනවල මිල නියම කිරීමට සිදුවේ. මෙතනදී ආනයනික මිල අඩුකරන්නට හැකියාවක් ශ්‍රී ලංකාවට නැත. බෙදාහැරීම් වියදම් අඩු කළ හැකිය. ඒ තෙල් සංස්ථාවේ අතිරික්ත සේවකයන්, නාස්තිය හා දූෂණය අවම කිරීමෙනි. උදාහරණයක් ලෙස, Ceylon Petroleum Storage Terminals LTD නම් වන කොළොන්නාව පරිශ්‍රයෙහි ආරක්ෂක නිලධාරීන් 700ක් පමණ සේවයේ යෙදී සිටිති. මේ වැඩිදෙනෙකු පසුගිය කාලයේදී විවිධ ඇමතිවරුන් විසින් බස්සන ලද අයයි. ඔවුන්ට නිසි රාජකාරියක් ද නැත. ආයතනය පාඩු ලැබුවත්, ඔවුන්ට බෝනස් පවා ලැබේ. එහෙත්, තෙල් සංස්ථාවේ ලොකුම දූෂණය සිදුවන්නේ බව්සර් බිස්නස් හරහාය. ඉංග්‍රීසීන්ගේ සමයේදී රට පුරා තෙල් බෙදාහැරීම සඳහා මධ්‍යස්ථාන පිහිටුවන ලද අතර එම ස්ථානවලට තෙල් ප්‍රවාහනය කරන්නට සැලසුම් කළේ දුම්රිය හරහාය. දැනුත් දුම්රිය හරහා එය කළ හැකිය. එහෙත්, ඒ වෙනුවට, දේශපාලකයන්, නිලධාරීන් හරහා කොන්ත්‍රාත් මත දුවන බව්සර් වෙනුවෙන් එය කරන්නේ නැත.
රාජ්‍ය බදු අයින් කරන්නට බැරිය. එහෙත්, අඩුකරන්නට පුළුවන. ඒ සඳහා රාජ්‍ය වියදම් අවම කළ යුතුය. එනම්, රාජ් අංශයේ අනවශ්‍ය සේවකයන්, නාස්තිය හා දූෂණය අවම කළ යුතුය. ඉන්ධනවලින් පිරවුම්හල් හිමියන් ලබන ලාභය එතරම් විශාල එකක් නොවන නිසා එය ඉවත් කළ නොහැකිය.
ඉන්ධන මිල ඉහළ යාමත් සමග විශේෂයෙන්ම දිළිඳු ජනයාට දැඩි දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවේ. ඔවුන්ට යම් සහනයක් දීම අනිවාර්ය අවශ්‍යතාවකි. එහෙත්, කලින් කළ සේ ඔවුන්ගේ මුවාවෙන් ධනවතුන්ට සහනාධාර ලබාදීම නොකළ යුතුය. ඉන්ධන මිල ඉහළ යාමත් සමග රටේ ජනතාව ද යම් සකසුරුවම් පැවැත්මකට හුරුවනු ඇත. අනවශ්‍ය කටයුතු සඳහා ඉන්ධන නාස්තිය අඩුවනු ඇත.