presenting budget 2021

දැක්මක් නැති ණයවැය 2021

අජිත් පැරකුම් ජයසිංහ (Read in English > lankamemo.com)

ඊයේ රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා සම්බන්ධයෙන් අපගේ අදහස් මෙහි පෙළගස්වන්නෙමු.

2021 අපේක්ෂිත රජයේ ආදායම රු. බිලියන 1,961කි. වියදම රු. බිලියන 3,525කි. පරතරය බිලියන 1,564කි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9%කි.

අයවැය යෝජනාවල තියෙන ඇත්තෙන්ම සිදුවනු ඇතැයි සිතිය හැකි එකම දෙය වන්නේ රු. බිලියන 2,900ක ඉහළ සීමාවකට යටත්ව රජය ණය ගැනීමයි. 2020 වසරේද රජය රු. බිලියන 2,650ක් ණය ගත්තේය. 2021 වසරේ ගන්නට යන ණය ප්‍රමාණය අයවැය පරතරය මෙන් දෙගුණයකට ආසන්න ණය ප්‍රමාණයකි. එසේ ණයට ගන්නා මුදල්වලින් කුමක් කරනු ඇද්ද යන්න විමසා බැලිය යුතුය.

එය සිතාගැනීම එතරම් අමාරු නැත. කොවිඩ්-19 වසංගතය සමග තවත් අවුරුදු තුනහමාරක් ජීවත් වන්නට සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී තිබෙන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි අයවැයට පසුදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවාය. 2021 වසරේදී රජය සෞඛ්‍යය වෙනුවෙන් 2019 වසරට වඩා අඩු මුදලක් වැය කරන්නට යන්නේ කොවිඩ්-19 වේගයෙන් පැති තිබියදීය.

රජය 2021 වසරේදී සෞඛ්‍යය වෙනුවෙන් වෙන් කර තිබෙන මුදල රු. බිලියන 159.57කි. එය 2020දී වෙන් කළ මුදල වන රු. බිලියන 159.48ට වඩා සුළු වශයෙන් වැඩිය. එහෙත්, 2019 වසරේදී එවකට පැවති රජය සෞඛ්‍යය වෙනුවෙන් රු. බිලියන 187ක් වෙන් කළේය.

මේ අතර, කොවිඩ්-19 අතරතුර රජය සෞඛ්‍යයට වඩා මුදලක් මහාමාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් වෙන්කර තිබේ. මහාමාර්ග ඇමති ජොන්ස්ටන්ගේත්, රාජපක්ෂවරුන්ගේ මෙගා ව්‍යාපෘතිවලත් ඉතිහාසය දන්නා ඕනෑම කෙනෙකුට ඔවුන් යන පාර පැහැදිලිය.

මේ අතර, විවිධ අයථා මාර්ගවලින් මුදල් උපයාගෙන ඒවා දේශීයව හා විදේශීයව සඟවාගෙන සිටින තම ගජමිතුරන්ට සහන සැලසීම සඳහා ආණ්ඩුව ඔවුන්ට එම මුදල් අයවැය මගින් අවස්ථාව ලබාදී තිබෙන ආයෝජන හරහා ආර්ථිකයේ ආයෝජනය කරන්නට අවස්ථාව ලබාදී තිබේ. බදු සමාවක් ලබාදීමට හා 1%ක් වැනි සුළු බද්දකට පමණක් යටත් කිරීමට සැලසුම් කර තිබේ.

2019 වසරේ බලයට පත් වූ හැටියේම දෙසැම්බර් 1දා සිට ආණ්ඩුව ධනවතුන්ට මෙවැනිම බදු සහන පැකේජයක් ලබාදුන් අතර එමගින් රු. බිලියන 550ක රාජ්‍ය ආදායම් අහිමි කරගත්තේය. උත්තේජනයක් ලෙස හැඳින්වූ එයින් ආර්ථිකයට වූ වාසිය ගැන මෙම අයවැය කතාවේ පැහැදිලි කර නැත. කෙසේ වෙතත්, චම්පික රණවක මන්ත්‍රීවරයා කියන පරිදි රටේ ආර්ථික වර්ධන වේගය නම් ඍණ අගයක් ගෙන තිබේ. පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය ඍණ 1.6ක් වීමට කොවිඩ්-19හි බලපෑමක් නැත. එකී සරල බදු ක්‍රමය දිගට පවත්වාගෙන යන බව ආණ්ඩුව පවසයි.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කර තිබෙන විදේශ සමාගම් තම ලාභය රට තුළ තම ව්‍යාපාර පුළුල් කිරීමට ආයෝජනය කරන්නේ නම් හෝ කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්නේ නම් තුන් වසරක බදු සහන ලබාදීමට රජය ගත් තීරණය ආර්ථික වශයෙන් ඵලදායීය.

ඩොලර් මිලියන 10කට වැඩි ආයෝජන සඳහා අවුරුදු දහය දක්වා බදු සහන යෝජනා කර තිබේ. කොළඹ හා හම්බන්තොට වරාය ආශ්‍රිත ජාත්‍යන්තර වෙළඳාම හා සම්බන්ධ ආයෝජන සියලු බදුවලින් නිදහස් කිරීමටද යෝජනා කර තිබේ.

මේ මොකක් කරත් ඍජු විදේශ ආයෝජන පමණක් නොව, දේශීය ආයෝජන පවා ආකර්ශනය කරගන්නට නම් රජය ආයෝජක විශ්වාසය ගොඩනගාගත යුතුව තිබේ. අපි ඒ පිළිබඳ මීට පෙර ලිපියක මෙසේ පෙන්වා දුන්නෙමු. “නිදහස් වෙළඳාමට කරන බාධා, රාජ්‍ය මැදිහත්වීම්, තහනම් කිරීම්, තහනම්කාරී ආන්තික බදු, රාජ්‍ය හා හමුදා බිස්නස්, ප්‍රායෝගික නොවන මිල පාලන ගැසට් ආදිය මැද බදු සහන පමණක් දීමෙන් පෞද්ගලික අංශය නැංවිය නොහැකිය. ආයෝජක විශ්වාසය ගොඩනගාගැනීම අවශ්‍යය. මේ වන විට ඍජු විදේශ ආයෝජන අවම වී තිබේ. දේශීය ආයෝජකයන් තුළ පවා රජය කෙරෙහි විශ්වාසය අවමය. ප්‍රතිපත්තිවල අවිනිශ්චිතභාවය හා සාක්ෂි මත පදනම් නොවූ පටු ජාතිකවාදී ප්‍රවේශයන් ප්‍රධාන හේතුවකි.”

කෙසේ වෙතත්, නැනෝ තාක්ෂණය හා සම්බන්ධ පර්යේෂණ හා සංවර්ධන කටයුතු, වටිනාකම් එකතු කිරීම, නැව් හා බෝට්ටු සෑදීමේ කර්මාන්ත ආදියට දුන් බදු සහන එම ක්ෂේත්‍ර දිරිගන්වයි.

මත්පැන්, සිගරැට්, දුරකථන සේවා, සූදු, මෝටර් රථ වැනි රජයට වැඩි ආදායම් ලබාදෙන බදු තවත් වැඩිකරනු ඇති බවට ඉඟියක්ද අයවැය යෝජනා අතර තිබිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිලිටරි ධනවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක වියදම්වලට අතිරේකව රු. බිලියන 20ක් ත්‍රිවිධ හමුදා සඳහා වෙන් කර තිබේ.

අයවැයෙන් කහ පමණක් නොව ඉඟුරු ආනයනයද තහනම කර තිබේ. කහ හා ඉඟුරු ආනයනය නතර කිරීමෙන් රටේ විශාල ආර්ථික වර්ධනයක් සිදුවනු ඇතැයි ආණ්ඩුව සිතනවා විය යුතුය. නැතිනම් අයවැය යෝජනාවලින්ම ඉඟුරු ආනයනය තහනම් කරන්නට හේතුවක් නැත.

නඩු කල්යාමට විසඳුම් ලබාදීම සඳහා අධිකරණ අමාත්‍යාංශයට රු. බිලියන 20ක් ලබාදීම ද හොඳ දෙයකි.

වතු කම්කරු වැටුප රු. 1,000 දක්වා වැඩිකිරීම රජයේ වතු සම්බන්ධයෙන් දැනටත් කර තිබේ. පෞද්ගලික අංශයේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා රජය එම සමාගම්වලට බල කළ යුතුය. නැතිනම් ආධාර කළ යුතුය.

ක්‍රියාත්මක වෙනවා නම් හොඳ යෝජනා අයවැයෙහි තිබේ. ඕනෑම අයවැය යෝජනාවලියක එවැනි පොරොන්දු තිබිණි. එහෙත්, ඒවායින් බහුතරය ක්‍රියාත්මක වූයේ නැත. මෙම අයවැයෙහිද කිසිදු විශේෂත්වයක් නැත. එහි සැලකිය යුතු ආර්ථික දැක්මක්ද නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *