නොවැම්බර් 17න් පසු ලංකාව

අජිත් පැරකුම් ජයසිංහ (නොවැම්බර් 13දි නිකුත් වූ, නොවැම්බර් 17දා අනිද්දා පුවත්පතේ පළ කරන ලද ලිපියකි)

සාර්ථක ජනාධිපතිවරණ ප්‍රචාරණ ක්‍රියාමාලා දෙක තුනක අවසානයේ ජනාධිපතිවරණය තියුණු තරග වටයකට පිවිසෙමින් ප්‍රචාරණ ව්‍යාපාර අවසන් විය. සජිත් ප්‍රේමදාස, ගෝඨාභය රාජපක්ෂ සහ අනුර කුමාර දිසානායක සාර්ථක ප්‍රචාරණ ක්‍රියාමාලා දියත් කළ අපේක්ෂකයෝ ය. සෙසු අපේක්ෂකයන් අතර ඇතැමෙකු ප්‍රධාන අපේක්ෂකයන්ට අමතර අවස්ථා ලබාගැනීම පිණිස දමන ලද ඉත්තෝ ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කරන ලද ප්‍රචාරණ ක්‍රියාමාලාවේ අරමුණ වන්නට ඇත්තේ තමන් සුළුතර සුවිශේෂ පිරිසක් බව පෙන්වීම විය හැකි ය. ජවිපෙ ද තමන් සුවිශේෂ පිරිසක් බව නිතර නිතර අවධාරණය කළ හ. අනෙක් පක්ෂ දෙකේ ක්‍රියාමාලාවල උද්‍යෝගය එළිපිට ම පෙනෙන්නට තිබිණි. ඒවාට අති විශාල ජනකායන් උනන්දුවෙන්, සතුටින්, විනෝදයෙන් රැස්වන ආකාරය දකින්නට ලැබිණි. විශේෂයෙන් ම සජිත් ප්‍රේමදාසගේ රැළිවල බොහෝ අය බලාපොරොත්තු වූවාට වඩා විශාල ජනකායන් දක්නට ලැබිණි.

Translations

සජිත් ප්‍රේමදාස සිය රැස්වීම්වලදී වැඩිපුර ආමන්ත්‍රණය කළේ දිළිඳු, ගැමි ජනයාට ය. ඔහු ව්‍යාපාරිකයන් හමු වූ විට චතුර ඉංග්‍රීසියෙන් දැනුම මත පදනම් වූ කතා පවත්වනු දක්නට ලැබිණි. එහෙත්, ඔහු රැස්වීම්වලදී කතා කළ විලාසය සම්බන්ධයෙන් බුද්ධිමත්, මධ්‍යම පන්තික කොටස් අතර විවේචන තිබිණි. කෙසේ වෙතත්, සජිත්ගේ රැස්වීම්වලට එන්න එන්න ම ජනතා ආකර්ශනය වැඩි විය. සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් මතු වූ කතිකාව මෙම දේශපාලන ක්‍රියාමාලාවේ ඉතාම ප්‍රගතිශීලී හා ඵලදායී ප්‍රතිඵලය ලෙස සැලකිය හැකි ය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කළේ ධාවන පථයේ බොහෝ ඉදිරියෙන් සිටිමිනි. එහෙත්, එම ප්‍රචාරණ ක්‍රියාමාලාව ඕනෑවට වඩා දිග්ගැසුණු, අපේක්ෂකයා අධික ලෙස වෙහෙසට පත් කළ, අවසානයට එන විට ඇල් මැරුණු ස්වභාවයක් පෙන්වූ එකකි. මේ ලියන මොහොත දක්වා ම ගෝඨාභය ද්විත්ව පුරවැසියකු ය යන සැකය මතුකරමින් තිබිණි. ඔහු හා ඔහුගේ නීතීඥයන් විසින් ඉදිරිපත් කරන ලද සාධක සම්බන්ධයෙන් ගැටලු තවදුරටත් නොවිසඳී තිබිණි. ඔහුගේ පුරවැසිභාවය ඉවත් කරගැනීමේ ඉල්ලීම ඇමරිකා එක්සත් ජනපද රජය විසින් පිළිගත්තා ද නැද්ද යන්න අපැහැදිලි ය.

ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමේදී නිසි පටිපාටිය අනුගමනය නොකිරීම ඔහු විසින් කරන ලද මූලික වරද බව පෙනේ. ඕනෑම අයෙකුට ඉතා සාමාන්‍ය පරිදි කළ හැකිව තිබුණු මෙම කාර්යය නිසි අන්දමින් කරගැනීමට ඔහු අසමත් වී තිබෙන්නේ ඔහුගේ සහෝදරයාගේ බලය ගැන අධි විශ්වාසයක් තැබූ හෙයිනි. ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා ඔහු සාමාන්‍ය පටිපාටිය අනුගමනය කර ඇති බවක් චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසින් පවරන ලද නඩුවෙන් ද ඔප්පු වූයේ නැත. එම නිසි පටිපාටිය අනුව ඉදිරිපත් කළ යුතුව තිබෙන ලේඛන ඇමරිකාවෙන් ලබා නොගැනීම නිසා ඇතැම් විට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමේදී එය නියමානුකූලව විකසනය වීමේ ප්‍රමාදයක් ඇති වූවා ද යන සැකය මතු වේ. කෙසේ වෙතත්, මෙය වනාහි අනවශ්‍ය ප්‍රශ්නයක් තමන් විසින් ම නිර්මාණය කරගැනීමකි. මෙම කරුණු නිසි පරිදි සිදුකරගැනීමේ කිසිදු බාධාවක් ඔහුට තිබුණේ නැත. එසේ තිබියදීත් ඒවා හරි හැටි සිදු වී නැතැයි කෙනෙකුට චෝදනා කළ හැකි තත්වයක් ඉතිරි වී තිබීම කණගාටුදායක ය.

කෙසේ වෙතත්, නොවැම්බර් 16 දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමේ හැකියාව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස යන දෙදෙනාගෙන් එක් අයෙකුට පමණක් බව ඉතා පැහැදිලි ය. අනුර කුමාර දිසානායක මිලියනයක ඡන්ද ලබාගත්තත් එය ජාතික ජන බලවේගයට ඉදිරි මහ මැතිවරණයකදී වාසිදායක වනු ඇත. එහෙත්, ඔවුන් ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව ඊට අඩු වුවහොත් මහ මැතිවරණයකදී අලුත් උපායමාර්ග කරා යාමට ඔවුන්ට සිදු වනු නියත ය.

ජනාධිපතිවරණය නිමා වූ සැණින්, පරාජිත පක්ෂය තුළ දරුණු අර්බුදයක් ඇති වනු නිසැක ය. කැඩී, බිඳී විසිරීම් සමග ජයග්‍රහණය කළ පක්ෂයට මහ මැතිවරණයේදී විශාල වාසිදායක තත්වයක් නිර්මාණය වේ. අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට කුමන ජනාධිපතිවරයකු වුව උත්සාහ කිරීමට ඉඩ තිබේ. එහෙත්, එමගින් ඔක්තෝබර් 26 අර්බුදය වැනි දිග්ගැසුණු අර්බුදයක් නිර්මාණය වේ යයි සිතිය නොහැකි ය. බොහෝ විට, කල් තබා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ යෝජනාවකට පවා අවස්ථාව ලැබෙනු ඇත. මේ රටේ ජනතාව දේශපාලන අස්ථාවරත්වය එපා වී සිටින නිසා ජනාධිපති අයත් පක්ෂයට වැඩි බලයක් ලබාදීමට කටයුතු කරනු ඇත. එහෙත්, ශක්තිමත් විපක්ෂයක් නොමැති වීම බරපතල ගැටලුවක් වනු ඇත. ශක්තිමත් විපක්ෂයක් යන සටන් පාඨය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පුළුල් බලවේගයකට වඩා වාසිදායක වනු ඇත.

ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළත්, සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කළත්, ඔවුන් හමුවේ ඇත්තේ තියුණු අභියෝගයකි. මූලික ම විලංගුව වන්නේ ණය බරයි. මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව සමයේ ලබාගෙන තිබෙන ණය ගෙවා නිම කිරීමට 2025 දක්‌වා කල් ගතවනු ඇතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර 2018 ඔක්තෝබර් 26දා සක්‍රීය වගකීම් කළමනාකරණ පනත පිළිබඳ විවාදයේදී පාර්ලිමේන්තුවේදී පැවසී ය. 2019 හා 2020 ගෙවිය යුතු ණය ප්‍රමාණය සියයට 77ක්‌ම රාජපක්‍ෂ රජය ගත් ණය බව ද 2019 දී ඩොලර් බිලියන 4285 ක ණයක්‌ ගෙවිය යුතු බව ද ඉන් සියයට 77ක්‌ රාජපක්‍ෂ සමයේ ගත් ණය බව ද 2020 සිට 2024 දක්වා ගෙවිය යුතු ණයවලින් වැඩි ප්‍රතිශතයක්‌ රාජපක්‍ෂ සමයේ ණය බව ද 2025 දී නම් රාජපක්‍ෂ සමයේ ණය සියයට 33 දක්‌වා අඩු වන බව ද ඔහු එදා පැවසී ය. ණය ක්‍රීඩාව යනු පරිස්සමෙන් සෙල්ලම් කළ යුතු එකකි. ණය නොගෙන රට සංවර්ධනය කළ නොහැකි ය. එහෙත්, ණය ගන්නා විට ආපසු ගෙවිය යුතු බව ද සිහි තබාගත යුතු ය. මහින්ද රාජපක්ෂ රජය ඒ වගකීම දැරූ බවක් නොපෙනේ. ඔවුන් විසින් ආයෝජනය කරන ලද ආර්ථික වශයෙන් ඵලදායී නොවන ව්‍යාපෘති වෙනුවෙන් ගත් ණය ගෙවීම ඉදිරි ආණ්ඩුවකට ද හිසරදයකි.

Translations by Creative Content Consultants

එවැනි වාතාවරණයක් තුළ, ජනාධිපති අපේක්ෂකයන් විසින් දෙන බොහෝ පොරොන්දු ඉටුකිරීමට හැකියාවක් ආණ්ඩුවට ලැබෙන්නේ නැත. මූලික පොරොන්දුවක් වන බදු බර අඩු කිරීම කිසි සේත් ම කළ හැක්කක් නොවේ. දැඩි රාජ්‍ය මුල්‍ය විනයකින් තොරව, ජනප්‍රියත්වය උදෙසා ක්‍රියාමාර්ග ගතහොත්, එයින් ආර්ථිකයට ඇති වන පීඩනය තුලනය කිරීම අති දුෂ්කර ය. පවත්නා තරගකාරී වටපිටාව තුළ ආයෝජකයන් ආකර්ශනය කරගන්නට නම් ඔවුන්ට අති විශාල වරප්‍රසාද ලබාදීමට සිදු වේ. වාර්ගික සමගිය ආරක්ෂා කරගැනීම ද ආයෝජකයන්, සංචාරකයන් ආකර්ශනය කරගැනීමේදී ඉතා වැදගත් ය. කුමන පාලකයෙකුට වුව ද අනිවාර්යයෙන් ජාතිවාදී අන්තවාදයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වනු ඇත. එසේම, රාජ්‍ය සේවය සම්බන්ධයෙන් දැඩි හිසරදයක් වී තිබෙන වැටුප් විෂමතා ප්‍රශ්නය සම්බන්ධයෙන් ද ක්‍රියාමාර්ග ගැනීමට හා රාජ්‍ය විනය ඇතිකිරීමට සිදු වනු නිසැක ය.

කුමන නායකයා බලයට පත්වුණත්, ඉදිරි වසර පහක කාලය තුළ ජනතාව අතර සුවිශාල ජනප්‍රියත්වයක් දිනාගැනීමේ හැකියාව ආණ්ඩුවට නැත. දේශපාලක විනය ඔස්සේ මහජන විනයක් ගොඩනගා ගැනීමට ජනාධිපතිවරුන් උත්සාහ කළ යුතු ය. අර්බුදකාරී සමය පියමං කරගැනීමට මහජන සහයෝගය බලමුළුගන්වා ගත යුතු ය.

එහෙත්, රාජපක්ෂවරුන් බලයට පැමිණියහොත් තත්වය බොහෝ වෙනස් වනු වැළැක්විය නොහැකි ය. මූලික වශයෙන් ම, ගෝඨාභය රාජපක්ෂගේ සිට ම රාජපක්ෂ පවුලේ අයට හා හිතවතුන්ට එරෙහිව පවතින නඩු හමුවේ අධිකරණ ස්වාධීනත්වය බරපතල ප්‍රශ්නයක් වනු ඇත. පසුගිය වසර පහ තුළ නීති මගින් යම් දුරකට ශක්තිමත් වූ රාජ්‍ය ආයතන පද්ධතිය ද ඔවුන්ට ප්‍රශ්නයක් වනු ඇත. මතු වන අභියෝගවලට ගෝඨාභය රාජපක්ෂ නායකත්වය දෙන ආණ්ඩුවක් ප්‍රතිචාර දක්වන ආකාරය අනුව එහි සත්‍ය දිශානතිය තීරණය වනු ඇත. එය පුරෝකථනය කිරීමට තවමත් කල් වැඩි ය. එහෙත්, එය බොහෝ අන්තයන් කරා ගමන් කිරීමේ විභවය සහිත බලවේගයකි. එහි තිබෙන අභ්‍යන්තර ආන්තික විභවයන් කළමනාකරණය කරගැනීම ම දැඩි අභියෝගයකි.

අනෙක් පැත්තෙන්, ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර නියෝජනය කරන්නෙකු වුව ද, සජිත් ප්‍රේමදාස ද කලින් පැවති ආණ්ඩුවේ නායකත්වයට වඩා හාත්පසින් ම වෙනස් පෞරුෂයක් බවට පත් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. කුමන තත්වයක් යටතේ වුව, ලංකාව පාලනය සම්බන්ධයෙන් සුසමාදර්ශීය වෙනසකට ලක් වන බව නම් නිසැක ය. ඉදිරි පස් වසරක කාලය තුළ, ජාතික ආරක්ෂාවේ නාමයෙන් මහජන විනය ද, සංවර්ධනයේ නාමයෙන් වැඩි වැඩියෙන් ආර්ථික ලිබරල්කරණය ද ඉදිරියට එනු ඇත. ජාතිකවාදයට හා ආගම්වාදයට තවදුරටත් සිදු වන විකෘති අධ්‍යයනය කිරීම රසවත් වනු ඇත. පුරවැසියන් ලෙස අපගේ පාර්ශ්වයෙන් අසුබවාදී නොවන දැක්මක් හා සක්‍රිය මැදිහත් වීමක් අනිවාර්යයෙන් අවශ්‍ය වනු ඇත.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා බලය බෙදාගැනීම වැනි සටන් පාඨ මෙවර ජනාධිපතිවරණ වේදිකාවේ ශක්තිමත්ව ඇසෙන්නේ නැත. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ම විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතික්ෂේප කරන්නන් නොවේ. එහෙයින්, 2025දී ද ජනාධිපතිවරණයක් පැවැත්වෙන හෙයින්, උන්නතිකාමී බලවේග දැන් සිට ම සිය ක්‍රියාමාලා ආරම්භ කිරීම නරක නැත.

(කවරයේ ඡායාරූපය 2004 සුනාමියෙන් පසු උනවටුණ ප්‍රදේශයේදී මවිසින් ගන්නා ලද එකකි. දකුණු වෙරළෙන් ගොඩබැස, කොග්ගල වාඩි ලාගෙන සහන කටයුතුවල යෙදී සිටි ඇමරිකන් හමුදාවට සුබ පතනු පිණිස දකුණේ වැසියකු ඇමරිකානු ධජය එසවූ හැටි එහි දැක්වේ.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *