cartoon-Chandragupta

පුරවැසිභාවය සමග සෙල්ලං

අජිත් පැරකුම් ජයසිංහ (2019 ඔක්තෝබර් 6දා ලංකා පුවත්පතට ලියන ලද ලිපිය) (මෙම ලිපියත් කියවන්න:ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය ඓතිහාසික තීන්දුවකට මග පාදයි )

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතු වී තිබේ. ප්‍රකට සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් දෙපලක් වන චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසින් ගොනු කර තිබෙන එම නඩුවෙහි ඉතා නිරවුල් ලෙස ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසිභාවය ලබාගත් ආකාරය ප්‍රශ්න කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ විධිමත් අන්දමින් ශ‍්‍රී ලාංකික ද්විත්ව පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින් ඔහු සතුව ඇති ශ්‍රී ලාංකික ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන්නට සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් විසින් ඉල්ලා තිබිණි. ඔක්තෝබර් 2දා නඩු විභාගයේදී ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ කිසිදු ලිපි ගොනුවක් තමන් සතුව නොමැති බව ආගමන විගමන පාලක ආර්.එම්.පී.එස්.බී. රත්නායක අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

(ලිපිය දැන්වීමෙන් පසු)
Translations by Creative Content Consultants

මෙම සටහන පළ වන දිනය වන විට ඒ සම්බන්ධ නඩුවෙහි යම් තීන්දුවක් හෝ නඩුව කල් යාමක් හෝ සිදු වී තිබිය හැකි ය. කෙසේ වෙතත්, මෙහි තිබෙන ආචාරධාර්මික ගැටලුව කුමන තීන්දුවකින් හෝ විසඳී අවසන් වන්නේ නැත. ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් 2005 නොවැම්බර් 18 හා 2015 ජනවාරි 8 අතර කාලයේ හෝ ඉන් පසුව වුව ද තිබුණේ නැත. ඒ සඳහා විධිමත් ආකාරයෙන් ක්‍රියා කිරීමේ කිසිදු අපහසුවක් ඔවුන්ට නොතිබිණි. ඔවුන් එසේ නොකළා නම්, එයට හේතුව, බලයෙන් අන්ධ වී නීතිය නොතකා කටයුතු කිරීම විය යුතු ය. එය හරි හැටි කර නොමැති නම්, එහි ඇත්තේ බරපතල නොසැලකිල්ලක් හා වගකීම් විරහිතභාවයකි. එය ම ජනාධිපති ධුරයට ආචාරධාර්මිකව නොසුදුසුකමකි.

පුද්ගලයකුට තම ජාතිය අතහැර දැමීමට තිබෙන අයිතිය විශ්ව මානව හිමිකම් ප්‍රකාශයෙන් ද සහතික කර තිබේ. ඒ අනුව, ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අතහැර ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබාගැනීම හෝ එම පුරවැසිභාවය අතහැර ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගැනීම හෝ කිසිදු ගැටලුවක් නැත. එහෙත්, මෙවැනි මූලික කාරණා සම්බන්ධයෙන් පුරවැසියන් දැඩි ලෙස වගකීම් සහගත විය යුතු ය.

එම ප්‍රශ්න කිරීම ආචාරධාර්මික නොවේ යයි බොළඳ තර්කයක් ඇතැමෙක් ඉදිරිපත් කරති. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමේ චේතනාවක් එහි තිබිය හැකි ය. එහෙත්, එම ප්‍රශ්න කිරීමෙහි වරදක් නැත. එසේ ප්‍රශ්න කරන්නට පුරවැසියන්ට ශක්තිය ලැබීමෙන් ම මහින්ද රාජපක්ෂ පාලනයෙන් පසු යුගයේ වෙනස සලකුණු කරන්නකි.

ජනාධිපති අපේක්ෂකයකුගේ පුරවැසිභාවය ප්‍රශ්න කරන ලද පළමු අවස්ථාව මෙය නොවේ. 2010 වසරේ ජනාධිපතිවරණයට තරග කළ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා එවකට ඇමරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියකු විය. ද්විත්ව පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ මැතිවරණවලට තරග කිරීමට බැරි නීතිමය ප්‍රතිපාදනයක් එම වකවානුවේ තිබුණේ නැත. එහෙත්, සරත් ෆොන්සේකා තම නම කිසිදු ඡන්ද හිමි නාම ලේඛනයක ලියාපදිංචි කර නොතිබුණ බැවින්, තමන් තරග කළ ජනාධිපතිවරණයේදී ඡන්දය දීමේ අවස්ථාව ඔහුට ලැබුණේ නැත. ජනාධිපතිවරණය පැවැත්වුණු 2010 ජනවාරි 26 දින උදේ සිට එදා මහින්ද රාජපක්ෂලා, ගෝඨාභය රාජපක්ෂලා අයත් වූ දේශපාලන කඳවුර විසින් සරත් ෆොන්සේකාගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් දැවැන්ත ප්‍රචාරයක් ගෙන යන ලදී. පුරවැසියකු නොවන පුද්ගලයකුට ජනාධිපතිවරණය ජය ගත්තත් තනතුර හිමි නොවන බැවින් ඔහුට දෙන ඡන්දය අපතේ යන බව රාජ්‍ය මාධ්‍ය විසින් දිගින් දිගට ප්‍රචාරය කරන ලදී. එය වැළැක්වීමට අවසානයේදී එවකට මැතිවරණ කොමසාරිස්වරයාට මාධ්‍ය ආයතනවලට අවවාද කරන්නට සිදු විය.

යම් ආකාරයකට මේ හා සමාන ගැටලුවකට 2005 ජනාධිපතිවරණය ආසන්නෙයේදී මහින්ද රාජපක්ෂට ද මුහුණ දෙන්නට සිදු විය. 2004 දෙසැම්බර් 26 සුනාමි ආපදාවෙන් පසු, ජාතික සහන අරමුදලට ජාත්‍යන්තර ආධාරකරුවන් විසින් එවන ලද මුදල් අගමැති මහින්ද රාජපක්ෂ විසින් හෙල්පිං හම්බන්තොට නම් පෞද්ගලික ගිනුමකට බැර කිරීමෙන් රු. අට කෝටි තිස් ලක්ෂයක් පිළිබඳ විශ්වාසය කඩ වුණේ ය යන පදනම මත එවකට ඇමතිවරයකු වූ කබීර් හෂීම් විසින් කරන ලද පැමිණිල්ලක් මත එකල රහස් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කරන ලදී. එකල අග්‍රාමාත්‍ය ලේකම් වූ ලලිත් වීරතුංගගෙන් පැය පහක් ප්‍රශ්න කරන ලදී.  

මෙම පරීක්ෂණය ඔස්සේ සිය මානව හිමිකම් කඩ වන්නේ යයි රාජපක්ෂ අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පරීක්ෂණය අත්හිටුවන ලදී. මහින්ද රාජපක්ෂගේ පෙත්සමේ වගඋත්තරකරුවන් වූ පොලිස්පති චන්ද්‍රා ප්‍ර‍නාන්දු, නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක හා කබීර් හෂීම්ට රු. ලක්ෂය බැගින් වන්දි ද පැමිණිලිකරු වන මහින්ද රාජපක්ෂට ගෙව්වේ ය. රජය රු. ලක්ෂ දෙකක් ඔහුට ගෙව්වේ ය. 

එකල අග්‍ර විනිශ්චයකාරයා නම් සරත් නන්ද සිල්වා ය. එම තීන්දුව දුන් විනිසුරු මඬුල්ලේ ඔහු, ශිරානි තිලකවර්ධන සහ එන්.ඊ. දිසානායක සාමාජිකයෝ වූ හ. එසමයේ ජනාධිපතිවරණයට තරග කරමින් සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුව ජනාධිපතිවරයා ද, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ද, අධිකරණය විසින් අත්හිටුවන ලද අගමැති ධුරයක ද සිට දැන් විපක්ෂ නායක ද වී තිබේ. සරත් නන්ද සිල්වා පසු කලෙක ප්‍ර‍සිද්ධ රැස්වීමකදී මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේ ය.

විප්ලවීය දේශපාලනයේදී ඇතැම් විට පුරවැසිභාවයට අභියෝග කරන්නට මිනිසුන්ට සිදු වේ. 1989 මර්දනය හමුවේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සෝමවංශ අමරසිංහ මුහුදු මාර්ගයෙන්, ආරක්ෂාව සඳහා රටින් පළාගොස්, යුරෝපයේ දේශපාලන රැකවරණ ලබාගත්තේ ය. තවත් බොහෝ පිරිස්වලට ද එසේ කරන්නට සිදු විය.

තිස් අවුරුදු යුද්ධයේදී දෙමළ කැරැලිකරුවන් හා දෙමළ පුරවැසියන් විශාල පිරිසක් ශ්‍රී ලාංකික පුරවැසි අනන්‍යතාව අතහැර දමමින් වෙනත් රටවල දේශපාලන රැකවරණ හෝ පුරවැසිභාවය ලබාගත් හ. ඒ අතරින් කේපී හෙවත් කුමරන් පත්මනාදන් විශේෂ පුද්ගලයෙකි. ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ නායකත්වයට පත් කරන ලදැයි වාර්තා වූ ඔහු මැලේසියාවේ සිටියදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන රැගෙන ආවේ ද ආගමන විගමන නීතිවලට අනුකූලව නොවේ. ඔහු පාස්පෝට් ගණනාවක් භාවිතා කළ, කුමන රටක පුරවැසියකු ද යන්න කිව නොහැකි ජාත්‍යන්තර ත්‍රස්තවාදියෙකි. එහෙත්, ඔහුට එරෙහිව පවා ශ්‍රී ලංකාව නීතිය ක්‍රියාත්මක කළේ නැත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුනරත්නම් ද මෙවැනි අභියෝගයකට මුහුණ දුන් අයෙකි. කිසියම් හේතුවක් මත වෙනත් නමකින් ලබාගත් ගමන් බලපත්‍රයකින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී එහි පුරවැසිභාවය ලබාගන්නට පවා සමත් වන ඔහු පසු කලෙක ලංකාවේ පුරවැසිකම නැවත ලබාගන්නේ නිතිය හමුවේ දඬුවම් ද ලැබීමෙන් පසුව ය. නීත්‍යානුකූලව නම්, සිර දඬුවමෙන් අනතුරුව කුමාර් ගුනරත්නම් රටින් පිටුවහල් කළ හැකි විය. හේතුව ඔහුට නඩු පවරා තිබෙන්නේ වීසා කාලය අවසන් වී රටේ නීති විරෝධීව රැඳී සිටි විදේශිකයකු ලෙස සලකා ය. එහෙත්, රජය එසේ නොකර ඔහුට ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබා දුන්නේ ය.

කොටි සංවිධානයෙන් කැඩී යාමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී මේ අන්දමින් ම බ්‍රිතාන්‍ය ආගමන නීති උල්ලංඝනය කළ කරුණා අම්මාන් මෙවැනි සිර දණ්ඩනයකින් පසුව බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන ලදී.

විමල් වීරවංශට ද උප්පැන්න සහතිකය වෙනස් කිරීම පිළිබඳ චෝදනාවක් එල්ල විය. එහිදී ඔහුගේ අවශ්‍යතාව ඉතා බොළඳ එකක් බව පෙනේ. සිය බිරිය තමන්ට වඩා වයසින් වැඩි බව සඟවාගැනීමට ඔහු ව්‍යාජ උප්පැන්න සහතිකයක් සකසා ගත් බව පෙනේ.

පුද්ගලයකුගේ පුරවැසිභාවය යනු එම පුද්ගලයාගේ ලෝකවාසී අනන්‍යතාව සහතික කරන සාධකයකි. ජාතික වශයෙන් භූමි සීමා නිර්ණය වී තිබෙන වර්තමාන ලෝකයේ පුද්ගලයා හිමි රට, එම පුද්ගලයා සම්බන්ධ වගකියන රාජ්‍යය, පුද්ගලයාගේ පුරවැසි හිමිකම් හා වරප්‍රසාද ආදී සියල්ල පුරවැසිභාවය මත රඳා පවතී. විවිධ හේතු නිසා ලොව පුරා පුද්ගලයන් මිලියන 12ක් රටක් නැති මිනිසුන් බවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසයි. පුරවැසිභාවය සමග සෙල්ලම් කරන්න එපා. පාඩම එයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *