මාලිමාවට මා කැමති එක් හේතුවක් තමයි රථගාය හොඳ කිරීම
අජිත් පැරකුම් ජයසිංහ
වාහන ආනයනය නැවැත්තුවට රජය තීරු බදු රහිත වාහන ආනයන බලපත්ර නිකුත් කරන එක නැවැත්තුවෙ නැහැ. දැන් දේශපාලකයන් හා රජයෙ නිලධාරි දත මැදගෙන ඉන්නෙ එකතු කරගත් බලපත්ර විකුණන්න. සමහරුන් ගාව බලපත්ර දෙක තුන තියෙනවා.
දැන් වාහන ආනයනය කරන්න දුන්නොත් රටේ ඩොලර් ටිකත් පිටරට. රජයටබදු ආදායමත් නැහැ. තෙල් ආනයන වියදමත් වැඩිවෙනවා. රට නැවත ආර්ථික අර්බුදයකට යනවා.
ඉස්සර මේ බලපත්ර දුන්නෙ වාහනය වෙන කෙනෙකුට පවරන්නට බැරි විදියට. මතක තියාගන්න, මේ නීතිය වෙනස් කරන්නට නීති සම්පාදනය කළේ පරිපාලන නිලධාරීන්. උන් දේශපාලකයන්ට වඩා දූෂිතයි. දැන් ඔය දූෂිතයන්ව පරසක්වළ ගහන්නට හයියෙන් කතා කරන ඇතැම් හිටපු නිලධාරීන් ඔය වාහන බලපත්ර විකුණාගත්ත විතරක් නෙමෙයි, අන්තිමට පාවිච්චි කරපු රජයේ වාහනය මහජන මුදලින් රෙපෙයාර් අරව මේවත් ඔක්කොම කරගෙන ගෙදර ගෙන ගියපු නීතියේ සිදුරුවලින් රිංගපු දූෂිතයො. රට බංකොලොත් වුණේ උන්ගෙ කෙරුවාව නිසා.
පීපී කරන දොස්තරලා වැනි අය හැර පළමු තීරු බදු රහිත වාහන ආනයන බලපත්රය ලැබෙන රජයේ අලුත් නිලධාරීන් බොහෝ දෙනෙකුට මේ බලපත්රයෙන් වාහන ආනයනය කරගන්නට මුදල් නැහැ. ඒ නිසා ඔවුන් කරන්නෙ ඒක වාහන සේල්කරුවෙකුට විකුණලා පොඩි කාර් එකක් අරගන්න එක. සමහරු ඒකෙන් ගානක් පොතෙත් දාගන්නවා.
මා මාලිමාවට කැමති එක හේතුවක් මේ ගැටලුව විසඳන්නට පැහැදිලි යෝජනාවක් ඔවුන් ඉදිරිපත් කර තිබෙන එකයි. පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට පොදු වාහන සංචිතයක් නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ ‘අර්බුදය ජයගැනීමට කඩිනම් ප්රවේශයක්’ ප්රතිපත්ති ප්රකාශනයේම සඳහන් වෙනවා. දේශපාලකයන්ටත් එහෙම නම් ඔය කාර් පර්මිට් අතේ තියාගෙන ඉන්න නිලධාරීන්ට සොරි ඩොට් කොම් තමයි. ඔවුන්ටත් වාහන සංචිතයක් නිර්මාණය කර දිය යුතුයි. දැනටත් ඔවුන් වැඩි දෙනෙකු රජයේ වාහන සංචිතයම තමයි පාවිච්චි කරන්නෙ.
මාලිමාවේ මේ ප්රවේශය වැනි නිර්භීත ප්රවේශයක් වෙන කිසිම දේශපාලන පක්ෂයක ප්රතිපත්ති ප්රකාශයක නැති බවත් කිව යුතුයි.