මිථ්‍යාදෘෂ්ටික වාමවාදයට පිළිතුරක්
සී.ජේ.අමරතුංග
(‘මට සිහිනයක් ඇත’ සාමූහිකය විසින් ඔක්තෝබර් 6 දින මහජන පුස්තකාලයේදී සංවිධානය කරන ලද ප්‍රසිද්ධ දේශනයක් ඇසුරෙන් සකස් කරන ලදී.)
“ඔබ වඩාත් උග්‍ර විප්ලවවාදියා ගෙන ඔහුට නිරපේක්ෂ බලය පැවරුවහොත්, වසරක් ඇතුළත ඔහු සාර්ට වඩා නරක වනු ඇත.” – මීහයිල් බකුනින් (රාජ්‍යවාදය සහ අරාජිකවාදය)
සමාජවාදය වෙනුවෙන් නැතහොත් වාමාංශික දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කරන නමුත් එම අදහස්වල හරයට සම්පුර්ණයෙන් පටහැනි විශ්වාසයන්හි එල්බගෙන සිටිමින් ඒවා ප්‍රචාරය කිරීම මෙමගින් අදහස් කෙරේ. මෙම අදහස් පක්ෂ සහ කණ්ඩායම්වල මතවාද ලෙස මෙන් ම සාමාන්‍ය ජනයාගේ පිළිගැනීම් වශයෙන් ද පවතියි. එහෙත්, තමන් ඉතිහාසයේ ඉදිරි ගමනට, එනම් නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයට, එරෙහි වන ප්‍රතිගාමී දක්ෂිණාංශික පිරිසක් බව මොවුහු නොදනිති.
ප්‍රධාන කරුණු තුනක් නිසා මෙය මිථ්‍යාදෘෂ්ටික වාමවාදයක් ලෙස හැඳින්විය හැකි ය. එනම්,
- ඔවුන් පිළිගන්නා සමාජවාදය සැබෑ සමාජවාදයක් නොවීම සහ ඒවා සමාජවාදය පිලිබඳ සම්භාව්‍ය අදහස්වලට සම්පුර්ණයෙන් පටහැනි වීම
- වාමාංශික සහ විද්‍යාත්මක බව කියමින් ඔවුන් ඉදිරිපත් කරන අදහස් අවිද්‍යාත්මක මිථ්‍යා මත වීම සහ විද්‍යාත්මක ඉගැන්වීම්වලට මෙන් ම භාවිතයේ අත්දැකීම්වලට ද පටහැනි වීම
- මෙම මතවාදය ආගමක් තත්ත්වයට පත්කරගෙන ඒ කෙරෙහි විශ්වාසය සහ භක්තිය මත පිහිටා කටයුතු කිරීම
මෙම මතවාදය තුළ ඇති ප්‍රධාන මිථ්‍යාදෘෂ්ටික මත සමහරක් මෙසේය:
- සමාජවාදී සමාජය යනු සියලු දේපළ අයිතිය රජය සතු වූ ඒකාධිකාරී සමාජයක් ලෙස පිළිගැනීම
- පෞද්ගලික ධන උත්පාදනය පිලිබඳ මිථ්‍යා මත – එනම් ධන උත්පාදනය සිදුවන්නේ සොරකමක්, වංචාවක් ලෙස බවට වන ආකල්පය
- වෙළෙඳපොළ ප්‍රතික්ෂේප කිරීමේ මිථ්‍යාව – වෙළෙඳපොළ යනු ධනවාදය ලෙස සැලකීම; මිල තීරණයේ ධනපතියාගේ අභිමතය පිලිබඳ මිථ්‍යාව
- ගෝලීයකරණයට එරෙහි වීමේ මිථ්‍යාව – එය විනාශකාරී අධිරාජ්‍යවාදයක් ලෙස සැලකීම
- ධනවාදී සංවර්ධනය තුළ ජනතාව වඩ වඩා දිළිඳු වන බවට වන මිථ්‍යා
- සංවර්ධනයේ අවදිය තේරුම් නොගැනීම – ශ්‍රී ලංකාව ධනවාදයෙන් පීඩා විඳිනවාට වඩා ධනවාදය ප්‍රමාණවත් තරම් සංවර්ධනය නොවීමෙන් පීඩා විඳින බව තේරුම් නොගැනීම
- ධනපතියන්ගේ ධනය සමාජීය ධනයක් ලෙස තේරුම් නොගැනීම
- රජයේ අසීමිත සහනාධාර මිථ්‍යාව – වැඩි වශයන් සහනාධාර දීමට නම් කම්කරුවන් වැඩියෙන් සුරා කෑම අවශ්‍ය බව නොදැන සිටීම
- කම්කරු පන්තියේ තත්ත්වය සම්බන්ධ මිථ්‍යාව – වැටුප් වහල් බව වෙනුවට දිළිඳුබව ගැන කතාකිරීම
සමාජවාදය නම් රාජ්‍ය අයිතිය බව ප්‍රචලිත කරන ලද්දේ සොවියට් දේශයේ පැවති ක්‍රමය තුළිනි. එසේ වුව ද, එය ඇත්ත සමාජවාදයක් නොවන බව මේ වනවිට ලොවට පැහැදිලි වෙමින් පවතියි. එම ක්‍රමයේ ආභාෂයෙන් ගොඩනැගුනු චීනය සහ වියට්නාමය වැනි රාජ්‍යයන් පවා දැන් වෙනත් අත්හදා බැලීම් කරන්නේ එම හේතුව නිසා ය.
නිර්ධන පංති ආඥාදායකත්වය සම්බන්ධයෙන් මිහායිල් බකුනින් මෙසේ පැවසීය: “ කිසිම ආඥාදායකත්වයකට ස්වයං-ස්ථිරවීම හැර වෙනත් අරමුණක් තිබිය නොහැකි අතර එයට කළ හැකි වන්නේ එය ඉවසා සිටින මිනිසුන් වහල් භාවයට පත් කිරීම පමණකි. නිදහස නිර්මාණය කළ හැක්කේ නිදහසෙන් ම පමණකි. එනම් ජනතාවගේ පැත්තෙන් කෙරෙන විශ්වීය කැරැල්ලකින් සහ වෙහෙසෙන ජනතාවගේ පහළ සිට ඉහළට ගොඩ නැගෙන නිදහස් සංවිධානයෙනි.” – මිහායිල් බකුනින් – රාජ්‍යවාදය සහ අරාජිකවාදය
ප්‍රාග්ධනය කෘතියේ කාල් මාක්ස් පෙන්වා දෙන්නේ කම්කරුවන්ගේ ශ්‍රමයට වටිනාකම් දෙකක් ඇති බවයි. එනම් ශ්‍රමයේ වටිනාකම හෙවත් එහි නිෂ්පාදන වියදම සහ ශ්‍රමය මගින් නිෂ්පාදනය කරනු ලබන වටිනාකම වශයෙනි ( ප්‍රාග්ධනය පළමු වෙළුමේ පළමු පරිච්ඡේදය). කම්කරුවන්ගේ වැටුප තීරණය වන්නේ මෙයින් පළමු වටිනාකම අනුව බවත්, භාණ්ඩ මිල තීරණය වන්නේ දෙවන වටිනාකම අනුව බවත්, කාල් මාක්ස් පෙන්වා දෙයි.
භාණ්ඩ මිල නියම කරන්නේ ධනපතියන් විසින් හෝ වෙළෙඳුන් විසින් ය යන වෙළඳපොළ විරෝධී අදහස කිසිදු විද්‍යාත්මක පදනමක් නැති මතුපිට නිරීක්ෂණ මත පදනම් වූ මිථ්‍යා අදහසකි. වෙළෙඳපොළ යනු ඓතිහාසික නිර්මිතයකි. මිනිස් සමාජයේ ඉතිහාසයේ බොහෝ කාලයක් තුළ වෙළඳපොළ පැවතී ඇත. ලෝක වෙළෙඳපොළ ඒකාබද්ධ වීම ද අවශ්‍යයෙන්ම සිදුවන්නක් වන අතර සමාජ සංවර්ධනය සිදුවන්නේ ඒ ඔස්සේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ න්‍යායික ස්ථාවරය වන්නේ ගෝලීයකරණයට පන්ති පදනමක් නැති බව යි. එනම් එය ධනවාදී හෝ සමාජවාදී හෝ නොවන බව යි. එය හුදෙක් ලෝක ඉතිහාසයේ වර්ධන අවස්ථාවකි.
ධනවාදී සංවර්ධනය තුළ ජනතාව වඩ වඩා දුප්පත් වන බව මිථ්‍යාදෘෂ්ටික වාමාංශිකයෝ පවසති. මහ පොළවේ යථාර්ථය ඊට ඉඳුරා ම පටහැනි වුව ද , ඔවුහු එම යථාර්ථය ප්‍රතික්ෂේප කරති. අප රටේ විධිමත් ධනවාදී සංවර්ධනයක් සිදු නොවුව ද, දිළිඳු බව පිටුදැකීම, මන්දපෝෂණය තුරන් කිරීම, ආයු කාලය වර්ධනය කර ගැනීම වැනි බොහෝ අංශවල විශාල වර්ධනයක් දක්නට තිබීම යථාර්ථයයි.
ධනවාදයේ සංවර්ධනයේ මට්ටම තේරුම් නොගෙන සහ එම සංවර්ධනයේ අවදිය තේරුම් නොගෙන කරන විවේචනය සහ දේශපාලනය මිථ්‍යාදෘෂ්ටික සමාජවාදයේ තවත් ප්‍රධාන ලක්ෂණයකි.
සත්‍ය නොහොත් විද්‍යාත්මක සමාජවාදයක් ගොඩ නැගීමට ධනේශ්වර සංවර්ධනය පුර්ව කොන්දේසියක් වන බව සම්භාව්‍ය මාක්ස්වාදයේ ප්‍රධාන අදහසකි.
රෝසා ලක්සම්බර්ග් The Junius Pamphletහි මෙසේ සඳහන් කළාය: “ධනේශ්වර පන්ති ආධිපත්‍යය නිසැකව ම ඓතිහාසික අවශ්‍යතාවක් වනවා සේ ම ඊට එරෙහිව කම්කරු පන්තියේ නැගී සිටීම අවශ්‍යතාවයකි. ප්‍රාග්ධනය ඓතිහාසික අවශ්‍යතාවක් වනවා සේ ම එහි මිනී වළ හාරන්නා වන සමාජවාදී නිර්ධන පංතිය ද අවශ්‍යතාවයකි. අධිරාජ්‍යවාදී ලෝක ආධිපත්‍යය ඓතිහාසික අවශ්‍යතාවක් වනවා සේ ම එය නිර්ධන පංති ජාත්‍යන්තරය විසින් විනාශ කිරීම ද අවශ්‍ය වෙයි.”
“රුසියාව ධනවාදයෙන් පීඩා විඳිනවාට වඩා ධනවාදය ප්‍රමාණවත් තරම් සංවර්ධනය නොවීමෙන් පීඩා විඳියි” යනුවෙන් වී අයි ලෙනින් (ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ උපක්‍රම දෙකක්) කර ඇති සඳහන මේ මොහොතේ ලංකාවට ඉතා වැදගත් වේ.
මතුපිටින් දකින දේ සත්‍ය නම් අපට විද්‍යාවක් අවශ්‍ය නොවනු ඇතැයි කාල් මාක්ස් ප්‍රකාශ කර තිබේ.