රනිල් වැෂ්නාඩ්සේ වැල් පාලමෙන් එතෙර වුණාද?
අජිත් පැරකුම් ජයසිංහ
මෙම සටහන තබන ජුලි 20 උදෑසනට අවුරුද්දකට පෙර අද වැනි දිනෙක ශ්‍රී ලංකාවේ අටවෙනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. රනිල් වික්‍රමසිංහ එයින් ජයගෙන අදට හරියටම අවුරුද්දකි. ඊයේ, 2023 ජුලි 19 ශ්‍රී ලංකාවේ ඓතිහාසික දිනයකි. දූෂණ විරෝධී පනත ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. එය 17, 19, 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත වැනි ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ශක්තිමත් කිරීම සඳහා ඉවහල් වන තවත් අතිශය වැදගත් පනතකි.
රනිල් වික්‍රමසිංහගේ පදවි ප්‍රාප්තිය සැමරීම සඳහා කිසිදු උත්සවයක් පැවැත්වෙන්නේ නැත. එහෙත්, එය අතිශය වැදගත් සංසිද්ධියකි. හේතුව, ඔහු ජනාධිපති පදවියට පත්වන්නේ ශ්‍රී ලංකාව ඉතිහාසයේ පළමු වතාවට බංකොලොත්භාවයට පත්වී, ණය නොගෙවා රට බංකොලොත් කර, ණය ගෙවන මුදලින් තෙල්, ගෑස්, ආහාර ආනයනය කරන්නැයි නිර්දේශ කළ ආර්ථික ඔස්තාද්ලා ද නොසිතූ ආකාරයේ සංකීර්ණ ගැටලු රැසකට රට මුහුණ දෙමින් සිටියදීය.
2022 මැයි 9දා අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ප්‍රතික්ෂේප කරන ලද, ඩලස් අලහප්පෙරුම, සරත් ෆොන්සේකා වැනි අයට ලබාදීමට ජනාධිපති ගෝඨාභය අකැමැති වූ අගමැති තනතුරට මැයි 11 දා පත් වූ රනිල් වික්‍රමසිංහ මැයි 16 දා ජාතිය අමතා කළ කතාව මෙහිදී අතිශය වැදගත්ය. ඔහු ඒ වන විට පැවති බරපතළ අභියෝගය කෙටියෙන් සහ සරල ව ප්‍රකාශ කළේ මේ ආකාරයෙනි:
“පසුගිය බ්‍රහස්පතින්දා මා අග්‍රාමාත්‍ය ධුරය භාර ගත්තා. එම ධුරය මා ඉල්ලා සිටියේ නැහැ. රටේ ඇති වී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ගරු ජනාධිපතිතුමා විසින් මේ ධුරය භාර ගැනීමට මට ආරාධනා කළා. මා දේශපාලන නායකයකු වශයෙන් පමණක් නොව, නිදහස් අධ්‍යාපනය බුක්ති විඳලා කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය ලබාගෙන ඉහළට ගිය ජාතික නායකයෙකු වශයෙනුයි මේ වගකීම භාර ගත්තේ.
“මේ මොහොතේ ලංකාවේ ආර්ථිකය ඉතා දරුණු තැනකයි තිබෙන්නේ. 2022 ආරම්භයේ දී පසුගිය රජයේ අයවැයෙන් රුපියල් ට්‍රිලියන 2.3ක ආදායමක් ඇති බවට පෙන්නුම් කළත් මේ වසර සඳහා සැබෑ ආදායම් අනාවැකිය වන්නේ රුපියල් ට්‍රිලියන 1.6ක්. 2022 වසර සඳහා රජයේ වියදම රුපියල් ට්‍රිලියන 3.3ක්. කෙසේ වෙතත් පසුගිය රජයේ පොලී අනුපාත වැඩි වීම් සහ අතිරේක වියදම් හේතුවෙන් 2022 වසර සඳහා රජයේ සමස්ත වියදම රුපියල් ට්‍රිලියන 4කි. වර්ෂය සඳහා අයවැය හිඟය රුපියල් ට්‍රිලියන 2.4ක් වන අතර, එය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 13කි.
“ඒ වගේ ම අනුමත ණය සීමාව රුපියල් බිලියන 3200ක්. අපි මැයි මාසයේ දෙවැනි සතිය වන විට රුපියල් බිලියන 1950ක් වියදම් කරලා. ඒ අනුව දළ ඉතිරිය රුපියල් බිලියන 1250ක්. අපි ඊයේ කැබිනට් මණ්ඩලයේ දී තීරණයක් ගත්තා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ අනුදත් සීමාව බිලියන 3000 සිට 4000 දක්වා වැඩි කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන්න.
“2019 නොවැම්බර් මාසයේ දී අපේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 7.5ක් තිබුණා. නමුත් අද භාණ්ඩාගාරයට ඩොලර් මිලියනයක් වත් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා. ගෑස් නැව්ගත කිරීම සඳහා ගෙවීමට අවශ්‍ය අමෙරිකානු ඩොලර් මිලියන 5ක් වත් මේ වෙලාවේ මුදල් අමාත්‍යාංශයට සොයා දීමට හැකියාවක් නෑ.
“ සියලු අර්බුද අතර අපි මුහුණ දෙන බැරෑරුම් ම ගැටලු කිහිපයක් තියනවා. ඉදිරි දින කිහිපයේ දී පෝලිම් පාලනය කිරීම සඳහා ඉතා මත් කඩිනමින් අමෙරිකානු ඩොලර් මිලියන 75ක් පමණ සොයා ගත යුතුව තිබෙනවා. මේ වන විට අප සතුව පෙට්‍රල් තිබෙන්නේ එක් දිනකට පමණයි. ඊයේ පැමිණි ඩීසල් නෞකාව නිසා ඔබගේ ඩීසල් ප්‍රශ්නයට අද සිට යම් සහනයක් ලැබේවි. ඉන්දීය ණය ආධාර වැඩපිළිවෙළ යටතේ මැයි 19 සහ ජූනි 1 දින තවත් ඩීසල් නෞකා දෙකක් සහ මැයි 18 සහ මැයි 29 පෙට්‍රල් නෞකා දෙකක් පැමිණීමට නියමිතව තිබෙනවා. අදට දින 40කට වැඩි කාලයක සිට ලංකාවේ මුහුදු සීමාවේ පෙට්‍රල්, බොර තෙල් සහ දැවි තෙල් නෞකා 3ක් නවතා තිබෙනවා. ඒ සඳහා මුදල් ගෙවීමට විවෘත වෙළෙඳපොළෙන් ඩොලර් ලබා ගන්න කටයුතු කරනවා.
“විදුලි අවශ්‍යතාවෙන් හතරෙන් එකක් උත්පාදනය සඳහා යොදා ගන්නෙත් ඉන්ධන. මේ නිසා දෛනික විදුලි කප්පාදුව තව ටික දවසකින් පැය 15ක් වීමටත් ඉඩ තිබෙනවා. නමුත් අපි මේ සඳහා දැනටමත් අවශ්‍ය මුදල් සොයා ගෙන තියෙන්නෙ. එමෙන් ම යම් පමණකින් හෝ පාරිභෝගිකයන්ට ගෑස් ලබා දීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 20ක් ඉතා ඉක්මනින් සොයා ගත යුතුයි. භූමිතෙල් සහ දැවි තෙල් සම්බන්ධයෙන් පවතින තත්ත්වය මෙයටත් වඩා භයානකයි. මේ මොහොත වන විට ශ්‍රී ලංකා මහ බැංකුව, දේශීය රාජ්‍ය හා පෞද්ගලික බැංකු, ලංකාවේ තිබෙන විදේශ බැංකු සියල්ල ඩොලර් නොමැති වීමේ ගැටලුවට මුහුණ දීලයි ඉන්නේ. අප සතුව තිබෙන ඩොලර් ප්‍රමාණය ඉතා කුඩා අගයක් ගන්නා බව මේ වන විටත් ඔබ දන්නවා. නමුත් මෙම සියලු දුෂ්කරතා හමුවේ අප ඊයේ ලංකාවට ඩිසල් රැගත් නෞකාවක් ගෙන්වා ගත්තා. ඒ නිසා අද සිට ඔබට එම ඩීසල් ලබාගැනීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා අපට ඉන්දියාවේ සහයෝගය ලැබුණා. ඒ වගේ ම අඟහරුවාදා වන විට පැමිණ තිබෙන ගෑස් නෞකාවට මුදල් ගෙවීමට අපි කටයුතු කරනවා. ඒ මඟින් ඔබගේ ගෑස් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබේවි.
“මේ අතර, තවත් උදාහරණයක් වන්නේ ඖෂධ හිඟයයි. හෘදය රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ සහ ඖෂධ වර්ග රාශියක දැඩි හිඟයක් දැන් පවතිනවා. ඖෂධ, ශල්‍ය උපකරණ සහ රෝගීන්ට අවශ්‍ය ආහාර සපයන සැපයුම්කරුවන්ට මාස 4කින් ගෙවීම් කර නැහැ. ඔවුන්ට ගෙවන්න තිබෙන හිඟ මුදල රුපියල් බිලියන 34ක්. ඒ වගේ ම රාජ්‍ය ඖෂධ සංස්ථාව ආනයනය කළ ඖෂධවලට මාස 4කින් ගෙවීම් කර නෑ. ඒ නිසා ඔවුන් අසාදු ලේඛනගත කිරීමට විදේශ ඖෂධ සමාගම් කටයුතු කරමින් සිටිනවා. කනගාටු ම කාරණය තමයි අත්‍යවශ්‍ය ඖෂධ 14ක් හිඟ වී තිබීමත්, ඉන් දෙකක් වත් සැපයීමට අපගේ වෛද්‍ය සැපයුම් අංශයට මේ මොහොතේ හැකියාවක් නැති වීම. ඒ ඖෂධ දෙක වන්නේ හෘදය රෝගවලට භාවිත කරන ඖෂධයක් සහ ප්‍රතිජලභීතිකා ඖෂධයක්. ප්‍රතිජලභීතිකා ඖෂධය සඳහා විකල්ප ඖෂධයක් වත් නෑ.“
මෙසේ පැවති තත්වය විග්‍රහ කළ ඔහු ඉන් පසු එම ගැටලු විසඳීම සඳහා කළ යුතුව තිබෙන්නේ කුමක්ද යන්නද විස්තර කළේය. එපමණක් නොව, ඔහු අධිෂ්ඨානයෙන් යුතුව ඒවා ක්‍රියාත්මක කළේය.
“මේ අතර 2022 වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැය වෙනුවට අලුත් අයවැයක් ඉදිරිපත් කරන්න සැලසුම් කර තිබෙනවා. එය සහන අයවැයක් ලෙස ඉදිරිපත් කරන්න යි මගේ සැලසුම.
“ඒ වගේ ම මේ වන විට දැඩි ලෙස අලාභ ලබමින් සිටින ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට මම යෝජනා කරනවා. 2020 – 2021 වර්ෂයේ පමණක් ශ්‍රීලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 45ක්. 2021 මාර්තු 31 වන විට මෙහි සමස්ත පාඩුව බිලියන 372ක්. අප මෙය පෞද්ගලීකරණය කළත් මේ පාඩුව අපට දරන්න ම වෙනවා. මේ පාඩුව ජීවිතයට වත් ගුවන්යානයකට පය ගසා නැති මේ රටේ දුගී දුප්පත් අහිංසක මිනිස්සුන්ට විඳින්න වී ඇති බව ඔබ දැන ගත යුතු යි.“
ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලිකකරණය ඔහුට තවමත් ජය ගැනීමට නොහැකි වූ අභියෝගයකි. ජීවිතයට වත් ගුවන්යානයකට පය ගසා නැති මේ රටේ දුගී දුප්පත් අහිංසක මිනිස්සු තවමත් මේ පාඩුවට කරගසාගෙන සිටිති. එහෙත්, එම අභියෝගය ජය ගැනීම සඳහා රජය මුලපුරා තිබේ.
“කෙටි කාලීන ව අප මුහුණ දෙන්න යන්නේ මීටත් වඩා දුෂ්කර කාලයකටයි. උද්ධමනය වැඩි වෙන්න ඉඩ තියෙනවා. රජය මේ වන විට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38ක්, 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55ක්, සුපර් ඩීසල් ලිටරයකින් රුපියල් 136.31ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50ක් පාඩු ලබනවා. තෙල් සංස්ථාවට මේ පාඩු තව දුරටත් දරා ගැනීමට හැකියාවක් නෑ. ඒ වගේ ම විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් සඳහා ඔබෙන් රුපියල් 17ක් අය කළත්, ඒ සඳහා රුපියල් 48ක පමණ මුදලක් වැය කරනවා. ඒ අනුව පාඩුව එක ඒකකයකින් රුපියල් 30ක් පමණ වෙනවා. එයත් බරපතළ ගැටලුවක්.“
පිරිවැය අනුව සකස් කරන ලද ගාස්තු ක්‍රම හෙවත් මිල සූත්‍ර හඳුන්වා දීම රජය බලශක්ති අර්බුදයෙන් ගොඩ ඒමට ගත් ප්‍රධාන පියවරකි. ඉන්ධන, විදුලිය හා ගෑස් වෙනුවෙන් මිල සූත්‍ර හඳුන්වා දෙන ලද අතර එතනින් නොනැවතී බලශක්ති ක්ෂේත්‍රයේ රාජ්‍ය ඒකාධිකාරය වෙනුවට තරගකාරීත්වය හඳුන්වා දීමට ද පියවර ගෙන තිබේ. දැන් තව දුරටත් තෙල් නැවක් වරායට පැමිණීම ලංකාවේ ජනමාධ්‍යවලට ප්‍රවෘත්තියක් නොවේ. විදුලි කප්පාදු නැත.
රාජ්‍ය සේවයේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රාජ්‍ය ආදායමෙන් 65%ක් පමණ වෙන් කිරීමට සිදු වී තිබේ. රජය කරන ප්‍රධානම කාර්යය වන්නේ මේ රාජ්‍ය සේවය නඩත්තු කිරීමයි. රටේ ජනගහනයෙන් 10%ක් පමණ ඍජුවම රජයෙන් වැටුප් හෝ විශ්‍රාම වැටුප් ලබන අයයි. ඒ අයගෙන් යැපෙන අයත් සමග අවම වශයෙන් රටේ ජනගහනයෙන් 30%ක්වත් ඍජුවම යැපෙන්නේ රජයෙනි. රජය වතාවතක් ඉටුකරන්නා සේ හැමදාමත් රජයේ සේවකයන්ට වැටුප් දානය කරති. ආර්ථික අර්බුදය මැද පවා රාජ්‍ය සේවක වැටුප් පමා වීමක් සිදු වූයේ නැත.
“මට දැඩි අකැමැත්තෙන් වුවත් මේ මොහොතේ මුදල් මුද්‍රණය කිරීමට අවසර දෙන්න සිදු වෙනවා. ඒ රාජ්‍ය සේවකයන්ගේ මේ මාසයේ වැටුප් ගෙවීම සහ ඔබට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැය කිරීම සඳහා යි. කොහොම වුණත් මුදල් මුද්‍රණය කිරීම නිසා රුපියල අවප්‍රමාණය වන බව අප සිහි තබා ගත යුතුයි. මේ වන විට පවතින තත්ත්වය හමුවේ තෙල් සංස්ථාවට සහ විදුලිබල මණ්ඩලයට රුපියල් සොයා ගැනීමට ද හැකියාවක් නෑ.”
මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය ප්‍රධාන වශයෙන්ම පදනම් වන්නේ රාජ්‍ය සේවය මතය. අරගල, වාමාංශික, ලිබරල් මෙන්ම අරාජිකවාදී නායකයන් බවට පත්වී සිටින බොහෝ වෘත්තීය සමිති නායකයන්ගේ බලපෑම රාජ්‍ය සේවයට තදින් දැනේ. ඔවුන් මේ දුෂ්කර අවස්ථාව පියමං කිරීම සඳහා රජය සමග කෙතරම් සහයෝගයෙන් වැඩ කළාද යන්න වෙනම විමසා බැලිය යුතුය.
“කෙසේ වුවත්, ඉදිරි මාස කිහිපයේ දී ඔබට-මට ජීවිතයේ දුෂ්කර ම කාලපරිච්ඡේදය ගත කරන්න සිදු වේවි. එයට අපි සියල්ලෝම කැප වීමෙන් මුහුණ දිය යුතු යි. මා ජනතාවට කරුණු සඟවා බොරු කීමට කිසි සේත් ම කැමැති නෑ. භයානක වූවත් අප්‍රසන්න වූවත් මේකයි ඇත්ත තත්ත්වය. කෙටි කාලීන ව අප මුහුණ දෙන්න යන්නේ ගෙවූ කාලයටත් වඩා දුෂ්කර ම කාලයකට. මේ වෙලාවේ අපට තිබෙන්නේ දුක් කම්කටොලු විතරයි. ඒත් මේ තත්ත්වය කෙටි කාලීනයි. ඉදිරි මාස කිහිපයේ දී අපේ මිත්‍ර රටවල උපකාරය සහ සහයෝගය අපට ලැබේවි. ඔවුන් මේ වන විටත් අපට උදවු කරන්න පොරොන්දු වෙලා තිබෙන්නේ. ඒ සඳහා ගත වන මාස කිහිපය අපට ඉවසීමෙන් දරා ගෙන ඉන්න ම වෙනවා. එහෙත් අපට මේකෙන් ගොඩ යන්න පුළුවන්. ඒ සඳහා අපට අලුත් මාර්ගයකට යන්න වෙනවා.
“මා භාර ගත්තේ අනතුරුදායක අභියෝගයක්. හුණුවටයේ ගෲෂා අනුන්ගේ දරුවෙක් වඩා ගෙන වැල් පාලම තරණය කළා. මේක ඊටත් වඩා භයානක අභියෝගයක්. හෙල ගැඹුරුයි. පතුල පේන්නෙ නෑ. පාලම හදල තියෙන්නේ තුනී වීදුරුවලින්. අත්වැලකුත් නෑ. මගේ කකුල් දෙකට ගලවන්න බැරි සපත්තු දෙකක් දාල තියෙනවා. ඒකේ අඩියේ තියෙන්නේ තියුණු යකඩ ඇණ. දරුවාව ආරක්ෂිතව එහා පැත්තට අරන් යන්නයි මට තියෙන්නෙ. මේ අභියෝගය මා භාර ගත්තේ රට වෙනුවෙන්. මගේ අරමුණ සහ කැප වීම පුද්ගලයකු, පවුලක් හෝ කණ්ඩායමක් බේරා ගැනීම නො වෙයි; මුළු රටේ ම ජනතාව බේරා ගැනීම යි, මුළු රට ම බේරාගැනීම යි, තරුණ පරපුරේ අනාගතය බේරා ගැනීම යි. ජීවිතය පරදුවට තබා මේ අභියෝගයට මා මූණ දෙනවා; ඒ අභියෝගය ජය ගන්නවා. ඊට ඔබ හැම දෙනාගේ ම සහයෝගය මට දෙන්න. මා මගේ වගකීම රට වෙනුවෙන් ඉටු කරනවා. ඒ මා ඔබට දෙන පොරොන්දුවයි.”
එදා රට මුහුණ දී තිබුණු අභියෝගයේ තරම රනිල් වික්‍රමසිංහගේ මෙම කතාව තුළ ගැබ්ව ඇත. අවුරුද්දක් ඇතුළත රටේ සිදු වී තිබෙන වෙනස තේරුම් ගැනීමට ද මෙම කතාව පාදක ලේඛනයක් බවට පත්කරගත හැකිය.
ලංකාව යන්තමින් වැල් පාලමේ කෙළවරට පැමිණ ඇත. එහෙත්, දැන් පවා අවදානම මුළුමනින්ම පහ වී නැත. මොකක් හෝ හේතුවක් නිසා ආපස්සට යන්නට සිදු වුණොත් ලංකාව යළි වැල් පාලමේය. වැල් පාලමෙන් ඔබ්බේ ද ඇත්තේ රෝස මල් අතුළ මාවතක් නොවේ. එය ද දුර්ග මාර්ගයකි.
හුණුවටයේ කතාවේ අතහැර ගිය ඔටුන්න හිමි කුමාරයා රැගෙන යන්නට ඒ වෙලාවේ ගෘෂා වැෂ්නාඩ්සේ එතැන සිටියාය. ඇය නොසිටියා නම් වෙනත් අයෙකු දරුවා රැගෙන යනු ඇද්ද, නැතිනම්, ඝාතකයන්ට දරුවා හසු වනු ඇද්ද යන්න කාටවත් කිව නොහැකිය. ලංකාව සම්බන්ධයෙන් ගත් කල, රනිල් වික්‍රමසිංහ නම් පුද්ගලයකුට එහා ගිය සාධකය අර්බුදය අවස්ථාවේ ලංකාවේ රාජ්‍ය බලය ලබාගත හැකි තැනක සිටියේය. ලංකාවේ ඉතිහාසය යොමු වී තිබුණු අරාජිකත්වයේ පල්ලම වෙනුවට ගිරි ශිඛර මැදින් වූ දුර්ග මාර්ගයක රට ගෙන යාමට නායකත්වය දෙන්නට ඔහු සමත් විය. ගෘෂා දරුවා ආරක්ෂා කරන බව අපි දැන සිටියෙමු. රනිල් සම්බන්ධයෙන් ද කීමට ඇත්තේ එයයි. රනිල් නොසිටියා නම් අනෙක් නායකයන් මොනවා කරන්නට ඉඩ තිබුණාද යන්න අපි නොදනිමු. එය හරියට විජය කුමාරයා පැමිණි නැව ලංකාවට ගසාගෙන නොආවා නම් ලංකාවට කුමක් වේද යන්න වැනි ප්‍රශ්නයකි.