රෝදය නැවත සොයාගැනීම
– අජිත් පැරකුම් ජයසිංහ
අපේ වයසෙදි අපි දේශපාලනිකව සාර්ථක වෙන්නෙ ඔය අපි අපේම අතීතයට අදාළව ‘මෝඩ වයස’ය කියලා සිතන වයසෙ දැන් ඉන්න කොල්ලන්ව ‘ජාතියේ අනාගතය’, ‘ඉතිහාසයේ වගකීම පැවරී තිබෙන පරපුර’ වගේ කෑල්ලක් දාලා අන්දගෙන අපේ අරමුණ වෙනුවෙන් බිලිබෝයිස්ලා විදියට පාවිච්චි කරන්නට පුළුවන් නම් විතරයි. අපි ඔය වයසෙදි අපේ වැඩිහිටි පරපුරත් අපට ඒකම කළා.
එහෙම කරන එක සම්බන්ධයෙන් වරදකාරී හැඟීමක් ඇති නොවෙන්නට නම්, ‘අප ද මේ කරන්නේ ඉතිහාසය විසින් අපට පවරා තිබෙන නායකත්ව භූමිකාවය’ වගේ එකකින් හෘදය සාක්ෂිය සනසගන්නට ඕනැ. හෘදය සාක්ෂිය කියන මගුල ඇත්තෙම නැතිවෙනවා නම් තමයි අපට සැබෑ නායකයන් බවට පත්වෙන්නට පුළුවන්.
සමහර වගේ සංකල්පවලින් අපට කීර්තිය හා සෙක්ස් ලබාගන්නට හැකිවෙන්නෙ රෝදය නැවත නැවත අලුත් නිර්මාණ ලෙස සොයාගත හැකි බව පැවසීමෙනුයි.
අලුත් පරම්පරාවල තරුණයන්ට කියන්න තියෙන්නෙ මං හැමදාම කියන කාරණයක්. මෝඩකම අයිතිවාසිකමක් නෙමෙයි.
පැරණි පරම්පරාවල කට්ටිය තමන්ගෙ තරුණ කාලෙ ‘වීරකම්’ ගැන ලියපු (මං ලියපු කේපොයින්ට් වගේ) පොත් කියවා බලන්න. ඒව කියවන්න කලින් ඒවයෙ කවරෙ ඒවයෙ කර්තෘලා විසින් තවරලා තියෙන වීරත්වයේ ලැමිනේෂන් පටලය ගලවලා දාලා ඒව කියවන්න තරම් අලුත් පරපුර ස්මාට් විය යුතුයි. එහෙම ස්මාට් නැතිනම්, ඒත් අවුලක් නැහැ. රෝදය නැවත සොයාගන්න.
(මේ සටහන තව පාරක් කියවන්න කියලා මං ඔබට නිර්දේශ කරනවා.)