restructuring

විප්ලවය කියන්නෙත් ප්‍රතිව්‍යූහගත කිරීමම තමයි

අජිත් පැරකුම් ජයසිංහ, 2022-09-04 අනිද්දා පුවත්පතේ සමබිම අතිරේකයෙනි

මේ දවස්වල රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම ගැන සාකච්ඡා වෙනවා. මේ ඒ ගැන විශේෂඥ අදහසක් නෙමෙයි. සාමාන්‍ය පුරවැසි මාධ්‍ය නිරීක්ෂණයක් මත පදනම් වූ විචාරශීලී අදහසක්.

මා නිරීක්ෂණය කර තිබෙන ආකාරයට ප්‍රතිව්‍යූහගත කිරීම ක්‍රම ගණනාවකට කරන්නට පුළුවන්. ප්‍රතිව්‍යූහගත කිරීමේදී පෞද්ගලීකරණය අනිවාර්ය නැහැ. ආයතන ලාභ ලබන හෝ පාඩු නොලබන හෝ අවම පාඩුවක් ලබන හෝ පාඩු ලැබුවත් ඉහළ කාර්යක්ෂමතාවකින් පවතින විදියට වෙනස් කිරීම තමයි ප්‍රතිව්‍යූහගත කිරීම කියන්නෙ.

හැම රාජ්‍ය සේවාවක්ම ලාභ ලැබිය යුතු නැහැ. ඇතැම් රාජ්‍ය සේවාවන්ට ලාභය අදාළම නැහැ. පාසල් අධ්‍යාපනය හා මහජන සෞඛ්‍යය එවැනි සේවා දෙකක්. එහෙත්, ඒ සඳහා භාවිතා කරන මහජන මුදල්වලින් උපරිම ඵලදායීතාවක් ලබාගැනීමට නම් ඉහළ කාර්යක්ෂමතාවක් තිබිය යුතුයි. උදාහරණයක් විදියට ජාතික පාසල්වල වැඩක් නොමැතිව නිකම් වැටුප් ගන්නා ගුරුවරුන් ගුරු හිඟය පවතින දුෂ්කර පාසල්වලට මාරු කර තුලනය කිරීමත් ප්‍රතිව්‍යූහගත කිරීමක්ම තමයි. අධ්‍යාපනය, සෞඛ්‍යය විතරක් නෙමෙයි දිළිඳු සහනාධාර සම්පාදනය පවා ප්‍රතිව්‍යූහගත කළ යුතුයි. උදාහරණයක් ලෙස සමෘද්ධි අධිකාරිය සලකා බලන්න. දිළිඳු ජනයාට සහනාධාර බෙදාදීම හැර වෙනත් වැදගත් කාර්යයක් ඉටු නොකරන මෙම ආයතනයේ සේවක පඩිනඩි වෙනුවෙන් එහි සමස්ත වියදමින් 25%ක් වැයවන බව අධ්‍යයන මගින් සොයාගෙන තිබෙනවා. මෙය ප්‍රතිව්‍යූහගත කළ යුතුයි. සහනාධාර අවශ්‍ය අය හඳුනාගැනීමේ ක්‍රමය විධිමත් කළ යුතුයි. ඔවුන්ට ගිනුම් විවෘත කරදී කෙළින්ම ගිනුමට මුදල් බැරකළ හැකියි. ඒ සමගම ඔවුන් බැංකු සමග ගනුදෙනු කරන්නට පටන්ගත්තොත් ඔවුන්ගේ ජීවිතත් ප්‍රතිව්‍යූහගත වෙලා බැංකුත් ප්‍රතිව්‍යූහගත වෙනවා.

අභ්‍යන්තර වෙනස්කම් සිදුකිරීමත් ප්‍රතිව්‍යූහගත කිරීම සිදුකරන ආකාරයක්. පරිපාලනය, කළමනාකරණය ශක්තිමත් කරන්නට පුළුවන්. නවීන තාක්ෂණයට පරිවර්තනය කරන්නට පුළුවන්. උදාහරණයක් විදියට ඒ මේසෙන් මේ මේසෙට ලියුම් යැවීම වෙනුවට ඊමේල් භාවිතයට රාජ්‍ය සේවකයන් යොමුකරන්නට පුළුවන්. අභ්‍යන්තර ප්‍රතිව්‍යූහගත කිරීම් සඳහා කාර්යසාධන දර්ශක සැකසීම, අධීක්ෂණය ආදිය විධිමත් කිරීමත් අවශ්‍ය වෙනවා.

සමහර අතිවිශාල ආයතන ස්වාධීන ආයතන කීපයක් වෙන් කරන්නට පුළුවන්. උදාහරණයක් විදියට විදුලිබල මණ්ඩලය ජනනය, සම්ප්‍රේෂණය ආදී වශයෙන් වෙන වෙනම ආයතන බවට පත් කරන්නට සැලසුම් අවුරුදු 20කට විතර කලින් හැදුවා. එය ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් සහන ණයකුත් පිරිනමන්නට එකඟවී තිබුණා. ඒත් වෘත්තීය සමිති විරෝධය හා දේශපාලකයන්ගේ උනන්දුවක් නැතිකම නිසා සිදුවුණේ නැහැ.

රාජ්‍ය දෙපාර්තමේන්තු රජයට අයත් සමාගම්, සංස්ථා, අධිකාරි, මණ්ඩල වැනි ස්වාධීන ආයතන බවට පත්කරන්නට පුළුවන්. රජයේ ආධාර නොමැතිව පවත්වාගෙන යාම අනිවාර්ය කරන්නට පුළුවන්. උදාහරණයක් විදියට බදු එකතුකිරීම සඳහා එවැනි අධිකාරියක් පිහිටුවීමේ යෝජනා තිබෙනවා.

රජයේ සමාගම්වලට ප්‍රාග්ධනය ලබාගැනීම සඳහා හා අයිතිය පුළුල් කිරීම සඳහා ඒවා කොටස් වෙළඳපොළට විවෘත කරන්නට පුළුවන්. අයිතිය පුළුල් කිරීම නරක දෙයක් නෙමෙයි. උදාහරණයක් ලෙස ටෙලිකොම් සමාගමේ රජයේ අයිතිය අවභාවිතාවට ලක්වෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විදුලි සංදේශ කර්මාන්තය ගැන කිසිදු පළපුරුද්දක් නොමැති තම සහෝදරයා වන කුමාරසිංහ සිරිසේන අති විශාල වැටුපකට ටෙලිකොම් සභාපති ලෙස පත්කිරීම වැනි නීත්‍යානුකූල දූෂණයකට මගපෑදුණේ රාජ්‍ය අයිතිය පිළිබඳ ගැටලු නිසායි.

විශාල ප්‍රාග්ධනයන් ලබාගැනීම සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයන් ලබාගන්නට පුළුවන්. දුම්රිය වැනි අංශ සංවර්ධනය කරන්නට එවැනි ප්‍රතිව්‍යූහගත කිරීම් යොදාගත හැකියි.

රටට විදේශ විනිමය ගෙනඒම සඳහා විදේශ ආයෝජකයන් සමග හවුල්කාරීත්වයන් ගොඩනගාගන්නට පුළුවන්. ත්‍රිකුණාමලය තෙල් ටැංකි, මත්තල ගුවන් තොටුපළ, වරාය ජැටි ආදිය මේ සඳහා උදාහරණ.

කළමනාකරණය පෞද්ගලික අංශයට පවරන්නට පුළුවන්. රාජ්‍ය වතුවල කළමනාකරණය මේ අන්දමින් පෞද්ගලික අංශයට පවරා තිබුණා. ඒත්, එය සාර්ථක වුණේ නැහැ.

සමහර ආයතන පෞද්ගලික අංශයට විකුණාදැමීමත් කළ හැකියි. උදාහරණයක් ලෙස ශ්‍රීලන්කන් වැනි අධික විදියට පාඩු ලබන ආයතන එසේ අලෙවි කළ යුතුයි.

රජය බිස්නස් නොකර යථාර්ථවාදී නියාමනයට අවධානය යොමුකළ යුතුයි. යථාර්ථවාදී නියාමනයක් කියන්නෙ බිත්තර මිල නියම කිරීම වගේ දෙයක් නෙමෙයි. බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිගු වගාවේ සිට සියලු දේ සම්බන්ධයෙන් සොයාබලා කටයුතු කරන එක. බිත්තර නිෂ්පාදකයන් හා බඩඉරිඟු ගොවියා අතර ඍජු සම්බන්ධතා නැහැ. එවැනි අවස්ථාවලදි තමයි රාජ්‍ය මැදිහත්වීම වැදගත් වෙන්නෙ.

රාජ්‍ය ඒකාධිකාරයන් අවසන් කිරීමත් ප්‍රතිව්‍යූහගතකරණයේ එක් ආකාරයක්. ඛනිජ තෙල් සංස්ථාවේ අර්ධ ඒකාධිකාරය වෙනස් කිරීම සඳහා තවත් සමාගම් කීපයකට තෙල් ආනයනයට හා අලෙවියට අවස්ථාව ලබාදීම එවැනි ප්‍රතිව්‍යූහගත කිරීමක්. එහෙම කළාම ඛනිජතෙල් සංස්ථාවට සිදුවෙනවා අලුත් තත්වයට හැඩගැසෙන්නට.

පොදුවේ ලබාදෙන සහනාධාර ඉවත්කර, සහනාධාර අත්‍යවශ්‍ය සමාජ කණ්ඩායම්වලට පමණක් සීමාකර, මිල සූත්‍ර හඳුන්වාදීමත් ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමේදී යොදාගත හැකියි. උදාහරණයක් ලෙස, ජල සම්පාදන මණ්ඩලය ජලය අලෙවියෙන් යැපෙන ආයතනයක් බවට පත්කිරීමෙන් එම ආයතනය ප්‍රතිව්‍යූහගත වීමක් සිදුවෙනවා.

ප්‍රතිව්‍යූහගත කිරීම පාඩු ලබන ආයතනවලට පමණක් සීමාකළ යුතු නැහැ. ලාභ ලබන ආයතනවල ලාභ ප්‍රශස්ත කිරීමටත්, සමස්තයක් ලෙස ආර්ථිකය හැඩගැස්වීමටත් ප්‍රතිව්‍යූහගතකරණය යොදාගත හැකියි.

ඒ වගේම ප්‍රතිව්‍යූහගතකරණය අඛණ්ඩව කළයුතු ක්‍රියාවලියක්. වෙනස් වෙන වෙළඳපොළ, සමාජය, සංස්කෘතිය, තාක්ෂණය එක්ක අනිවාර්යයෙන්ම එය කරන්නට වෙනවා. උදාහරණයක් විදියට රෝහල්වල ඊසීජී ගැනීම තාක්ෂණය එක්ක සරල වෙනවා. එතකොට ඊසීජී ටෙක්නීෂියන් කියලා රාජ්‍ය සේවයේ තනතුරක් අවශ්‍යද කියා නැවත සලකා බැලිය යුතුයි. ඒ වෘත්තියේ යෙදෙන අය වෙනත් කාර්යයන් කිරීම සඳහා ඔවුන්ගේ කුසලතා ගොඩනැගිය යුතුයි.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත වෙනකොට, පෞද්ගලික අංශයත් ප්‍රතිව්‍යූහගත වෙනවා. අපේ ජීවිතත් අපි අනිවාර්යයෙන් ප්‍රතිව්‍යූහගත කරගත යුතුයි. සහනාධාර මත ලැබෙන ඉන්ධන, විදුලිය, ජලය නොමැති, අපට සහනාධාර ලබාදීමෙන් පැවැත්ම තහවුරු කරගන්නා විශාල රාජ්‍ය යාන්ත්‍රයක් නැති, ඒ රාජ්‍ය යන්ත්‍රය පාවිච්චි කරමින් බලවත් වන දේශපාලකයන් නැති අලුත් ලෝකයක, අලුත් ජීවිතයක් ප්‍රතිව්‍යූහගත කරගන්නටත් අපට පුළුවන්. අපි වෙළඳපොළ, ලාභය, රැකියා, සේවායෝජකයන්, වෘත්තීය අයිතිවාසිකම්, සහනාධාර, බදු, රාජ්‍ය සේවා, පුරවැසි වගකීම් ආදිය ගැන සිතන ආකාරය වෙනස් කරගැනීමත් දැවැන්ත ප්‍රතිව්‍යූහගත වීමක්.

අවසානයේදී සමාජ විප්ලවය කියන්නෙත් ප්‍රතිව්‍යූහගත කිරීමක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *