විප්ලවීය මොහොත හා ඊළඟ මොහොත
අජිත් පැරකුම් ජයසිංහ
සමගි ජන බලවේගය, සමාජවාදී තරුණ සංගමය හා ජාතික ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහිව සංවිධානය කරන ලද සාර්ථක උද්ඝෝෂණ මාලාවක් පසුගිය දිනවල දක්නට ලැබිණි. එතරම් දැඩි දේශපාලනිකත්වයක් දක්නට නොලැබුණු සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට ඇතැමෙකු කොළඹ පැමිණ තිබුණේ ආණ්ඩුව පන්නලාම මිස ආපසු නොයන්නට බව ද වාර්තා විය.
කෙසේ වෙතත්, ආණ්ඩු පැන්නීම එතරම් පහසු නැත. විශේෂයෙන්ම, බලය අතහැරීමට සූදානම් නොමැති රාජපක්ෂ පවුල වැනි අය බලයේ සිටියදී තමන් කෙතරම් අසමත් වුවත් බලය අත්හැරීමක් බලාපොරොත්තු විය නොහැකිය. ඒ වෙනුවෙන් මුළු රටම එකට වීදි බැස සටන් කිරීමට සිදුවනු ඇත. එවැනි වාතාවරණයක් තවමත් නිර්මාණය වී නැත. කවුරුන් හෝ ආණ්ඩුව පන්නා දමා තෙල් ටික, ගෑස් ටික, විදුලිය, කෑම බීම ආදිය පහසු මිලටත් රජයේ රස්සාත් දෙනවා නම් බොහෝදෙනෙකු කැමතිය. මොකක් හෝ මාර්ගයකින් අර්බුදය සමනය කරගෙන මේ ආණ්ඩුවම ඒ ටික කළත් මහජනතාව අකැමැති නොවනු ඇත.
ආණ්ඩුව මේ වන විට උත්සාහ කරමින් සිටින්නේ එම විසඳුමටයි. එනම්, ඉන්දියාවෙන්, චීනයෙන් ගත් ණයවලින් තත්වය සමනය කරගෙන අත්‍යවශ්‍ය ආනයන, අපනයන සිදුකරගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමටය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරනු ලබන වැඩසටහනකින් ශ්‍රී ලංකාවට දැඩි සකසුරුවම්කමකට යාමට සිදුවනු ඇත. එය පහසු නැති වුව ද, මේ මොහොතේ තිබෙන තත්වය තරම් නරක නොවන්නට ද පුළුවන.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෙන එන මූලික හැඩගැස්වීම් වන්නේ වන රටක ආදායම් වර්ධනය කරගැනීම, ඒ අනුව වියදම් සකස් කරගැනීම, ආදායම් උත්පාදනය වන ව්‍යාපෘති සඳහා ණය ගැනීම, සහනාධාර අත්‍යවශ්‍ය අයට පමණක් යොමුකිරීම හා රජය මනා මූල්‍ය කළමනාකරණයක් පවත්වාගැනීම ආදියයි. මෙම කරුණු රටවල් සම්බන්ධයෙන් පමණක් නොව, පවුල් සම්බන්ධයෙන් පවා අදාල වන සරල කාරණාය.
එහෙත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් යම් ගැටලු තිබේ. රජය ව්‍යාපාර කිරීම නොකළ යුතු බව ද, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කළ යුතු බව ද, පාඩු ලබන ව්‍යාපාර විකුණා දැමිය යුතු බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙසයි. ලංකාවෙ මෙතෙක් පැවති රජයන් නම් තමන්ට බිස්නස් කරන්නට බැරි බව ඕනෑවටත් වඩා ඔප්පු කර හමාරය. ශ්‍රීලන්කන්. ලංවිම, තෙල් සංස්ථාව, ජල සම්පාදන මණ්ඩලය, ලංගම, දුම්රිය වැනි සුදු අලින් තවදුරටත් රජයේ තබාගෙන කරන්නට බැරිතැනටම ඒවා පරිහාණියට පත්වී හමාරය. ඒවා විකුණාදැමීම පවා පහසු නැත. උදාහරණයක් ලෙස, ශ්‍රීලන්කන් ගුවන් සේවය දිනකට රුපියල් මිලියන 100ක පමණ පාඩුවක් ලබයි. ලංකාවේ ජනතාවගෙන් සාතිශය බහුතරය මුළු ජීවිත කාලය තුළදීම කිසිදු ගුවන් ගමනක යෙදෙන්නේ නැත. දිළිඳු ජනයා වැඩිම වුණොත් මැදපෙරදිග රැකියාවකට යති. අතමිට ඇති මධ්‍යම පහළ මධ්‍යම පන්තිය පවා වැඩිම වුණොත් යන්නේ දඹදිවය. එහෙත්, මේ රටේ සියලුදෙනාම ඒ වෙනුවෙන් බදු ගෙවති. මොන රජය බලයට ආවත් මෙම රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් දැඩි තීරණ ගන්නට සිදුවීම නොවැළැක්විය හැකිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රවර්ධනය කරනු ලබන ප්‍රතිපත්ති හේතුවෙන් සුබසාධනය සම්බන්ධයෙන් සංවාදයක් මතුවීමේ හැකියාව තිබේ. එනම්, අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන ලංකාවේ ආණ්ඩුව වැනි ඒවා මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව දැඩි සකසුරුවම්කමක් වෙත යොමුවූ විට අනිවාර්යයෙන්ම සුබසාධන සේවා අවදානමට ලක්වන හෙයිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට දෙන ප්‍රධාන උපදෙසක් වන්නේ රාජ්‍ය අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් තනි ඉලක්කමේ ඉලක්ක ප්‍රතිශතයක් කරා ගෙන ඒමයි. එය කරන්නට නම්, රජය වියදම් කප්පාදු කළ යුතුය. අති විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් සහිත ශ්‍රී ලංකාවේ රජය තම ආදායමෙන් 80%ක් පමණ රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් පමණක් වෙන්කරයි. එවැනි තත්වයකදී පවා රජය රාජ්‍ය සේවකයන් ඉවත්කිරීමට හෝ වැටුප් අඩුකිරීමට යෝජනා ගෙන එන්නට අකැමැතිය. ඒ වෘත්තීය සමිති ව්‍යාපාරයට තිබෙන බිය නිසා පමණක් නොවේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය රඳාපවතින ප්‍රධාන ශක්තිය රජයෙන් යැපෙන මධ්‍යම පන්තියයි. රජය යනු මෙම පන්තියට රැකියා සැපයීම ප්‍රධාන කාර්යය බවට පත්කරගත් ආයතනයක් ද වේ. රජයේ රැකියා ඉල්ලා තව තවත් උද්ඝෝෂණ ද පැවැත්වේ. රජය හැකි හැම විටකම රැකියා පිරිනමමින් ජනප්‍රිය වන්නට ද කැමතිය.
මෙවැනි සංදර්භයකදී පීඩනයට පත්වන්නේ සුබසාධන සේවායි. අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජ සේවා වැනි අංශ වෙනුවෙන් වෙන්කරන මුදල් කප්පාදුවට ලක්වේ. නැතිනම්, ප්‍රමාණවත් පරිදි වැඩි කරන්නේ නැත. එවිට බොහෝ රාජ්‍ය සේවාවන්ට තම සේවකයන්ට වැටුප් ගෙවීමට අමතරව වෙනත් දෙයක් කරගැනීමට නොහැකි තත්වයක් මතුවේ. පෞද්ගලික සේවා ශක්තිමත් වන්නේ මෙම සංදර්භය තුළයි. ලංකාවේ අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අංශවල පෞද්ගලීකරණය වැඩිපුරම සිදුවී තිබෙන්නේ ටියුෂන් හා චැනල් සේවා හරහා වීම කැපීපෙනෙන ලක්ෂණයකි. එම සේවාවන් මිලදීගත හැකි පිරිස ඒ වෙත යොමුවීම නිරායාසයෙන්ම සිදුවේ. ලංකාවේ අධ්‍යාපනය තුළ ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාල හා විදේශ අධ්‍යාපනය ප්‍රවර්ධනය වූ ආකාරය උදාහරණ වේ.
රාජ්‍ය වියදම් හැකිළීමේ පියවරත් සමග අනිවාර්යයෙන්ම සිදුවන දෙයක් වන්නේ සහනාධාර කප්පාදුවයි. රජය මේ වන විටත් කාබනික පොහොර මගඩිය හරහා පොහොර සහනාධාරය කප්පාදු කර හමාරය. සමෘද්ධි දිළිඳු සහනාධාරයෙන් 25%ක් වැයවන්නේ එය බෙදාදෙන රජයේ නිලධාරීන් නඩත්තු කිරීමටය. ඉන්ධන, විදුලිය, ජලය වැනි මූලික පහසුකම් වෙනුවෙන් ලබාදෙන සහනාධාර කප්පාදු කිරීමත් සමග දිළිඳු ජනතාව කබලෙන් ලිපට වැටෙනු නියතය.
ලංකාව ඇතැම් සහනාධාර ලබාදෙන ක්‍රමයේ බරපතල ගැටලුවක් තිබේ. ඉන්ධන සහනාධාරය එයට හොඳම උදාහරණයකි. පොදු ප්‍රවාහන සේවාවලට අවශ්‍ය ඩීසල් මිල අඩු මට්ටමක තබාගැනීම හේතුවෙන් වැඩිම වාසි ලබන්නේ ඩීසල්වලින් දුවන සුඛෝපභෝගී වාහන පාවිච්චි කරන ධනවතුන්ය. විදුලිය හා ජලය සම්බන්ධයෙන් ද පවතින්නේ එවැනිම තත්වයකි. විදුලි බල මණ්ඩලයේ හා ජල සම්පාදන මණ්ඩලයේ පාඩු මේ රටේ ජනතාව පිට පටවනු ලැබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජලය සම්පාදනය කරන්නේ මේ රටේ ජනගහනයෙන් 43%ක් පමණ පිරිසකට වනමුත්, පානීය ජලය සොයාගැනීමට කිලෝමීටර් ගණන් දුර යා යුතු හම්බන්තොට හෝ පුත්තලමේ දිළින්දාත් එම මණ්ඩලය නඩත්තු කිරීමට බදු ගෙවිය යුතුය.
සහනාධාර අත්‍යවශ්‍ය ප්‍රජාවන් වෙත විධිමත් අන්දමින් යොමුකිරීමේ ක්‍රමවේද සකසාගැනීමට ශ්‍රී ලංකාවේ රජය දිගින් දිගටම අසමත් වී තිබේ. ඒ සමගම දිළිඳු ජනයා අතර අසහනය වර්ධනය වී කැළඹිලි ඇතිවීම ද වැළැක්විය නොහැකිය. මේවා ඇතැමෙකු අර්ථකථනය කරන්නේ අයිඑම්එෆ් කැරැලි ලෙසයි.
ලංකාවේ උදාවී තිබෙන්නේ විප්ලවීය මොහොතක් බව මම ලිපි ගණනාවක සඳහන් කළෙමි. එහෙත්, මේ වන විට තිබෙන ආණ්ඩු පැන්නීමට මිනිසුන් උනන්දු වන මොහොත පීඩනය මඳක් සමනය වීමත් සමග යටපත් වීමට බොහෝදුරට ඉඩ තිබේ. එහෙත්, පීඩනය සම්පූර්ණයෙන්ම දුරුවන්නට බොහෝ කාලයක් ගතවන නිසා ආණ්ඩුවට රාජ්‍ය පාලනය පහසු වන්නේ නැත. මොහොත පසුවීමෙන් පසු අරගල මාදිලිය වෙනස් කිරීමට දේශපාලන පක්ෂවලට සිදුවනු ඇත.