ශ්‍රීලනිපය දැන් සුද්ද වූ පක්ෂයක්
ඊයේ පැවැත්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68වන සංවත්සර සමුළුවෙහි අතිශය වැදගත් දේශපාලන සලකුණු අඩංගු බව තියුණු දේශපාලන විචාරකයකු අපට පෙන්වා දුන්නේ ය.
ඔහු පවසන පරිදි මේ වන විට ශ්‍රීලනිපය යනු අලුත් ම ගමනක් ආරම්භ කිරීමට හැකි වන පරිදි බොහෝ දුරට පාරිශුද්ධ කරන ලද පක්ෂයකි. මේ වන විට රාජපක්ෂ පුළුටක් හෝ එහි ඉතිරි වී නැති අතර සියලු රාජපක්ෂවාදීන් ශ්‍රීලනිපය හැර ගොසිනි. එසේ ම, අවිශ්වසනීය දෙබිඩි චරිත දෙකක් වූ ඩිලාන් පෙරේරා සහ එස්.බී. දිසානායක ද පක්ෂය හැරගොස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වූ හ. 2015දී ද වැනෙනසුළු ස්ථාවරයක සිටි නිමල් සිරිපාල ද සිල්වා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වන බවට රාවයක් පැතිර යමින් තිබේ.
කෙසේ වෙතත්, මෙම සියලු දෙනා ඇතුළු වන්නේ රාජපක්ෂ පවුල විසින් නිර්මාණය කරන ලද සිර කඳවුරකට බව අප හිතවත් දේශපාලන විචාරකයා පෙන්වා දුන්නේ ය. ඔවුන්ගේ සමස්ත දේශපාලන චර්යාව ම රාජපක්ෂ පවුලේ උවමනාව මත සීමා වන අතර ඔවුන්ට එම පක්ෂය තුළ ලැබෙන අවස්ථා ද ඉතා සීමිත ය. අවස්ථා ලබාගැනීම සඳහා ඔවුන්ට රාජපක්ෂවරුන්ට දැඩි ලෙස ගැතිකම් කිරීමට සිදු වනු නියත ය.
ඒ සමග ම ඇති වී තිබෙන අලුත් තත්වය වන්නේ ශ්‍රීලනිපය තුළ නැවුම් දේශපාලනයකට අවකාශය විවර වීමයි. ඊයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිවරිය සහ කුමාර් වෙල්ගම ද ශ්‍රීලනිප සමුළුවට සහභාගි වූ අතර ඔවුන්ට සභාවෙන් උණුසුම් ප්‍රතිචාර ලැබිණි. දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක වැනි සාපේක්ෂ වශයෙන් තරුණ නායකයන්ට පක්ෂය තුළ ස්ථාවර නායකයන් බවට පත් වීමේ අවස්ථාවක් විවර වී තිබේ. ඔවුන් එම අවස්ථාව මත ආයෝජනය කිරීමට බුද්ධිමත් විය යුතු ය.
ශ්‍රීලනිපය විසින් පසුගියදා ආණ්ඩුකාර තනතුරුවලට පත් කරන ලද සුරේන් රාඝවන්, රජිත් කීර්ති තෙන්නකෝන්, ධම්ම දිසානායක වැනි සිවිල් සමාජ නායකයන්ට හා ශ්‍රීලනිපයේ උපදේශාත්මක මට්ටම්වල සිටින ශිරාල් ලක්තිලක, දීප්ති කුමාර ගුණරත්න වැනි අයට ද දක්ෂ වුවහොත් පක්ෂය තුළ ඉදිරියට ඒමට අවස්ථාවක් විවර වී තිබේ.
මෙය ඉතිහාසයේ කිසිදු කලක පක්ෂයකට හිමි නොවූ තරමේ විස්මිත සුද්ධ වීමකි. එය පක්ෂයේ ඉහළ සිට ගම් මට්ටම දක්වා ම විහිදෙන තත්වයකි. එහි ඵල නෙළාගැනීමට ශ්‍රීලනිපයට සම්බන්ධ පිරිස් උත්සුක විය යුතු ය. අලුත් බුද්ධිමතුන් රැසකට දේශපාලන නායකත්වය සඳහා ගමනකට මග විවර වී තිබේ. මෙම තත්වය නිවැරදිව භාවිතා කිරීමට නායකත්වය දක්ෂ විය යුතු ය.