සමස්ත ශාෆි සිද්ධිය ගැන විමර්ශනය කිරීමට ජනාධිපති කමිටුවක් පත් කරනු!
කුරුණෑගල රෝහල විසින් වෛද්‍ය ශාෆි සහබ්දීන් පිළිබඳ සිදු කරන ලද විමර්ශනයේ වාර්තාව මාධ්‍යයට ඉදිරිපත් කළේ එම රෝහල සමග කිසිදු සම්බන්ධයක් නැති මහාචාර්ය චන්න ජයසුමන සහ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි විසිනි. එම වාර්තාව එම දෙපළ විසින් මාධ්‍යයට වාර්තා කිරීම එහි විශ්වසනීයත්වය පිළිබඳ සැකයක් ඇති කිරීමට හේතු වේ. එනම්, එම වාර්තාව සැකසුවේ දේශපාලන උවමනාවන් මත කටයුතු කරන චන්ද ජයසුමන හා අතුරලියේ රතන හිමි වැනි පුද්ගලයන් හරහා මේ අන්දමින් මාධ්‍යයට හෙළිදරව් කිරීමේ අරමුණින් ද? ඒ පසුපස ජාතිවාදී උවමනාවන් තිබේ ද?
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙන එම වාර්තාව දේශපාලන අරමුණු සහිත තුන්වන පාර්ශ්වයක් හරහා මාධ්‍යයට ඉදිරිපත් කරනු ලැබුවේ දේශපාලන වාසි ගැනීම විය හැකි ය.
වෛද්‍ය ශාෆි මව්වරුන්ගේ අවසරයෙන් තොරව වඳභාවයට පත්කිරීමේ එල්.ආර්.ටී. සැත්කම් 11ක් සිංහල මව්වරුන්ට සිදු කර තිබෙන බව වාර්තාවේ සඳහන් වන්නේ යයි මහාචාර්ය චන්න ජයසුමන පවසයි. ඇඳ ඉහපත් සාක්ෂි මේ සඳහා ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
මෙම වාර්තාව වෛද්‍ය විද්‍යාත්මක කරුණු පිළිබඳ දැනුමක් නැති, පැලෝපීය නාලය හෝ ගර්භාෂය දැකලා නැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය කුරුණෑගල අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වාර්තාව සේ නොව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍යවරුන් සැකසූ වාර්තාවක් බවත් මහාචාර්ය චන්න ජයසුමන
රාජගිරියේ පිහිටි ශ‍්‍රී සදහම් සෙවණ පරිශ‍්‍රයේ පැවති පුවත්පත් සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කළ බව දිවයින පුවත්පත වාර්තා කළේ ය.
කෙසේ වෙතත්, මෙම එල්.ආර්.ටී. සැත්කම් 11 පිළිබඳ සහ අනෙකුත් චෝදනා පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කළ යුතු ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විධිමත් විමර්ශනයක් සිදු කර තිබෙන බව ඔවුන් ජුනි 27දා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවෙන් පෙනේ. ඒ පිළිබඳ සිළුමිණ පුවත්පතේ මෙසේ විස්තර විය.
කුරුණෑගල රෝහලට පැමිණිලි ඉදිරිපත් කර ඇති මවුවරුන් 615 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ. ඒ අය අතරින් 468 දෙනෙකුම පවසා ඇත්තේ ෂාෆි සම්බන්ධයෙන් ජනමාධ්‍යය මගින් ප්‍රසිද්ධ වූ කරුණු වලට අනුව තමන්ද වඳභාවයට පත්ව ඇතිදැයි සැකහැර දැන ගැනීමට එම පැමිණිලි ඉදිරිපත් කළ බවකි. සැබෑ ලෙසම දරුවන් අහිමි වූයේ යැයි සදහන් කරමින් පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ මව්වරු 147 දෙනෙක් පමණි.
මෙම කාන්තාවන්ගේ පැලෝපීය නාලවලට හානි සිදු වී තිබේදැයි පරීක්ෂා කිරීමේ එච්.එස්.ජී. පරීක්ෂාව කාසල් රෝහලේදී ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක්ද සිදුකරනවාට කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා අධිකරණයේදී විරෝධය පළ කර එය වළක්වා ගත්තේ ය. එමගින් කාන්තාවන් තුළ සංකුලතා ඇති විය හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය. එම චෝදනාව සැකහැර ඔප්පු කිරීමේ ක්‍රමයක් දැන් වෛද්‍ය සරත් වීරබණ්ඩාර ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජුලි 11දා අධිකරණයට ඉදිරිපත් කළ යුතු ය.
අධිකරණ නියෝගය පිළිබඳ දිවයින පුවත්පත වාර්තා කරන්නේ මෙසේ ය:
සරත් වීරබණ්ඩාර මහතා ඇතුළු විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකින් ඒ සම්බන්ධයෙන් නිර්දේශ ලබාගෙන ලබන 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහෙස්ත‍්‍රාත්වරයා එම නිර්දේශ අනුව ඉදිරි දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබා දෙන බව පෙන්වා දුන්නේය.
එහෙත්, එම කාරණය ම සිළුමිණ පුවත්පතේ සඳහන් වන්නේ මෙසේ ය:
ඒ ගැන අධිකරණයද විශේෂ සැලකිල්ලක් එහිදී දැක්වූවේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන්නේ ඒ කියන ආකාරයේ සංකූලතා සහ අතුරු ආබාධ එච්.එස්.ඩී පරීක්ෂණයෙන් ඇති වන්නේදැයි සොයා බලා ලබන 11 වෙනිදාට අධිකරණයට දැනුම් දෙන ලෙසය.
සිළුමිණ පුවත්පතේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.
වෛද්‍ය ෂාෆි සිසේරියන් සැත්කම් සිදු කරන විට ඔහු සමඟ ශල්‍යාගාරයේ රැඳී සිටි සෙසු වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලවල සාමාජිකයන්ගෙන්ද ප්‍රශ්නකර තිබිණි. ඒ අය අතර සහායක වෛද්‍යවරු 12 දෙනෙක්ම සිටිති. ඒ අයගෙන් 11 දෙනෙකුම පවසා ඇත්තේ වෛද්‍ය ෂාෆි මවුවරුන්ගේ පැලෝපීය නාළවලට හානි කිරීමකින් ඒ අයව වඳ කරන බවක් තමන් නොදුටු බවය. එහෙත් එක් වෛද්‍යවරයෙකු පමණක් සඳහන් කර ඇත්තේ වෛද්‍ය ෂාෆි මුස්ලිම් මවුවරුන්ට විශේෂ කරුණාවක් දක්වන බවක් තමන්ට පෙනී ගිය බවකි. එම වෛද්‍යවරයා වෛද්‍ය ෂාෆි සමඟ සිසේරියන් සැත්කම් 150කට පමණ සම්බන්ධ වූ සහායක වෛද්‍යවරයෙකි.
“මුස්ලිම් මවුවරු එල්.ආර්.ටී. සැත්කම් කරමු කීවාම, පස්සේ බලමු කියල ෂාෆි මඟහරිනවා, ඒත් සිංහල දෙමළ අයට නම් ඔහු එහෙම නැහැ. එල්.ආර්.ටී. කරන්න කියල උනන්දු කරනවා“ යැයිද එම සහායක වෛද්‍යවරයා ප්‍රශ්න කිරීම් හමුවේ පවසා සිටියේය.
මුස්ලිම් මවුවරුන්ට විශේෂත්වයකින් සැලකූ බවට ෂාෆිට එම සහායක වෛද්‍යවරයා චෝදනා එල්ල කළත් සැත්කම් අතර තුර පැලෝපීය නාළයට හානි කරමින් මවුවරුන් වද භාවයට පත් කළ බවක් නම් ඔහු පවසන්නේ නැත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන් ෂාෆි සමඟ ශල්‍යාගාර සේවයේ නිරතව සිට ඇති නිර්වින්දන වෛද්‍යවරු 10 දෙනෙකුගෙන්ද ඒ අතර ප්‍රශ්න කර ඇත්තේ පැලෝපීය නාළයට හානි කිරීම් ගැනය. එහිදී වෛද්‍යවරුන් 09 දෙනෙකුම පවසා ඇත්තේ කිසි විටකත් තමන් එවැන්නක් දැක නොතිබුණු බවකි. එහෙත් එක් නිර්වින්දන වෛද්‍යවරියක පවසා ඇත්තේ සිංහල මවුවරු සිසේරියන් සැත්කම්වලට ලක් කරමින් දරුවන් පිටතට ගැනීමේදී සහායක වෛද්‍යවරයාව ඔහු වෙනත් වැඩකට යොමු කරන බවය. ඇය චෝදනා කරන්නේ සිංහල මවුවරුන් සිසේරියන් සැත්කමට ලක් කිරීමෙන් අනතුරුව එම තුවාලය ඔහු විසින් වසන්නේ එක් ස්ථරයක් පමණක් බවය. එහෙත් මුස්ලිම් මවුවරුන්ගේ ස්ථර දෙකම මසන බව ඇය සදහන් කරන්නීය. ඒ ගැන වරක් ඔහු සමඟ රෝහලේ කොරිඩෝවේදී කතාබහක් ඇති වුණු බවත් එය බහින්බස් වීමක් දක්වා දුරදිග ගිය බවත් ඇය පවසන්නීය.
“මට සල්ලි බලය තියෙනවා, දේශපාලන බලය තියෙනවා, පුළුවන් දෙයක් මට විරුද්ධව කරනවා“ යැයි එවිට ෂාෆි තමන්ට තර්ජනාත්මකව පැවසූ බවද ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සදහන් කර ඇත්තේය.
ෂාෆි වෛද්‍යවරයා පැය දෙකකදී සැත්කම් අටක් කරන බවත් විනාඩි 15කට එක් සැත්කමක් කරන බවත් ඇය සඳහන් කරන්නීය. එම වේගවත්කම ගැන ඇත්තේ ඇයට සැකයකි. ඒත් එක්කම ඇය සඳහන් කරන්නේ මුස්ලිම් කාන්තාවන් සිය තුන්වැනි දරුවා බිහි කිරීමෙන් පසු එල්.ආර්.ටී සැත්කම් වලට යොමු කිරීමට වෛද්‍ය ෂාෆි ඉඩ නොදෙන බවය. එය ආගමට පටහැණි බව ඔහු බවසන බවද ඇය කියන්නීය. ඒ හැරුණු කොට වෛද්‍ය ෂාෆි සිසේරියන් සැත්කම් අතර තුර පැලෝපීය නාළය අතින් තදකර හෝ උපකරණයක් මඟින් සිර කර හෝ වෙනයම් ක්‍රමයකින් හානි කරමින් මවුවරුන් වදභාවයට පත් කරනු දුටු බවක් ඇයද පවසන්නේ නැත.
හෙදියන් 71 දෙනෙකුගෙන් සහ සෙසු කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ලබාගෙන ඇති කටඋත්තරවලින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන්ට වෛද්‍ය ෂාෆි සිසේරියන් සැත්කම් අතර තුර මවුවරුන්ට සාපරාධි ක්‍රියාවක් කල බවට කිසිදු සාක්ෂියක් හෙළිකර ගැනීමට නම් හැකියාවක් ලැබී නැත.
මේ වන විට ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලින් පැහැදිලිවම සනාථ වී ඇත්තේ එකම එක චෝදනාවක් පමණි. ඒ අලුත උපන් බිලිඳකු වෙනත් පාර්ශ්වයකට හදාවඩා ගැනීමට භාරදීමක් පමණි.
වෛද්‍ය ශාෆි පිළිබඳ කුරුණෑගල රෝහලේ විමර්ශන වාර්තාව අනුව පෙනී යන්නේ ශාෆි කාන්තාවන්ගේ පැලෝපීය නාලවලට හානි කර වඳභාවයට පත් කළ බවට කලින් කරන ලද චෝදනාව ඉවත්කරගෙන තිබෙන බවයි. ඔහුට එරෙහිව දැන් ඉදිරිපත් වන චෝදනා මෙසේ ය:
*ශල්‍යාගාරයේ කාර්ය මණ්ඩලය තුළ අනවශ්‍ය පීඩනයක් ඇතිවන ආකාරයේ කලබලයකින් සහ වේගයකින් ෂාපි වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් සිදු කර ඇත.
*සිංහල මව්වරුන්ට ඉතා අඩු කාලයකින් සිසේරියන් සැත්කම් සිදු කර ඇත. මුස්ලිම් මව්වරුන්ට ඊට වඩා සැලකිය යුතු කාලයක් ගත කර ඇත.
*සිසේරියන් සැත්කම්වලදී සිංහල මව්වරුන්ගේ ගර්භාෂය මැසීමට එක ස්ථරයක් ලෙස මැහුම් යොදයි. මුස්ලිම් මව්වරුන්ට ස්ථර දෙකක මැහුම් යොදයි. කෙසේ වෙතත් රෝහලේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු ගර්භාෂය මැසීමට ස්ථර 2ක් මැහුම් යොදයි.
*සිසේරියන් සැත්කමේදී ගර්භාෂය මැසීමෙන් පසුව පෙරිටෝනියම් කුහරය අනෙක් වෛද්‍යවරුන්ට වඩා රළු ආකාරයට පිරිසිදු කරයි.
*ෂාපි වෛද්‍යවරයාගේ සිසේරියන් සැත්කම්වලින් පසු මුත්‍රවාහිනී හානි වීම්, ගර්භාෂ ඉවත් කිරීම් හා පසු රුධිර වහනයවීම් වැනි සංකුලතා ඉහලය. ඒවා සාතිශය බහුතරය සිංහල මව්වරුන් සදහාම සිදු වී ඇත.
*මවගේ හෝ පියාගේ අනුමැතියකින් තොරව මව්වරුන් 11 දෙනකුට නීතිවිරෝධී ආකාරයට LRT සැත්කම් සිදු කර ඇත. ඒ බව ඇද ඉහපත් වාර්තා මගින් සනාථ වී ඇත.” (සාරාංශගත කිරීම දසුන් වානගුරු විසිනි)
ශාෆි සම්බන්ධයෙන් මූලික චෝදනාව වූ ඔහු තව්හීද් ජමාත් සංවිධානය සමග සම්බන්ධ බව, ඉස්ලාම් අන්තවාදී කටයුතු වෙනුවෙන් අරමුදල් ලබාගත් අයෙකු බව සහ එමගින් ධනවත් වූ බව පිළිබඳ සාක්ෂි කිසිවක් මේ වන තෙක් සොයාගැනීමට පොලිසිය හෝ චෝදනා එල්ල කළ අය අසමත් වී තිබෙනවා.
වෛද්‍ය ශාෆි යහපත් පුද්ගලයකු නොවීමටත්, ධනයට කෑදර පුද්ගලයකු වීමටත්, ඉතා නොසැලකිලිමත් වෛද්‍යවරයකු වීමටත්, තමන් චැනල් කරන හෝ තමන්ට හිතවත් අයට සුවිශේෂ සැලකිලි කරන අයකු වීමටත් ඕනෑ තරම් ඉඩ තිබේ. එහෙත්, එවැනි එක ම වෛද්‍යවරයා ශාෆි නොවේ. එවැනි වෛද්‍යවරු දහස් ගණනක් සිටිති.
මෙතැනදී දිවයින පුවත්පත, නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර, මහාචාර්ය චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි වැනි අය විසින් උත්සාහ කරනු ලැබුවේ වෛද්‍ය ශාෆිගේ දුර්ගුණ ජාතිවාදී පදනමකින් අවුස්සා වාර්ගික ගැටුමක් ඇතිකිරීමටයි. ඇතැම් අයට මෙම වෛද්‍යවරයා සමග ඊර්ෂ්‍යාව හා පෞද්ගලික තරහ මරහ තිබුණු බවට ද සැක කළ හැකි ය.
ශාෆිට එරෙහි චෝදනා පිළිබඳව ජනාධිපති කොමිසමක් පත් කර පරීක්ෂණ කටයුතු මෙහෙවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව අතුරලියේ රතන හිමි ඉහත කී පුවත්පත් සාකච්ඡාවේදී පැවසී ය.
මෙම කරුණ පිළිබඳ පුළුල් විමර්ශනයක් පැවැත්වීම නරක නැත. එහිදී විභාග කළ යුතුව තිබෙන්නේ ශාෆිට එරෙහි චෝදනා පමණක් නොවේ. එම චෝදනා එල්ල කළ පසුබිම, එම චෝදනා පසුපස තිබෙන දේශපාලනික උවමනා මෙන් ම වෛද්‍ය ක්ෂේත්‍රයේ තිබෙන වෘත්තීය ආචාරධර්ම, නොසැලකිලිමත්කම හා විෂමාචාර වෙත ද විමර්ශනය යොමු විය යුතු ය.